හමුදාව, මාධ්‍ය සහ හාම්පුතුන්ට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

නිදහස් වෙළෙඳ කලාපය තුළ කොවිඞ් 19 මර්දනය සහ නිරෝධායන කටයුතුවල දී හමුදාව, ඇඟලුම් කම්හල් සමාගම් සහ මාධ්‍ය විසින් ඇඟලුම් සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරනු ලැබ ඇතැයි සඳහන් කරමින් වෙළෙඳ කලාපයේ සේවක අයිතිවාසිකම් සඳහා සිවිල් සමාජ එකතු වී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබේ.
වෙළෙඳ කලාපයේ සේවක අයිතිවාසිකම් සඳහා සිවිල් සමාජ එකතුව වෙනුවෙන් රයිට්ස් නව් – ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා සාමුහිකය, චමිලා තුෂාරි – ඩාබිඳු සාමුහිකය, පද්මිණි වීරසූරිය – ස්ත‍්‍රී මධ්‍යස්ථානය, අශිලා නිරෝෂනි දන්දෙණිය -Stand Up Movement Lanka iy  සහ චන්ද්‍රා දේවනාරායන – මානව සංවර්ධනය සඳහා විප්ලවීය පැවැත්ම යන පාර්ශ්ව මෙම පැමිණිල්ල කර තිබේ.
කලාපය තුළ මෙම වසංගතය මර්දනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ ගෙන යන වැඩපිළිවෙළ අවිධිමත් හා බලහත්කාරී වීමත් මෙවැනි අවස්ථාවක වඩාත් වගකීමෙන් කටයුතු කළ යුතු පාර්ශ්ව වගකීමකින් තොරව කටයුතු කිරීමත් හේතුවෙන් සහ මෙම දෙවන රැල්ලට වගකිව යුත්තේ ඇඟලුම් සේවක සේවිකාවන් ය යන වැරැදි මතය හේතුවෙන් ඇඟලුම් සේවක සේවිකාවන් බරපතළ ගැටලු රැසකට සහ දැඩි පීඩනයකට මුහුණ දී සිටින බව එම පැමිණිල්ලේ දැක්වෙයි.
නිදහස් වෙළෙඳ කලාපය තුළින් මෙම වසංගත ව්‍යාප්තිය ඇරඹීමත් සමඟ ප‍්‍රධාන දහරාවේ රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද ඇඟලුම් සේවිකාවන්ගේ ලිංගිකත්වය, වෘත්තීය සහ ස්ත‍්‍රීත්වය පදනම් කර ගත් වෛරී හා අපහාසාත්මක ප‍්‍රකාශ දිගින්දිගටම සිදු වන බවට නිරීක්ෂණය වී ඇතැයි එම පැමිණිල්ලේ සඳහන් වෙයි. මේ හේතුවෙන් ඇඟලුම් සේවක සේවිකාවන් වෛරසය පැතිරවීමේ වාහකයන් යැයි සමාජය හමුවේ දෝෂ දර්ශනයට ලක්ව ඇතැයි ද, විශේෂයෙන්ම මෙවැනි චෝදනා සමඟ ඔවුන්ට නවාතැන් ගැනීම්, ගමනාගමනය, කඩ සාප්පුවලට යාම් අවහිර කෙරෙන තත්ත්වයක් උද්ගතව ඇතැයි ද ඔවුහු පැමිණිල්ලෙන් පෙන්වා දෙති.
නිරෝධායනයට ලක් කිරීමට හෝ ආසාදිතව රෝහල් කරා ගෙන යන ඇඟලුම් සේවක සේවිකාවන් වෙත පැහැදිලි තොරතුරු නොදී බස් රථවලට පැටවීම, නිරෝධායන මධ්‍යස්ථානවල දුර්වල සනීපාරක්ෂක පහසුකම් පැවැතීම සහ පී.සී.ආර්. පරීක්ෂණ කිරීම් නොසැලකිලිමත් අන්දමින් සිදුව ඇති බවටත් එම ක්‍රියාවලිය ඔස්සේ මෙම ඇඟලුම් සේවක සේවිකාවන් වෙනස් කොට සැලැකීමට ලක්ව ඇති බවටත් වාර්තා වී තිබෙන බව ඔවුහු පවසති.

Leave A Reply

Your email address will not be published.

11 − 2 =