හෙලුවෙන් පටන්ගෙන බොරුවෙන් අවසන් වූ බදියුදීන් නාටකය

සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ නායක රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා පොලිසියට නියෝග කරන්නේ, රිෂාඞ්ගේ බාල සොහොයුරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට නිදහස ලැබීමත් සමඟ ඇති වූ මහජන ආන්දෝලනයත් සමඟ ය.
පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගත් රියාජ් බදියුදීන් මාස තුනක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි අතර, පසුව සාක්ෂි නොමැති ය යන පදනම මත නිදහස් කළේ ය.

ඉන් පසුව ඇති වූ මහජන කැලඹීම මත නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගෙන්වා ප්‍රශ්න කරන තැනට පත් විය. ඉන් දින කිහිපයකට පසු නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දෙන්නේ රිෂාඞ් බදියුදීන් අධිකරණ වරෙන්තුවක් ගෙන අත්අඩංගුවට ගන්නා ලෙස ය.
රහස් පොලිස් නිලධාරීන් ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියට ගොස් වරෙන්තුවක් ඉල්ලා සිටිය ද, අධිකරණය දන්වන්නේ රිෂාඞ් බදියුදීන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනා සලකා බැලූ විට ඔහු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි ය යන්නයි.

රිෂාඞ්ට එල්ල කර ඇති චෝදනාව වන්නේ, 2019 ජනාධිපතිවරණයේ දී පුත්තලමේ අවතැන් කඳවුරුවල සිටි අවතැන් ඡන්දදායකයන් මන්නාරමට ලංගම බස් රථවල රැගෙන යාමෙන් රුපියල් ලක්ෂ 95කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම හා ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනත යටතේ ගැනෙන වරදක් සිදු කළා ය යන්න ය.
අධිකරණ නියමය මත නීතිපතිවරයා යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔක්තෝබර් 13 දා දැනුම් දෙන්නේ, වහාම රිෂාඞ් බදියුදීන් ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස ය. පොලිසිය ඒ අනුව රිෂාඞ්ව අත්අඩංගුවට ගැනීමට විමර්ශන අරඹන අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි වන්නේ මන්ත්‍රීවරයා සැඟවී සිටීම නිසාවෙනි.
රිෂාඞ් මන්ත්‍රීවරයාගේ මෝටර් රථය බම්බලපිටිය ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී පොලිසිය සොයා ගන්නා අතර, ඔහුගේ ආරක්ෂක නිලධාරියකු වන පොලිස් කොස්තාපල්වරයකු ද පොලිසිය අත්අඩංගුවට ගන්නේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට සහාය නොදීමේ චෝදනාව මත ය.
ඉන්පසුව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ ගණකාධිකාරීවරයා ද අත්අඩංගුවට ගන්නා පොලිසිය රිෂාඞ්ගේ රියැදුරන් දෙදෙනකු ද අත්අඩංගුවට ගන්නේ ය. මේ අතර රිෂාඞ් බදියුදීන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ද ගොනු කළ අතර, ඔහු එම පෙත්සමට අත්සන් කිරීමට කොළඹ අධිකරණය අසලට පැමිණිය ද, පොලිසියට ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.

රිෂාඞ් නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ, අවතැන් වූ ඡන්දදායකයන් ඡන්දපොළවලට ගෙන යාමට අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් මුදල් ලබා ගත්තේ මුදල් ඇමති මංගල සමරවීර මහතාගේ අනුමැතිය මත බව ය. එසේම ඉන් පසුව මන්නාරමේ අවතැන්වූවන්ගේ සංවිධානය විසින් ලංගම බස්රථ ලබා ගැනීමට ගත් මුදල් නැවත අවතැන්වූවන්ගේ දෙපාර්තමේන්තුවට ලබා දුන් බව ද කියා සිටියේ ය.
විමර්ශන නිලධාරීහු රිෂාඞ්ගේ කොළඹ නිවසට ගොස් බිරිඳගෙන් ද
ප්‍රශ්න කළ අතර, ඊට අමතරව මන්නාරම නිවසට ද ගොස් පරීක්ෂා කළහ. ඊට අමතරව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා රාවුෆ් හකීම් යන මන්ත්‍රීවරුන්ගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරන්නේ, සැඟව සිටින රිෂාඞ්ගේ දුරකථනයට ලබා ගත් ඇමතුමක් සම්බන්ධයෙනි.

නීතිපතිවරයා රිෂාඞ්ව අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දී දින 6ක් යන තුරු ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ අතර, මේ සම්බන්ධයෙන් ජනතා අප්‍රසාදයක් ද මතුව ආවෝ ය. නීතිපති නියමයෙන් දින 6කට පසු දෙහිවල, එබනිසර් පෙදෙසේ මහල් නිවසක රිෂාඞ් බදියුදීන් සැඟව සිටිය දී අත්අඩංගුවට ගනු ලැබී ය.
දෙහිවල නිවසේ හිමිකරු මෙන් ම රිෂාඞ්ට සැඟව සිටීමට ආධාර අනුබල දීම යන චෝදනාව යටතේ වෛද්‍යවරියක ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේ ය. රිෂාඞ්ව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ දී ඇති වූ ප්‍රමාදය කරණකොටගෙන සමාජ මාධ්‍ය ජාලවලින් ආණ්ඩුවට දැඩි අප්‍රසාදයක් එල්ල වූ බැවින්, ආණ්ඩුවට සහාය දක්වන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් සිටියේ අසරණව ය.
එම නිසා තමන්ගෙන් ගිලිහෙන ප්‍රසාදය යළි ලබාගැනීම වෙනුවෙන් ‘රිෂාඞ් සඟවාගෙන සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයකුට අයත් නිවසක ය’ යන බොරුව ප්‍රචාරය කිරීමට ආණ්ඩුවට සහාය දක්වන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෝ කටයුතු කළහ. අත්තටු ලැබුණු බොරුව වේගයෙන් පියාසර කරද් දී එම නාගරික මන්ත්‍රීවරයාට ද මේ ගැන දැනගන්නට ලැබිණි.

වහාම ක්‍රියාත්මක වූ තුවාන් අයුබ් මොහොමඞ් නමැති ජ.වි.පෙ. නාගරික මන්ත්‍රීවරයා ඊට එරෙහිව පොලිසියට පැමිණිලි කළේ ය. තමන් ජීවත් වන්නේ ගාලු පාර, ගල්කිස්ස, අංක 224 යන ලිපිනයේ බවත්, මැලේ ජාතිකයකු වන තමන් ගැන වැරදි හැඟීමක් ජනතාව අතර ඇති කිරීම උදෙසා මෙලෙස මුහුණු පොතේ ව්‍යාජ ‘පෝස්ට්’ ප්‍රචාරය කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ඉල්ලා සිටියේ ය. එම වැරදි පුවත් පළ කළ අයගේ නම් ලැයිස්තුවක් ද ඔහු පොලිසියට ඉදිරිපත් කළේ ය.
අත්අඩංගුවට ගත් රිෂාඞ් බදියුදීන් මන්ත්‍රීවරයා ලබන 27 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබී ය. 20 වන සංශෝධනය සම්බන්ධයෙන් ජනතාවගේ අවධානය යොමු වීම වැළැක් වීමේ නාටකය ආණ්ඩුව අවසන් කළේ එසේ ය.
-ලසන්තවීරකුලසූරිය

Leave A Reply

Your email address will not be published.

four × one =