ආයුබොවන්ඩ සුවවිරු ජයරුවන්,

 

ජයරුවන් බණ්ඩාර, අනිල් ජාසිංහ හා සුදත් සමරවීර වගේ අපූරු දොස්තර මහත්තුරු අපි දැන හඳුන ගත්තෙ අලුත් අවුරුද්ද උදා වෙනවත් එක්කම වගේ කොරෝනා මාරයා අපේ රට පැත්තටත් එබිකන් කොරන්ඩ පටන් ගත්ත කාලෙමයි. ඒත් එක්කම නිතර පාහේ අහන්ඩ ලැබුණ අනිත් නම් සැට් එක තමා හමුදාපති ශවේන්ද්‍ර, පොලිසියෙ මාධ්‍ය ප්‍රකාශක උන්නැහැලා වන අජිත් රෝහණ හා ජාලිය සේනාරත්න. ඊළඟට ආණ්ඩුව වෙනුවෙන් ආරංචි නිකුත් කොරපු නාලක කළුවැව ප්‍රොවුර්ති අද්දියක්ස ඇතුළු කස්ටිය.

විඩෙන් විඬේට ටැලිවිසොන් තිර නැත්තං පත්තර පිටු අස්සෙන් මතු වෙවී අපේ මාද්දිය මිත්තරයො එක්ක තමුන්නැහැලා පවත්තපු  හරබර සාකච්ඡා-සම්මන්තරණ දිහා අපි බලා උන්නෙ ඇස්ගෙඩි ඇහැක් තරන් ලොකු කරගෙන. බොරු පූච්චානමට දොඩනව හෙම නෙමේ ආයිබොවන්ඩ ඒ දවස්වල ඔහෙලගෙ ටෝක්ස් ඇහෙන කොට අපිට හිතුණේ කොරෝනා යස්සයාගෙ කකුල් දෙකෙන් අල්ලලා සක්වළ ගලෙනුත් එහාට විසික්ක කොරල දාන එක සිකුරු ය කියලයි. ලෝකෙටම කෙරුමො ය කියන ඇමෙරිකන්කාරයො වගේම අපිව සිස්ටාචාර කොළා ය කියන එංගලන්ත සුද්දොත් හතර ගාතේ වැටෙන කොට අපේ පුංචි සිරිලංකාව කොරෝනා යස්සයා මෙල්ල කොරපු එක ලිලිපුට්ටලා ගලිවරයට දුන්නු ගේමටත් එහා එකක් කියලයි අපි හිතුවෙ.

එහෙව් හපන්කං කොරපු සුවවිරු බළඇණියේ සෙන්පතියන් වෙච්චි තමුන්නැහැටයි, ජාසිංහ උන්නැහැටයි තනතුරු අහිමි වුණේ ඕනාවට වඩා වැඩ පෙන්නන්ඩ ගිය හන්ද ය කියලයි ගංගොඩවල්වල නං කතා පැතිරුණේ. සුදර්ශනී මැඩම් රජ සබේදි කියාපු ආකාරෙටනං ඔහේ එපමණ කල් සිල්ප දක්කලා තියෙන්නෙ තමන්ට හිමි නැති ලොකු පුටුවක බලපරාක්කරමය හිතට අරන්ලු. හිටපු සවුක්කිය ඇමති රාජිත නිකං නක්කියට වගේ කියපු කතාවට නං ජයරුවන් සෑර්ට පොළොව පළාගෙන යන්ඩ හිතෙන්ඩැති. තමුන්නැහැ පොහොට්ටු ප්‍රේමියෙක් බව දැන දැනත් ලොකු පුටුවක ඉන්දෙව්වෙ වැඩකාරයන්ට සලකන එක යහපාලනයේ ප්‍රොතිපත්තිය හන්ද ය කියන්නෙ හැබෑ ද?

ඒ කතන්දර දැන් පැත්තකින් තියමුකො ජයරුවන් වෙදතුමෝ. පැණි වරකෙටත් හෙණගෙඩියක් කඩාපාත් වුණා වගේ තමුන්නැහැගෙ අද්දියක්සක පුටුවට සිද්ද වුණ නස්පැත්තිය ගැන අහලා අනේ අපොයි නොකියපු කෙනෙක් නැති තරං. ඒ කාලේ පොහොට්ටු වියාපාරේ මූලස්තානය වගේ තිබුණ නාරාහේන්පිට මහ පන්සලේ මුරුත්තෙට්ටුවෙ නායක උන්නාන්සෙත් බොහොම සැරෙන් ලොකු තැන්වලට අනුසාසනා කොරපු හැටිත් අපි දැක්කා. ඔහේව පුටුවෙන් පහළට ඇද දාපු එක කොරෝනා මැඬලන්ඩ කොරපු මෙහෙවරට ලැබිච්චි තෑග්ගක් බව හිතේ වේදනාව දරාගන්ඩ බැරුව තමුන්නැහැත් පොරකාස කළා නොවැ.

අර විදිහට කොන්ඩෙම් කොරලා මුකවාඩමකුත් බැන්දට පස්සෙ ජයරුවන් බණ්ඩාර කියන නමවත් ආයෙ ඉතින් කවදාවත්ම අපිට අහන්ඩ වාසනාවක් ලැබෙන එකක් නැත ය කියලයි අපි නං ඇත්තටම හිතුවෙ. මුන්නැනැ වගේ අපේ හිත්වලට කාවදින විදිහට බොහොම ලස්සනට කරුණු තේරුන් කොරන්ඩ ඇහැක් ඇත්තෙක් මේ සම්මතේදි දකින්ඩ වෙන එකක් නැහැ කියලා අපි බෙහොම අවුල් වුණා දොස්තර මහත්තයෝ.

එහෙම හිත් වේදනාවෙන් ඉන්න කොට තමා ආයිබොවන්ඩ සවුක්කිය අමාත්තියාන්සයේ මාද්දිය පොරකාසක ජයරුවන් බණ්ඩාර කියල සෑර් කෙනෙක් ටැලිවිසොනයෙන් හදිසියේම මතු වෙනව දැක්කෙ. මේ වංගියෙ නං කොරෝනාව තාම ජනගත වෙලා නැත ය කියලා ඒ හාදයා ඇඟටපතට නොදැනී කියන කොටම අපි ඉස්තීරෙන්ම දැනගත්තා ඒනං අපි කලින් දැනං උන්නු සුවවිරු ජයරුවන්ගේ ඩුප්පිලිකේට් එකක් බව● 

විශ්ව මිත්‍ර

Leave A Reply

Your email address will not be published.

5 × four =