අඳුරුම දවසක් ගැන සටහනක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ20 වන ව්‍යවස්ථා සංශෝධනයට ආණ්ඩුව ඇතුළෙන්ම විරෝධයක් තිබුණ ද ආණ්ඩුව විවාදය සඳහා 20 වන සංශෝධනය ඉදිරිපත් කළේය.
විවාදය ආරම්භ කෙරුණේ අධිකරණ ඇමති අලි සබ්රිගේ කතාවත් සමගිනි. ඔහු 20 වන සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් සංශෝධන සේම ආණ්ඩුව ද සංශෝධන කිහිපයක් ඉදිරිපත් කරන බවය.
විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ 3, 5, 14 සහ 22 යන වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් ඒවා ජනමත විචාරණයකින් අනුමත කරගත යුතු බව පවසා ඇති ශ්‍රේෂ්ඨාධිකරණය, එසේ වුවත් කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන සංශෝධන මගින් අදාළ වගන්තිවල පටහැනි බව ඉවත්කර ගත හැකි බවට ද සඳහන් කර තිබේ.
ජනාධිපතිවරයාගේ බලතල හා කාර්යයන්, ජනාධිපතිවරයාගේ මුක්තිය, වසරක් තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය, මැතිවරණ කොමිසමේ නිළධාරීන්ට දඬුවම් දීමේ බලය ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තු සභාව බවට පත් කිරීම යන කරුණු මෙසේ සංශෝධන මගින් ඉවත් කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත්කර ඇති සංශෝධනයන්ට අමතරව ආණ්ඩුවත් සංශෝධන කිහිපයක් ඉදිරිපත් කරන බව ද අධිකරණ ඇමති අලි සබි්‍ර පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් දැනුම් දුන්නේය. 19 වෙනි සංශෝධනයෙන් පැනවූ ඇමති මණ්ඩලය 30 ක සීමාවේ තබා ගැනීමේ වගන්තිය එලෙසම තබා ගැනීමට 20 වන සංශෝධනයේ වෙනස්කම් කාරක සභා අවස්ථාවේදි කරනා බවද හෙතෙම සදහන් කළේය.

20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද ඊට එරෙහිව ආණ්ඩුව පාර්ශ්වයෙන් සහ ආණ්ඩුවට සහාය දැක්වූ පාර්ශ්ව අතරින් එල්ල වී තිබු විරෝධය නතර වී තිබුණේ නැත. 20 වන සංශෝධනය හකුලාගෙන නව ව්‍යවස්ථාවක් ඉක්මණින් ඉදිරිපත් කරන ලෙස ඇල්ලේ ගුණවංශ හා මුරුත්තෙට්ටුවේ ආනන්ද යන හිමිවරුන් දැඩිව ප්‍රකාශ කළ අතර උන්වහන්සේලාගේ මතය 20 සම්මත වන විටත් වෙනස් වී තිබුණේ නැත.

මේ අතර ඉකුත් බදාදා (21) 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙමින් තිබියදී තවත් අපූරු සිදුවීමක් විය. එනම් ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා විමල් වීරවංශ ඇමතිවරයාට පහරදීමට පැනීමය. “අපේම මන්ත්‍රීවරයෙක් ජ.නි.පෙ මන්ත්‍රීවරුන්ට 20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන ලෙස කියා අල්ලස් දෙන්න හදනවා. ආණ්ඩුවක් ලෙස එකට ඉන්න පිරිසකට මෙහෙම කරන එක වැරදියි.” විමල් වීරවංශ ඇමතිවරයා කළ පැමිණිල්ලත් සමග ඒ කව්දැයි අගමැති මහින්ද රාජපක්ෂ විමසා ඇත. එහිදි විමල් වීරවංශ ඇමතිවරයා ජයන්ත කැටගොඩව පෙන්වා සිටි අවස්ථාවේදී කැටගොඩ මන්ත්‍රීවරයා ඇමතිවරයාට බැන වදිමින් පහරදීමට පැන ඇති අතර ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා පැන එය වළක්වා තිබේ.
පාර්ලිමේන්තුව තුළදීත් මේ පිළිබඳව විපක්ෂ මන්ත්‍රී තුෂාර ඉඳුනිල් ද ප්‍රශ්න කරමින් “20 ට විරුද්ධ වුණාට විමල් ඇමතිවරයාට කැටගොඩ මන්ත්‍රීවරයා පහර දෙන්න හදලා” යනුවෙන් ප්‍රකාශ කරමින් උසුළු විසුළු කළේය. ඊට නිසි පිළිතුරක් නොදුන් කැටගොඩ මන්ත්‍රීවරයා මාතෘකාවට අදාළව කතා කරන්නැයි කීවේය.

සභා ගර්භයේදි 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන වාද විවාද, පහරදීමට උත්සාහ කිරීම් ඇති වෙද්දි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හා ඇල්ලේ ගුණවංශ හිමියන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු අභයාරාමයට කැඳවා සාකච්ඡාවක් පැවැත්වූහ. උන්වහන්සේලාගේ අදහස් එහිදි මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
මේ සාකච්ඡාව ගැන ආරංචි වූ ජනාධිපතිවරයා වහාම අභයාරාමයට පැමිණ හිමිවරුන් දෙපළ හමුවී දිර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ. ඉන් පසුව හිමිවරුන් දෙපළ අරලියගහ මන්දිරයට ගොස් අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඇත. එදිනම රාත්‍රියේ ජනාධිපතිවරයා හා විමල්, ගම්මන්පිල, වාසුදේව, තිස්ස විතාරණ, විජයදාස රාජපක්ෂ, අසංක නවරත්න හා වීරසුමන වීරසිංහ යන මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් පැවැත්විනි.

එහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡාවී ඇත්තේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ වගන්තිය සම්බන්ධයෙනි. පෙර පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම්වලදී ජනාධිපතිවරයා දැඩි මතයක සිට අදහස් දක්වමින් මන්ත්‍රීවරුන්ට කතා කිරීමට බාධා කළද මෙම සාකච්ඡාවේදී මන්ත්‍රීවරුන්ගේ අදහස් ජනාධිපතිවරයා සාවදානව අසා සිට ඇත.

පසුව ජනාධිපතිවරයා පවසා ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කටයුතු සිය දෙවෙනි පදවි ප්‍රාප්තියට පෙර ඉදිරිපත් කරන බැවින් එහිදි මෙම වගන්තිය යළි ඇතුළත් කළ හැකි බවකි. ජනාධිපතිවරයාගේ සාකච්ඡාවෙන් පසුව පැවති සාකච්ඡාවකදි උදය ගම්මන්පිල ඇමතිවරයා කියා සිටියේ ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තුවට හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවට වගන්තියක් ඉදිරිපත්වූවේ තමන් ඉලක්ක කරගෙන බැවින් මේ අවස්ථාවේ තමන්ට ඒ ගැන පෞද්ගලික ප්‍රශ්නයක් තිබෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි. එම කරුණ පදනම් කරගනිමින් මේ අවස්ථාවේ 20 ට පක්ෂව ඡන්දය දෙන බව ඔවුන් කියා සිටියෝය.

මේ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් 20 වන සංශෝධනයට සහාය දක්වන බවට ප්‍රචාරයක් දියත් වූ අතර පක්ෂයේ තීන්දුවට විරුද්ධව කටයුතු කරන පිරිස් පක්ෂයෙන් නෙරපා හැරීමට සජිත් කණ්ඩායම තීරණය කර තිබිණි.
ඩයනා ගමගේ, කිංග්ස් නෙල්සන්, ඉෂාක් රහුමාන් වැනි සජිත් පාර්ශ්වයේ මන්ත්‍රීවරුන්ගේ නම් 20 ට පක්ෂව කියවුන අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු, රිෂාඞ් මන්ත්‍රීවරයාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරු මෙන්ම දිගම්බරන් මන්ත්‍රීවරයාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරු 20 ට පක්ෂව ඡන්දය දෙනු ඇති බවට කතා පැතිරිණි.

දෙමළ ජාතික සන්ධානය 20 ට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව එම්. ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා කියා සිටියේය. එසේම 17 වන සංශෝධනය හා 19 වන සංශෝධනය ඡන්ද 200 ට වැඩියෙන් ලබාගත් සංශෝධන දෙක බවත් වෙන කිසිදු සංශෝධනයක් එලෙස ඡන්ද ලබා සම්මත වී නැතැයි ද ඔහු කීවේය. 19 සංශෝධනයේ අඩුපාඩු තිබෙන නමුත් එය සකස් කර ගත යුත්තේ මෙවැනි දරදඬු තැනකට රට ගෙනියන ආකාරයෙන් නොවන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
ආණ්ඩුව 20 ගෙන ඒම ඔවුන්ගේ පැත්තෙන් සාධාරණීය කරමින් අදහස් දැක්වූ අතර විපක්ෂ මන්ත්‍රීවරුන් සියලු දෙනා මෙය රටේ අඳුරුම දවස ලෙස ඉතිහාසගතවනු ඇතැයි ප්‍රකාශ කළේය.
ලසන්තවීරකුලසූරිය

 

Leave A Reply

Your email address will not be published.

2 + 14 =