ජේ. ආර්. ගේ දෙවැනි පිම්ම යන්න නම් තනි කෙනෙක් අතට බලය ඕනේ

20වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පාර්ලිමේන්තු විවාදය පසුගිය ඊයේ (21) හා අද (22) පැවැත්විණි. එම විවාදයට සහභාගී වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සිදු කළ කතාවේ සංක්ෂිප්ත සටහනකි.

19 වැනි සංශෝධනයට අත උස්සපු, ඒ වගේම 20 වැනි සංශෝධනයට අත උස්සන්න සූදානමින් සිටින ජී. එල්. පීරිස් ඇමතිතුමාගේ කතාවෙන් පසුව කතා කිරීමට ලැබීම ගැන සතුටු වෙනවා. මේ සංශෝධනය ඉදිරිපත් කරන කොට ගමේ කතාවෙන් කියනවා නම්, පිටිපස්සේ ඉඳන් පිහියෙන් අනින තත්ත්වයක් ඊයේ දැක්කා. මහින්ද රාජපක්ෂ අගමැතිවරයා පිටුපසින් සිටි අලි සබ්රි අධිකරණ ඇමතිවරයා 20 යෝජනාව ඉදිරිපත් කරන කොට මම ඒ බව සජීවීව ඒ බව දැක්කා. (බාධා කිරීම්) මේ වන විට සංශෝධන 19ක් ව්‍යවස්ථාවට ඉදිරිපත් කර තිබෙනවා. එයින් 19 සහ 17 හැර ඉතිරි සංශෝධන 17ට ම විරුද්ධ පක්ෂ විරුද්ධ වී තිබෙනවා.
17 සහ 19 සම්මත කරගන්න කොට තිබුණේ, සුළුතර ආණ්ඩු. 2001 චන්ද්‍රිකා මැතිනියගේ ආණ්ඩුව. 2015 මෛත්‍රී – රනිල් ආණ්ඩුව. 17 සහ 19 වැනි සංශෝධන සුළුතර ආණ්ඩුවකින් ගෙනාවාට පාර්ලිමේන්තුවේ වැඩිම අනුමැතියක් ලැබුණ සංශෝධනයි. මේ 20 වැනි සංශෝධනය සම්මත කර ගන්න යන්නේ තමුන්නාන්සේලා සතු තුනෙන් දෙකේ බලයෙන්. ගරු අගමැතිතුමාගේ කතාවේ කිව්වා, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා අවස්ථාවේ මන්ත්‍රීවරයකුව සිටියා නම්, එයට විරුද්ධ වෙන බව.
19 වැනි සංශෝධනයේ අඩුපාඩුකම් තිබෙන බව අපි කවුරුත් පිළිගන්නවා. එහි හරය ගැබ්ව තිබුණේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් සහ ප්‍රජාතන්ත්‍රවාදී තන්ත්‍රය ශක්තිමත් කර ගන්න. ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙක් එම තනතුරට නොගැළපෙන ආකාරයෙන් කටයුතු කළොත් ඉවත් කරන්න ආකාරයක් නැති බව ආණ්ඩුවෙන් මේ සභාවේ දී කිව්වා. නමුත්, කරුණු කිහිපයක් 38:8 වගන්තිය යටතේ දීලා තිබෙනවා. ඒ කරුණු ප්‍රමාණවත් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයේ දිශාවට අන්න ඒ කරුණු ශක්තිමත් කළ යුතුයි. එහෙම නොකර ව්‍යවස්ථා සභාව අවලංගු කිරීමට කටයුතු කිරීම තමන් සතු බුද්ධිය අනාචාරයේ යෙදීමක්.

අසාර්ථකම නායකයන් දෙදෙනෙක්

ගරු කථානායකතුමනි, 19 වැනි සංශෝධනය පරීක්ෂාවට ලක් කළේ අසාර්ථකම නායකයන් දෙදෙනෙක් යටතේයි. ඒ නිසා 19 වැනි සංශෝධනයට බැට දීම ඒ තරම් යුක්තිසහගත නැහැ. මේ රටේ සියලු අර්බුද නිර්මාණය කර තිබෙන්නේ 19 හේතුකොටගෙන වගේ අදහසක් ගරු අධිකරණ ඇමතිතුමා ඊයේ ප්‍රකාශ කළා. කුඩු වැඩි වී තිබීම, ණය වැඩි වී තිබීම, අපරාධ වැඩි වී තිබීම…. (බාධාකිරීම්) කරුණාකරලා අගමැතිතුමාගෙන් මම ඉල්ලා සිටිනවා මේ බාධා කිරීම් නැවැත්වීමට කටයුතු කරන ලෙස.

’80 ජූලි වැඩ වර්ජකයන් එළියට දාන්න ජේ. ආර්.ට ඒ බලය ඕනෑ වුණා

1978 සිට 2010 දක්වා අවුරුදු 37ක් විධායක ජනාධිපති ධුරය ශක්තිමත්ව ක්‍රියාත්මක වුණා. මේ අවුරුදු 37 තමයි ලංකාවට කුඩු වසංගතය ආවේ. අපරාධ සංස්කෘතියක් නිර්මාණය වුණේ. රටේ මූල්‍ය අපරාධ ඉහළ ගියේ මේ අවුරුදු 37 තුළ. මේ අර්බුදවල උල්පත ව්‍යවස්ථාව බව අපි කිසිසේත් පිළිගන්නේ නැහැ. ව්‍යවස්ථාව නිර්මාණය වෙන්නේ අර්බුදයන්ට අනුරූපීව මිස ව්‍යවස්ථාව විසින් අර්බුදය නිර්මාණය කළ එකක් නෙවෙයි. ව්‍යවස්ථාව කියන ලේඛනයට තඩිබෑම වැරැදියි. මා උදාහරණයක් හැටියට ගත්තොත්, 1978 මැතිවරණයෙන් ආණ්ඩුවට ලැබුණ හයෙන් පහක විශේෂිතම බහුතර බලය ලැබුණා. හැබැයි ඔවුන් අපේක්ෂා කළ විනාශකාරී ආර්ථික ගමන ඒ බලයෙන් දියත් කරන්න බැහැ. පාර්ලිමේන්තුවට කේන්ද්‍ර වී තිබෙන බලය තනි අතකට ඕනෑ. එදා තිබුණු අර්බුදයට ඔවුන් විසඳුම් සෙවූ දිශානතියෙන් තමයි, විධායක බලය නිර්මාණය කළේ. ’80 ජූලි වැඩ වර්ජකයන් එළියට දාන්න ජේ. ආර්.ට ඒ බලය ඕනෑ වුණා. හයෙන් පහේ බලය තව අවුරුදු 06ක් තියාගන්න ඡන්ද කල් දැම්මා. විනාශකාරී ගමන යන්න හයෙන් පහේ බලය තියා ගන්න ඕනෑ නිසා තමන් අපේක්ෂා කරන විනාශකාරී ගමන යන්න විධායක බලය නිර්මාණය කරනවාට ප්‍රගතිශීලි ව්‍යාපාර විරුද්ධ වුණා.

අගමැතිතුමාගේ හෘදය සාක්ෂිය දන්නවා 20 න් සිදු වන විනාශය ගැන

ගරු අගමැතිතුමාගේ හෘදය සාක්ෂිය දන්නවා සිදු වන විනාශය ගැන. අද මොනවා කරයි ද මම දන්නේ නැහැ. ඒ විනාශයේ උල්පත ව්‍යවස්ථාව නෙවෙයි. අනුගමනය කර සැලැසුම් කර තිබුණු ආර්ථික ක්‍රියාමාර්ග. සමානුපාතික මැතිවරණ ක්‍රමය හඳුන්වා දුන්නට පසුව පාර්ලිමේන්තුවේ තනි පක්ෂයක් මන්ත්‍රී ධුර 145ක බලයක් තිබෙනවා. සහයෝගය දෙන අනෙක් කණ්ඩායමත් සමඟ 150ක් ඉක්ම වූ බලයක් තිබෙනවා. ජනාධිපති ධුරයේ බලයත් තිබෙනවා. ඒ නිසා බලයේ අඩුවක් නැහැ. පළාත් පාලන ආයතනවල බලයත් තිබෙනවා. හැබැයි තනි කෙනෙක් අත බලය නැහැ. එතැනයි ඔවුන්ට තිබෙන අඩුව. ඒ බලය ආයතන තුළ පමණක් නෙවෙයි පවුලක් වටාත් කේන්ද්‍රගත වී තිබෙනවා. ජනාධිපතිගේ සොහොයුරු අගමැතිවරයායි. ඔහුගේ පුතණුවන් ක්‍රීඩා අමාත්‍යවරයා. වැඩිමහල් සහෝදරයා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා. ඔහුගේ ඥාති පුතා රාජ්‍ය අමාත්‍යවරයෙක්. අනෙක් ඥාති පුතා මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරයා. පාර්ලිමේන්තුවේ නැතත් බැසිල් රාජපක්ෂ සොයුරා බලවත් කාර්යභාරයක් කරනවා. මේ තියෙන්නෙත් බලයක්. හැබැයි ඒකත් මඳිවෙලා. හැබැයි ඇයි තවත් මඳි වෙන්නේ. ආණ්ඩුවේත්, ඥාති සමූහයාත් අත බලය කේන්ද්‍රගත වුණාට ඉදිරි සැලැසුම්වලට බාධාවක්.

ජේ. ආර්. ගේ දෙවැනි පිම්ම

20 වැනි සංශෝධනය සම්මත කරගෙන ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය විකුණන්නේ නැහැ කියලා කියන්න. නැඟෙනහිර ජැටිය විකුණන්නේ නැහැ කියලා කියන්න. ඒ වගේම හම්බන්තොට වරාය විකුණන අවස්ථාවේ ඒවා ගන්න එපා තමන් බලයට ආපු හැටියේ යළි පවරා ගන්නා බව කිව්වා. ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාවේ මෝදි හමුවෙලා හම්බන්තොට වරාය සම්බන්ධ ගිවිසුම නිවැරැදි කරන බව කිව්වා. නමුත්, ලංකාවට ඇවිත් කිව්වේ ඒක සාර්ථකව ක්‍රියාත්මක වෙන බවයි. (බාධා..)
ගරුකථානායක තුමනි, මා කියන්නේ ඉදිරි ආර්ථික පිම්ම යන්න, එම්සීසී අත්සන් කරන්න කොළඹ ආශ්‍රිත ස්ථාන 05ක හඳුනාගෙන තිබෙන හෙක්ටයාර් 100කට වැඩි ඉඩම් ටික විකුණන්න තනි අතකට මේ බලය ගන්න ඕනෑ. මේකට කාලයක් තිස්සේ උත්සාහ කළා. ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ දෙවැනි පිම්ම ආරම්භ කරන්න රනිල් වික්‍රමසිංහ එවකට අගමැතිවරයා 2002දී උත්සාහ කළා. නමුත්, බැරි වුණා. ඒ ඉදිරි පිම්ම ගෙනියන්න මේ බලය කේන්ද්‍රගත කර ගන්නවා. අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතභාවය පිළිගන්නවා. පාර්ලිමේන්තුවට, කැබිනට් මණ්ඩලයට, අධිකරණයට බලය යම් කොටසක් මධ්‍යගත වෙන්න ඕනෑ. හැබැයි අපි අත්තනෝමතික මධ්‍යගතභාවයට පක්ෂපාතී නැහැ. රජුගේ නීතිය ක්‍රියාත්මක වූ රාජාණ්ඩුවල නීතිය රජුගේ. නීතිය ක්‍රියාත්මක කරන්නෙත් රජුයි. ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට බලය පැවරීම කාගේ හෝ ඔළුවකට ආපු සිතුවිල්ලක ප්‍රතිඵලයක් නෙවෙයි. අරගල විසින් දිනාගෙන තිබෙන දෙයක්.
එදා 1889දී ප්‍රංශයේ ලුවී අත තිබූ බලය ජනතාව පාරට බැහැලා විමධ්‍යගත කළා. මෙතැන මධ්‍යගත කරන්න හදන්නේ තනි පුද්ගලයකුට.

තමන්ගේ අමාත්‍ය ධුරයේ මදය ගලවලා ජනාධිපතිවරයාට

ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු සහ විනිසුරුවරුන්, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු සහ සාමාජිකයන් පත් කිරීමත් ජනාධිපතිවරයා අතට ගන්නවා. ඒක තමයි තනි බලය. අධිකරණ සේවා කොමිෂන් සභාවට පහළ අධිකරණවල පත් කිරීම්වලට තිබුණ බලය මේකෙන් අහෝසි වෙනවා. මහේස්ත්‍රාත්වරුන් බඳවා ගැනීම්, දිසා විනිසුරුවරුන් දක්වා උසස් කිරීම් සියල්ල තනි බලයකට ගන්නවා. ඊ ළඟට පාර්ලිමේන්තුව සතු බලය ව්‍යවස්ථා සභාව හරහා ක්‍රියාත්මක කළ ආකාරයත් තිබුණා. ඒ ව්‍යවස්ථා සභාව වෙනුවට තේරුමක් නැති පාර්ලිමේන්තු සභාවක් පත් කරනවා. මේ මඟින් අත් උස්සලා ව්‍යවස්ථා සභාව සතු බලය ජනාධිපතිවරයාට පවරා දෙනවා. පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගෙන අග්‍රාමාත්‍යවරයා නිර්මාණය වෙනවා. ඊ ළඟට ඇමතිවරුන්. පාර්ලිමේන්තුවේ කවර මන්ත්‍රීවරුන්ට ද ඇමති ධුර ලබා දිය යුත්තේ කියලා තීරණය කිරීමේ බලයක් අගමැතිවරයාට තිබෙනවා. ඒකත් ඉවත් වෙනවා. තමන්ගේ අමාත්‍ය ධුරයේ මදය ගලවලා ජනාධිපතිවරයාට ලබා දෙන්න ක්‍රියා කරන්න එපා. (බාධා කිරීම්…) අධිකරණයත්, පාර්ලිමේන්තුවත් යටපත් කිරීමේ බලය නීති සම්පාදනය කිරීමේ බලය ජනාධිපතිවරයාට ගන්නවා.

ජනාධිපතිවරයා යටතට විශාල මුදල් පංගුවක් වෙන් කරගෙන

ගරු කථානායකතුමනි, අපේ රටේ රාජ්‍ය සේවයට ඇතුළත් නොවන්නේ කවුද කියලා තිබුණ ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. හැබැයි දැන් තමුන්නාන්සේලා ජනාධිපති ලේකම් කාර්යාල කාර්ය මණ්ඩලය රාජ්‍ය සේවයට ඇතුළත් නොවෙන අය ලෙස නම් කරනවා. ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය රාජ්‍ය සේවයෙන් ඉවත් කරන ලැයිස්තුවට දැම්මේ ඇයි? ඒක දේශපාලන පක්ෂ ශාඛාවක් කරන්නේ ඇයි ? හැබැයි රජයෙන් පඩි ගෙවනවා. ඊට ඉඩ දිය යුතු ද? ජනාධිපතිවරයා යටතට විශාල මුදල් පංගුවක් වෙන් කරගෙන තිබෙනවා. එහෙම කැත හිතක් ඇයි ? ඊ ළඟ වැදගත්ම කරුණ රාජ්‍ය සේවයේ ඉහළ තනතුරුවලට පත් කිරීමේ බලයයි. අමාත්‍යාංශයකට ලේකම්වරයකු පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට තිබෙනවා. ඊට නිර්ණායක නැහැ. හැබැයි අමාත්‍යාංශයකට ලේකම්වරයා ලෙස පත් කරන තැනැත්තකුගේ ධුර දැරීම නතර වුවහොත්, එම තැනැත්තා රාජ්‍ය සේවයට පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට ලැබෙනවා. උදාහරණයක් ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පත් කිරීමේ බලය අනුපිළිවෙළට එන්නේ ජ්‍යෙෂ්ඨම නියෝජ්‍ය කොමසාරිස්වරයා හෝ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ තනතුරට පත්වෙනවා. නමුත්, පිටින් අමාත්‍යාංශ ලේකම්වරයකු ලෙස පත් කර සේවය නතර වුණ කෙනෙක් මේ ඉහළ තනතුරුවලට පත් කිරීමේ බලය අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා හැටියට ජනාධිපති විසින් ලබාගෙන තිබෙනවා.

දැන් ඉන්න පොලිස්පතිවරයා ව්‍යවස්ථා විරෝධීයි

ගරු කථානායකතුමනි, ඊළඟ වැදගත් දේ අගවිනිසුරුවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ විනිසුරුවන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ අනෙකුත් සාමාජිකයන් නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, පොලිස්පතිවරයා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කොමසාරිස්වරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා හැටියට වැඩ බැලීමේ පත් කිරීම් කරන්න පුළුවන් සති දෙකකට. සති දෙකකට පසුව ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ගත යුතුයි. මේ වැදගත් තනතුරු පුරප්පාඩු වී නොතිබිය යුතුයි කියන ස්ථාවරයේ ඉඳලයි මේ වගන්තිය ඇතුළත් කර තිබෙන්නේ. මේ අනුව ගත්තොත්, දැන් ඉන්න පොලිස්පතිවරයා ව්‍යවස්ථා විරෝධීයි. වැඩ බලන තනතුරු හරහා අපේ රාජ්‍ය සේවයේ යාන්ත්‍රණය ජනාධිපතිවරයා අතට ගන්න එක වළක්වන්න ප්‍රතිපාදන මේ තුළ තිබෙනවා. දැන් අහෝසි කරන්න යන්නේ ඒක. ඕනෑම කාලයක් වැඩ බලන තනතුරේ තබා ගන්න පුළුවන්.

බැසිල් රාජපක්ෂට පමණක් අදාළ නොවේ යනුවෙන් හෝ සඳහන් කරන්න

විගණනය පිළිබඳ ප්‍රශ්නය ව්‍යවස්ථාවෙන් අයින් කළාට පනතේ තිබෙන බව ජී. එල්. ඇමතිවරයා කිව්වා. නමුත්, විගණන සේවා කොමිෂන් සභාව පිහිටුවා විගණනයට බඳවා ගැනීම් සහ මාරු කිරීම් ඒ කාර්යයේ ස්වාධීනත්වය හැටියට පවත්වාගෙන යන්න ඉඩ ලබා දී තිබුණා. ඒ තුළ මූල්‍ය ස්වාධීනත්වය විගණන සේවා කොමිසමට තිබුණා. දැන් ඒකත් ඉවත් කරලා. ඇමතිවරුන්ගේ සීමාව සම්බන්ධයෙන් රිංගන්න පුළුවන් ගැටයක් මේ තුළ තිබෙනවා. පිල්ලෙයාන්ගේ පක්ෂයත්, ඩග්ලස් දේවානන්දාගේ පක්ෂයත් එකතු කර ගත්තා ම ජාතික ආණ්ඩුවක් කියලා ඇමති ධුර ප්‍රශ්නයෙන් රිංගා යන්න පුළුවන්. අනෙක් පැත්තෙන් ජාතික ආරක්ෂාවට අදාළ හදිසි පනත් සම්මත කර ගන්න මුවාවෙන් රටට විශාල ඩොලර් හිඟයක් තිබෙන බව දක්වලා එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නත් පුළුවන්. ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව ප්‍රශ්නයේ දී ඒ වගන්තිය ඉවත් කරන්න බැරි නම්, අඩුම තරමේ මෙය බැසිල් රාජපක්ෂ මහතාට පමණක් අදාළ නොවේ යනුවෙන් හෝ සඳහන් කරන්න කියලා මා ඉල්ලා සිටිනවා. (බාධාකිරීම්)

Leave A Reply

Your email address will not be published.

19 + 13 =