මධුෂ් එක් කෙනෙක් විතරයි !

 

මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් නම් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා මරා දැමිණි. ඔහුට අපරාධකරුවකුගේ ලේබලය අලවා තිබූ නිසා එම ඝාතනය යුක්තිසහගත කරන්නට එතරම් අමාරුවක් නොවී ය. බැලූ-බැල්මට නාටකයක් ලෙස පෙනෙන එය සමස්තය වගකිවයුත්තකි. මධුෂ්ලා බිහි කොට, හදාවඩා ගත් සුදු ඇඳ ගත් කළු මහත්තුරුන්ට සැඟවීමට ඉඩ නොදිය යුතු ය. ඒ වගේම අධිකරණයක් ඉදිරියේ ඔහු වරදකරුවකු කොට නීතියේ පිළිගත් දඬුවම් ලබා නොදී සාක්ෂි විනාශ කිරීම වෙනුවෙන් මධුෂ්ලා මරාදමා, ම්ලේච්ඡත්වය දෙසට රට ඇදගෙන යාමේ උත්සාහයට එරෙහි විය යුතු ය. එසේ කියන්නේ, මෙම ක්‍රියාවලියේ ඇති දැඩි සැකසහිත බව නිසා ය. වඩාත්ම වැදගත් කරුණ වන්නේ තමන්ගේ නිවසේ අයකු මෙසේ මරා දමන තෙක් අපට සිනහවීමට අවස්ථාව ලැබී තිබීමයි.

කමල් – ඕල්කට් – මධුෂ්

දෙමටගොඩ, ඥානවිමල පාරේ කමල් නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා මරා දැමුණේ 2010 වසරේ දී ය. අතුරුගිරිය පොලිසියෙන් අත්අඩංගුවට ගත්පසු මෙය සිදුවිය. ඔහු නිදහස් කරන්නට පොලිසියෙන් කප්පම් ගත් බවට ද වාර්තා විය. කෙසේ හෝ ඊට සම්බන්ධ බවට සැකපිට පොලිස් නිලධාරීන් කිහිප දෙනකුගේ වැඩ තහනම් කෙරිණි. එපමණකි. එම ඝාතනයට හේතුව කුමක් ද? ඊට අණ දුන්නේ කවුද? කමල් හරහා යට ගිය අපරාධ සංඛ්‍යාව කොපමණ ද යන්න ගැන අවසාන තීන්දුවක් නොවී ය. කමල් පොලිසියට භාර වී තිබුණේ, ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ය. ඒ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු මාර්ගයෙන් බවට විමර්ශන අංශවලට තොරතුරු ලැබී තිබිණි.
කමල් සිටියේ බොරැල්ලේ ඕල්කට් නම් කුප්‍රකට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාට විරුද්ධ පැත්තේ ය. කමල්ට මෙසේ වෙද්දී, ඕල්කට්ට ද මීට වඩා වෙනස් යමක් සිදු වූයේ නැත. ඕල්කට්ගේ මව වූ සුදු අක්කාව මරා දැමුණේ බොරැල්ලේ පිහිටි වෛද්‍ය පර්යේෂණ ආයතනය ඉදිරිපිට දී ය. ඒ ‘ජිල් බෝයි’ නම් තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු විසින් බවට වාර්තා පළ විය. ඉන්පසු නෙළුම් පොකුණ අසල ඇලෙක්සැන්ඩර් වටරවුමට මෙහායින් පිහිටි ඉන්ධන පිරවුම්හලේ දී ජිල් බෝයි මරා දැමුණේ ඕල්කට්ලාගේ කණ්ඩායම අතින් බවට පොලිස් වාර්තා තිබේ.
ජිල් බෝයිගේ පුත්‍රයා වූයේ පීටර්සන් ය. පීටර්සන් යනු වර්තමාන ආණ්ඩුවේ ඉහළ පෙළේ තරුණ දේශපාලනඥයකුගේ සමීප මිතුරෙකි. ඕල්කට්ගේ කණ්ඩායම ජිල් බෝයි මරා දැමීමෙන් නොනැවතී, පීටර්සන් ද පැහැරගෙන ඇත. පීටර්සන් පැහැර ගැනීමේ ආරචිය ලැබුණු විගස ක්‍රියාත්මක වූ අදාළ දේශපාලනඥයා ආරක්ෂක අංශ කණ්ඩායම් 10කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඔහු සොයා ඇත. එහෙත් ඔවුන්ගේ උත්සාහය සාර්ථක වී නැත.
මේ සිදුවීමෙන් පසු අදාළ දේශපාලනඥයාගේ උපදෙස් මත ඕල්කට් පොලිසියට භාරවීම සිදු වේ. එය සිදු වී ඇත්තේ, මිනීමැරුමකට වරදකරු වී දැනට බන්ධනාගාරගතව සිටින දේශපාලනඥයකුගේ මාර්ගයෙන්
බවට වාර්තා වේ. ඕල්කට් මෙම දේශපාලනඥයාට සහාය දී ඇති අතර, ඔහුගේ සියලු ව්‍යාපාරවල මෙහෙයුම් කටයුතු, ආරක්ෂක කටයුතු භාරව කටයුතු කර ඇතැයි පැවසෙන්නේ ද ඔහු ය. එසේ තමන්ට සහාය දුන් ගෝලයාව, අදාළ දේශපාලනඥයාගේ උපදෙස් පිට මිනුවන්ගොඩ දී පොලිසියට භාර කෙරිණි. ඉන්පසු ඔහු මරා දමා ඇති බව මාධ්‍ය මඟින් වාර්තා කෙරිණි. එහි අරමුණු දෙකක් තිබෙන්නට ඇත. එකක් ලොකු දේශපාලනඥයාගේ ය. අනෙක ඔහුගේ ගෝල දේශපාලනඥයාගේ මෙහෙයුම් රහස් ආරක්ෂා කර ගැනීම ය.
ජිල් බෝයි නමැති ඝාතනය කෙරුණු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ බෑනාට, ඉහත කී දේශපාලනඥයා විසින් රුපියල් ලක්ෂ 80ක වාහනයක් විකුණා තිබිණි. එය ඇත්තටම ලක්ෂ 80 ඒවා තුනක් පමණ වටිනා වාහනයක් විය. මේ වාහනය පිළිබඳව 2015 ආණ්ඩුව ද මාධ්‍ය සංදර්ශන කිහිපයක් පැවැත්වී ය. එහෙත්, අවසානයක් දක්වා ඒ කිසිදු විමර්ශනයක් ගෙන ගියේ නැත.

පාතාල නායක අතිශයෝක්තිය

මේ ආකාරයට මාධ්‍ය මඟින් අතිශයෝක්තියෙන් වාර්තා කොට පාතාල නායකයන් යන නමින් වීරත්වයට පත්කරන ලද චරිත රැසකි. ඔවුන් මත්කුඩු ව්‍යාපාරිකයන් ය. ඔවුන්ට එරෙහිව අධිකරණයේ නඩු තිබිණි. ඒ නඩුත් සමඟම ඔවුන් මිය ගියෝය. මත්කුඩු ව්‍යාපාර නැවතුණේ නැත. ඒවා ඒ ආකාරයම ය. පාතාල නායකයන් යන නමින් වීරත්වයට පත්කරන ලද බව සඳහන් කළේ එය මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීමෙන් පසු ඔවුන් ද ඇඳ ගත් බවට සාක්ෂි ඇති නිසා ය. උදාහරණයක් ලෙස මධුෂ්ගේ ඡායාරූප පත්තරවල මුල් පිටුවල පළ වන විට ඔහු ඒවා මිතුරන්ට පෙන්වමින්, ‘වට්ස්ඇප්’, ‘වයිබර්’ වැනි ක්‍රම හරහා සිය බිරිඳ ඇතුළු ගමේ මිතුරන්ට එවමින්, එම වාර්තාකරණ පිළිබඳ තෘප්තියෙන් කල් ගෙවූ බව

දැනගන්නට තිබේ. ඒ කියන්නේ වීරයන් බිහි කොට, ඒ වීරයන් මඟින් අවශ්‍ය කොන්ත්‍රාත් ඉටු කරවාගෙන, වීරයන් වනසා දැමීමේ ක්‍රමයයි.
2012 වසරේ දී පමණ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි මධුෂ්ට අධිකරණයෙන් ඇප ලැබිණි. ඇප ලැබුණු මධුෂ් අනෙකුත් පිරිස් මෙන් එළියට නොපැමිණ, බන්ධනාගාර බස් රථයේම ගොස් ජා-ඇළින් බැස ඇත. එහි පැමිණි වාහනයකින් හැමිල්ටන් ඇළේ කිසියම් ස්ථානයකට ගොස්, මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ගොස් ඇත. මේ සඳහා මධුෂ්ට ගත වී ඇත්තේ, පැය දෙකක පමණ කාලයක් බවත්, ඔහුගේ පලා යාම එතරම්ම සැලසුම් කර තිබූ බවත් පසුව ආරක්ෂක අංශවලට තහවුරු වී ඇත.

රටින් පිට ජීවිතය

ලංකාවෙන් පලා යාමෙන් පසු ඔහු ඉන්දියාවේ දී ඩාවුඞ්ගේ කණ්ඩායම සමඟ කටයුතු කිරීම අරඹා ඇත. ඩාවුඞ් යනු බොලිවුඞ් ප්‍රකට නළු සංජය දත් සම්බන්ධ බවට තහවුරු වූ මිනීමැරුම් සිදු වීමට සම්බන්ධ සැකකරුවෙකි. ඔහු ඉන්දියාවෙන් පලා ගොස් ඩුබායිහි ජීවත් වන අතර, ඉන්දියාවෙන් ඔහුට රතු වරෙන්තු නිකුත් කර ඇත. ලාඕසය, පාකිස්තානය, වියට්නාමය, තායිලන්තය ඇතුළු කලාපයේ නීති විරෝධී ව්‍යාපාර සිදු කරන මේ ඩාවුඞ් නමැත්තා විසින් මධුෂ්ව ඉන්දියාවෙන් ඩුබායි වෙත ගෙන්වාගෙන ඇත. ඒ පාකිස්තානය හරහා ය. එනම්, මධුෂ් ඩුබායි ගොස් ඇත්තේ පාකිස්තානයෙන් ය. එසේනම්, නිවැරදි රාජ්‍යතාන්ත්‍රික ක්‍රමවේදවලට අනුව මධුෂ් ඩුබායිවලින් පිටුවහල් කළේ නම්, ඔහු පිටුවහල් කළ යුත්තේ පාකිස්තානයට ය. ඊට හේතුව උදර්පන නීතියට අනුව රටකින් පිටුවහල් කරන්නේ, ඒ රටට පැමිණි රටට වීම ය. එහෙත්, මධුෂ් පිටුවහල් කෙරුණේ ලංකාවට ය.
වරක් කටුනායක ගුවන්තොටුපොළේ දී ඇමෙරිකානු ජාතික තරුණයන් දෙදෙනකු කොකේන් සමඟ මෙරට අත්අඩංගුවට පත් වී ඇත. ඔවුන් පැමිණ ඇත්තේ ඇමෙරිකාවේ නිව්යෝර්ක්හි ප්‍රධාන ගුවන්තොටුපොළක් වන කෙනඩි ගුවන්තොටුපොළේ සිට ය. ඇමෙරිකානු තානාපති බලධාරීන්ගේ මෙහෙයවීමෙන් මේ තරුණයන් දෙදෙනා පිළිබඳ විමර්ශන සඳහා ඇමෙරිකානු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් පිරිසක් මෙහි පැමිණ ඇත. ඊට හේතු වී ඇත්තේ, තරුණයන් දෙදෙනා අත්අඩංගුවට පත්වීම නොව, ඔවුන් කෙනඩි ගුවන්තොටුපොළේ සිට මෙම කොකේන් ගෙන ආවේ ද යන්න නිශ්චිතව අනාවරණය කර ගැනීම ය. එය එසේනම්, කෙනඩි ගුවන්තොටුපොළේ බරපතළ දුර්වලතාවක් ලෙස ඔවුන් සැක කර තිබිණි. එහෙත්, එම කණ්ඩායම අනාවරණය කරගෙන තිබුණේ කටුනායකට ගොඩබැසීමෙන් පසු පැයක පමණ කාලයක් තුළ දී, ඔවුන්ට කොකේන් ලැබී ඇති බවත්, එය මෙරට දී සිදු වූවක් බවත් ය. මෙම තරුණයන් දෙදෙනා ඩාවුඞ්ලාගේ කණ්ඩායම සමඟ සම්බන්ධකම් පවත්වන බවත්, මධුෂ්ගේ මෙරට ගෝලයකු මඟින් මෙම කොකේන් ඔවුන් අතට ලැබී ඇති බවත් විමර්ශකයෝ තහවුරු කරගෙන ඇත. මේ ඩාවුඞ් නමැත්තා පිළිබඳව ඇති පැරණි
වාර්තාවලට අනුව ඔහු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට ද පුහුණුව ලබා දී ඇත. මධුෂ් මෙරට සිටිය දී ද එල්.ටී.ටී.ඊ. ගිනි අවි ලබා ගැනීම සිදු කර ඇත. ඔහුට ඩාවුඞ් සමඟ සම්බන්ධතාව හැදී ඇත්තේ ද ඒ මාර්ගයෙන් බව වාර්තා වේ.

චීන – ඇමෙරිකා ගනුදෙනුව

තායි – චීන මාෆියාව සමඟ ඩාවුඞ්ලාගේ කණ්ඩායම සමීපව ගනුදෙනු කිරීමත්, තායි – චීන මාෆියාවේ මූලස්ථානය පාකිස්තානයේ පවත්වාගෙන යාමත් ඇමෙරිකානු මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන්ගේ අවධානයට ලක් වී තිබේ. චීනය සමඟ ඇමෙරිකාවේ ඇති තරගය සහ ගැටුම හේතුවෙන් යම් අවස්ථාවක දී මේ කණ්ඩායම ඇමෙරිකානු නියෝජිත පිරිසකට හෝ ඇමෙරිකාවට සම්බන්ධ ආසියානු කලාපයේ යම් ස්ථානයකට හෝ ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි ඔවුන් සැකකර ඇත. ඊට හේතුව චීනයට මේ මාෆියාකරුවන් මුදලට හැසිරවීමේ බලය තිබීමයි.
ඇමෙරිකාව සහ පාකිස්තානය අතර තිබූ හොඳ හිත පළුදු වී ඇත්තේ, ඔසාමා බින් ලාඞ්න් මරා දැමීමේ ඇමෙරිකානු ආරක්ෂක අංශ මෙහෙයුමේ දී ය. එහි දී ඇමෙරිකානු හෙලිකොප්ටරයක් පාකිස්තානු සීමාවට කඩාවැටී ඇති අතර, එය පාකිස්තානය විසින් චීනයට විකුණා ඇත. මේ සිදුවීම සහ තවත් සිදුවීම් රැසක් හේතුවෙන් ඇමෙරිකාව සහ ඉන්දියාව ඒකාබද්ධව පාකිස්තානයේ මෙහෙයුම් සිදු කරන මාෆියා කල්ලි සහ ඔවුන්ට ආසියානු කලාපයේ දී සහයෝගය ලබා දෙන කණ්ඩායම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශන සිදු කර තිබේ. එහි දී ඔවුන් ඩාවුඞ්ගේ කල්ලිය, එහි කටයුතු කළ මධුෂ් ඇතුළු කණ්ඩායම් හඳුනාගෙන ඇත. ඇමෙරිකානු සහ ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් ඩුබායි හි දී මධුෂ් අත්අඩංගුවට ගෙන ඇත්තේ මේ මෙහෙයුම්වල එක් පියවරක් ලෙස බව වාර්තා වේ. මධුෂ් අත්අඩංගුවට ගත් කණ්ඩායමක් හෝ ඩුබායි පොලිසියේ නිශ්චිත ඒකකයක් ගැන හෝ තොරතුරු අනාවරණය නොකෙරිණි.
ඩුබායි පොලිසියෙන් මධුෂ් අල්ලා ඇති බවක් මෙරට පොලිස් පරීක්ෂකවරයකු හරහා එවකට පොලිස්පති පූජිත් ජයසුන්දරට දැනගන්නට ලැබේ. එදිනම උදෑසන එවකට ජනාධිපතිවරයා වූ මෛත්‍රිපාල සිරිසේනට සෞදි තානාපති කාර්යාලය හරහා ලැබුණු තොරතුරක් ලෙස ලංකාවේ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවක් බුද්ධි අංශ මඟින් වාර්තා කර ඇත. මේ බව ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාගෙන් විමසූ විට, ඔහු නොදන්නා බව පවසා තිබේ. එහෙත්, ඉන්පසු අදාළ පොලිස් පරීක්ෂකවරයා සමඟ පැමිණි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු මේ තොරතුර පැවසීමෙන් පසු පොලිස් පරීක්ෂකවරයා ද සමඟ පොලිස්පතිවරයා ජනාධිපතිවරයා හමුවට ගොස් ඇත. ඉන්පසු මධුෂ් මෙරටට ගෙන ඒමට අදාළ තොරතුරු මෙන්ම ඔහු මෙරටට ගෙන ආ පසු සිදු වූ සිදුවීම් ගැන ද මාධ්‍ය දිගින්දිගටම වාර්තා කළේය.
තවත් කරුණක් තිබේ. ඉහත දී ද පැවසූ ආකාරයට මධුෂ් නීතියට අනුව පාකිස්තානයට පිටුවහල් නොකෙරිණි. ඊට ද ඇතැම් විට ඔහු අත්අඩංගුවට ගත් පාර්ශ්වවල මැදිහත්වීමක් තිබෙන්නට ඇත. එසේ පාකිස්තානයට ගියේ නම්, ඔහු යන්නේ තායි-චීන මාෆියාවේ ආසියානු මූලස්ථානයට ය. ලංකාවට පැමිණි ඔහුට අධිකරණයකට හෝ ඉදිරිපත් වීමකින් තොරව මියයෑමට සිදු විය.
දර විකුණමින් සිටි මධුෂ් සමඟ ඩැනී හිත්තැටියගේ මස්සිනා කෙනෙකු පැටළුණු හැටිත්, ඩැනී හිත්තැටිය ඊට අත දැමූ හැටිත්, මධුෂ් විසින් ඩැනී හිත්තැටිය මරාදැමුණු හැටිත්, තවත් සිදුවීම් අතර පිළියන්දල දී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් පිරිසකට ප්‍රහාරයක් එල්ල කළ හැටිත්, මාධ්‍ය මඟින් නිතර පළ කරන ලදී. මාධ්‍ය මඟින් පළ කෙරෙන ඉහත කතා සහ තවත් කතා අතර විවිධ පරස්පරතා ද පැවැතිය හැකි ය. ආරක්ෂාවට සම්බන්ධ විවිධ අංශ මූලාශ්‍ර කර ගනිමින් ඉදිරිපත් කෙරෙන එම තොරතුරුවල විවිධ පාර්ශ්වවල පක්ෂපාතීකම් ද තිබිය හැකි ය. කෙසේ වෙතත්, වැදගත් වන්නේ අවසානයයි.

යුක්තියේ විහිළුව

කමල්ලා, ඕල්කට්ලා මෙන්ම මධුෂ් ද මරා දැමිණි. ඒ අධිකරණයේ යුක්තිය පසිඳලීමේ ක්‍රමවේදයකින් බැහැරව ය. එවැනි අපරාධවලට අදාළව මීට පෙර නම් විධිමත් විමර්ශන සිදු නොවී ය. උදාහරණයක් ලෙස මධුෂ්ට පෙර මේ ආකාරයේම මාධ්‍ය ප්‍රචාරයක් ලබා දුන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු ලෙස හැඳින් වූ ඉන්ද්‍රා නැමත්තාගේ මරණය පෙන්වා දිය හැකි ය. සඟවා තිබූ ආයුධයක් පෙන්වීමට රැගෙන යාමේ දී, අතක් ද කැඩී තිබූ ඔහු පොලිස් ජීප් රථයේ රියැදුරුගේ ගෙල සිරකර පලා යාමට උත්සාහ කළ බවත්, එහි දී ආත්මාරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරියකු ඔහුට වෙඩි තැබූ බවත් ප්‍රකාශ විය. ඉන්පසු එය අවසන් ය.
1989 වසරේ දී සැකකරුවකු අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන යමින් සිටිය දී, ඔහු විසින් ජීප් රථයේ රියැදුරුගේ ගෙල සිර කිරීම නිසා ඇක්සලේටරය පෑගීමෙන් සිදු වූ අනතුරකින් නිකවැරටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් මිය ගියහ. මේ සිදු වීමෙන් පසු එවකට පොලිස්පතිවරයා විසින් වහාම චක්‍රලේඛයක් නිකුත් කළ අතර, එහි සඳහන් වූයේ කිසිදු අවස්ථාවක සැකකරුවකු රියදුරු අසුනට පිටුපස අසුනේ රැගෙන යෑම තහනම් බවයි. එවැනි චක්‍රලේඛයක් පවා තිබිය දී, නීතියට අනුව සිරමැදිරියෙන් මාංචු දමා එළියට ගත් සැකකරුවන් මෙසේ දිගින්දිගටම පොලිසියට පහර දෙන්නේ ය. මධුෂ්ගේ සිදුවීම ගැන අමුතුවෙන් ලිවිය යුතු නොවන්නේ ඒ ගැන පසුගිය දින කිහිපයේ සියලු තොරතුරු මාධ්‍ය මඟින් වාර්තා වූ නිසාත්, බහුතර ජනතාවක් එය නාටකයක් ලෙස පිළිගන්නා තත්ත්වයක් දකින්නට තිබූ නිසාත් ය. අධිකරණයෙන් ඊට අදාළ සාධාරණයක් ඉටු වේ යැයි දැනට අපේක්ෂා කළ යුතුය.

මහේස්ත්‍රාත් වගකීම

එහෙත්, මෙසේ සැකකරුවන් ඝාතනය කිරීමේ සිදුවීම්වල දී ඊට අදාළ මරණ පරීක්ෂණය සිදු කරන මහේස්ත්‍රාත්වරයා හෝ මහේස්ත්‍රාත්වරිය සිය වගකීම නිසි පරිදි ඉටු නොකරන බවට ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු චෝදනා කරති. අදාළ සැකකරු ඝාතනය වූ ආකාරය, එහි ඇති සැකකටයුතු අවස්ථා, පොලිසිය සටහන් කර ගත් සාක්ෂි පිළිබඳ ප්‍රශ්න නොකරන බව ද ඔවුහු පෙන්වා දෙති. මෙය යුක්තිය වෙනුවෙන් වන බරපතළ ගැටලුවකි. අත්අඩංගුවට ගන්නා සෑම සැකකරුවෙකු සම්බන්ධයෙන් ම එම පොලිස් ස්ථානය භාර ස්ථානාධිපතිවරයා වගකිව යුතු ය. 1994 කෲර, අමානුෂික සහ අවමන් සහගත සැලකිලිවලින් වැළකීමේ පනතේ එය පැහැදිලිව සඳහන් වේ. එහෙත්, පසුගිය කාලයේ දී මෙසේ අත්අඩංගුවට ගැනීමෙන් පසු මියගිය නැතහොත් මරා දැමුණු සැකකරුවන් කී දෙනකුට අදාළව පොලිස් ස්ථානාධිපතිවරුන්ව ප්‍රශ්න කෙරුණේ ද? ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූයේ ද?
පූගොඩ පොලිස් අත්අඩංගුවේ සිටිය දී මිය ගිය තරුණයකුට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එහි ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. එම තරුණයා මත්කුඩුවලට ඇබ්බැහි වූවෙකි. ගමේ නිවසකින් සොරකමක් කිරීමේ හේතුවෙන් ගම්වාසීන් පහර දීමෙන් පසු, පොලිසියට භාර දුන් අයෙකි. ඒ කියන්නේ පෙනෙන විදිහට ඔහු මරා දැමීමෙන් සඟවන්නට සාක්ෂි නැත. සඟවන්නට අණ දුන් පිරිස් නැත. එම නිසා ඔහු ආයුධ පෙන්වන්නට රැගෙන ගොස් නැත. ඔහුට ගම්වාසීන් පහර දීමෙන් පසු පොලිසියේ දී ද පහර දෙන්නට ඇත. ඉන්පසු ඔහු මිය යන්නට ඇත. ඒ සිද්ධියට අදාළව නීතිය ද ක්‍රියාත්මක වන්නේ ය. මධුෂ් හෝ එවැනි සඟවන්නට සාක්ෂි ඇති, කොන්ත්‍රාත්කරුවන් සම්බන්ධයෙන් තත්ත්වය වෙනස් ය.

ම්ලේච්ඡත්වය දෙසට !

හොඳම උදාහරණය වන්නේ වැලිකඩ ලැයිස්තුගත සමූහ ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මේ සිදුවීමෙන් පසු ෆේස්බුක්හි පළ කර තිබූ සටහනයි. හදිසියට පළ කළාට, පසුදින එම ගිණුම අක්‍රිය කර තිබිණි.
“මෙඩිකල් කන්ඩම් කරලා මාව ගෙදර යවන්න හැදුවා ම කැමැත්තෙන් ආවෙ, හිටියෙ උඹව මුහුණට මුහුණ හමුවෙන්න. උඹේ ලේ ගඳ මගේ නාසය තවම ඉල්ලනවා. ඒකයි. සත්තකින්ම ඉල්ලනවා, මගේ කොල්ලන්ගෙ ලේවලට සාධාරණයක් කරන්න. …ෆවුසි මන්ත්‍රී හිටි නිසා උඹ එදා යහතින් ගියා. …යන තැනකට ගිහින් හිටපන්. මම කලින් එව්ව කිහිප දෙනෙකුත් ඉන්නවා. …උඹේ ගෝලයන්ට හීනෙන්වත් ඇවිත් කියපන්, හැම පොලිස්කාරයෙක්ම පොන්නයො නෙමෙයි කියලා. උඹව එව්වෙත් නියම පොලිස්කාරයන් කිහිපදෙනෙක් කියපන්.”
මේ කොතරම් ම්ලේච්ඡ තත්ත්වයක් ද? යුක්තිය ඇත්තේ කොතරම් පසුපසින් ද? ඔවුන්ට තව සාක්ෂි කොපමණක් වළලන්නට තිබේ ද? සැලසුම් කරන ලද අපරාධ රාජ්‍යයක් දක්වා මාධ්‍ය ද ඇතුළු සැලසුම්කරුවෝ අපව රැගෙන යමින් සිටිති. තමන්ගේ නිවසේ සමීපතමයකු මෙසේ ඝාතනය කරන තුරු බහුතරය සතුටෙන් ය●
-ශාලික විමලසේන

Leave A Reply

Your email address will not be published.

eighteen − eight =