කදිරගාමර් ඝාතනය ගැන මහින්ද පාර්ලිමේන්තුවට බොරු කියයි !

කීර්තිමත් විදේශ ඇමැතිවරයකු වූ ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනයට සම්බන්ධ සියලු‍ සැකකරුවන් තමන් ජනාධිපති ධුරය දරන කාලයේ දී අත්අඩංගුවට ගත් බවට අගමැති මහින්ද රාජපක්ෂ පසුගිය 21දා විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ විවාදයකට එක් වෙමින් පාර්ලිමේන්තුවේ දී පැවසූ කරුණ සත්‍යය නොවන බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු පෙන්වා දෙති. අගමැතිවරයා එහි දී පවසා තිබුණේ, තමන්ගේ කාලයේ සිදුවීමක් නොවුව ද, කදිරගාමර් ඝාතනයට අදාළ සියල්ලන් අල්ලා ගැනීමට තමන් නායකත්වය දැරූ ආණ්ඩුව කටයුතු කළ බවයි.
ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් ප්‍රශ්න කරන්නේ, එම ඝාතනයට සම්බන්ධ සියල්ලන් අත්අඩංගුවට ගත්තේ නම්, වසර 14ක් සැකකරුවකු ලෙස අත්අඩංගුවේ සිටි, මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එකම සැකකරු මිය යාමෙන් පසු නඩුව අවසන් කිරීමට අධිකරණය කටයුතු කළේ ඇයි ද යන්නය. කොළඹ මහාධිකරණයේ අංක එච්සී/42/26/2008 යටතේ විභාග වූ මෙම ඝාතන නඩුව පසුගිය වසරේ ජුනි මාසයේ දී අවසන් කෙරිණි. ඊට හේතු වූයේ මෙම නඩුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි එකම සැකකරු වූ මුත්තයියා සහාදේවන් 2019 ජුනි 22දා කොළඹ ජාතික රෝහලේ දී මිය යාම ය. වකුගඩු රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා සැකකරුව බන්ධනාගාර නිලධාරීන් විසින් ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි.

2005 අගෝස්තු 12 වැනිදා කොළඹ 07 පිහිටි තම නිවසේ දී ස්නයිපර් වෙඩික්කරුවකු විසින් හිටපු ඇමතිවරයාව ඝාතනය කෙරිණි. ඉන්පසු 2005 අගෝස්තු 13 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් සහාදේවන් නමැත්තා අත්අඩංගුවට ගෙන ඇත. ඔහු කොළඹ, කිරුළපන, පොල්හේන්ගොඩ පදිංචිව සිටි අයෙකි. බිරිඳ ධනලක්ෂ්මී සහාදේවන් ය. ඔවුන්ට දරුවන් දෙදෙනෙකි. ජීවිකාව සඳහා එදිනෙදා කුලී වැඩ කළ ඔහු 2005 වසර වන විට කොළඹ, බුලර්ස් පාරේ නිවසක කුලී වැඩට යාමට පුරුදුව සිට ඇති අතර, ඒ අවට නිවෙස්වල ද වැඩවලට සම්බන්ධ වී ඇතැයි ඔහු පොලිසියට ලබා දී ඇති ප්‍රකාශවල සඳහන් ය.
අගෝස්තු 13දා සහාදේවන් සිය බිරිඳ සමඟ කිරුළපන පොළට ගොස් එමින් සිටිය දී කොළඹ අපරාධ කොට්ඨාසයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. ඉන්පසු ඔහු රැගෙන ගොස් ඇත්තේ, බුලර්ස් පාරේ පිහිටි තලේසිංහම් නමැත්තකුගේ නිවසකට ය. එම නිවසේ බැල්කනිය අසල තිබුණු ගසක අතු පෙන්වා ඒවා කැපුවේ ඔහු විසින් දැයි ප්‍රශ්න කර ඇත. එම අතු ඊට මාසයකට පමණ පෙර දවසක තමන් කැපූ බව ඔහු පිළිගෙන ඇත. තලේසිංහම් නමැති නිවෙස් හිමිකරු ද ඒ මොහොතේ පවසා ඇත්තේ, එය තමන්ගේ උපදෙස් මත සිදු කළ බවයි. ඉන් පසු සහාදේවන් ගෙන ගොස් ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයටයි.

කදිරගාමර් ඝාතනය කෙරුණු වෙඩි උණ්ඩ එල්ල වූයේ එම බැල්කනිය ආසන්නයේ වූ ජනේලයකින් බවට විමර්ශන අංශ සැක කර ඇත. එහෙත්, එම අත්ත සහිත ගස පිහිටි නිවසේ හිමිකරු අත්අඩංගුවට ගන්නට පොලිසිය කටයුතු කර නැත. කොළඹ අපරාධ කොට්ඨාසයේ මාස තුනක් රඳවා තබා ඇති ඔහුව 2005 නොවැම්බර් 16 වන දින රක්ෂිත බන්ධනාගාරගත
කර ඇත. එතැන් සිට මිය යන තුරු වසර 14ක් ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇත.

Leave A Reply

Your email address will not be published.

twelve + nineteen =