20න් එන නිදහස් හුස්ම

“ඇති යාන්තම්…” කියාගෙන සිරිපාල මාමා ගෙට ගොඩ වුණා. පොඩි අයියයි, හිච්චි කොලුවයි දෙන්නා ඉස්තෝප්පුවට වෙලා දාම් ඇද ඇද උන්නේ..

“ඒ මොකෝ මාමේ…?” පොඩි අයියා ඇහුවා.

“නෑ ඉතින්, දවස් හයකට පස්සෙ යන්තම් අල්ල ගත්ත නේ…”

“කවුද…?”

“කවුද කියලා අහන්නෙ.. ඇයි අර බඩ උද්දීන්..”

“ආ….”

“හොඳ වැඬේ ඕකට… හහ්.. හිතන්න ඇති බෝම්බ ගහලා යහතින් ඉන්න… විල්පත්තුවම කොච්චර කැපුව ද…? දැන් ඉතින් කාලා වරෙන්කෝ…”

“හහ්… හහ්…” පොඩි අයියා හිනා වුණා.

“උඹලා ඉතින් මොනව කළත් හිනා වෙනව නේ.. මල්ලිව අතඇරියා කියලා කලින් හිනා වුණා… දැන් දෙනව ඇති එල්ලලා…”

“හහ් හහ්… හිනා වුණේ…. එයාව ඔය ගත්තේ බෝම්බ කතාවකටවත්, කැලේ කපපු එකකටවත් නෙමේ… චන්දෙ වෙලාවෙ සෙනඟ වගයක් බස්වලින් ඇද්දා කියලා…”

“අනේ නිකම් පලයන්…. මේ පාර ගැලවිල්ලක් නෑ… දැක්ක නේ.. අර පාතාලයා…..”

“මොන…?”

“අර මාකඳුරේ හාදයා… දැක්ක නෙ.. පැනලා යන්න ගියේ… ඒවා කොහෙ ද…?”

“හහ්… හහ්… මම මේ කල්පනා කළේ……. අර වෙඩි තිබ්බා කියන දෙන්නා හොයාගෙන ඔලිම්පික් යවන්න බැරිද කියලා… බයික් එකත් දාලා දුවල නේ මාර දිවිල්ලක්…”

“අනේ මේ… ඇයි උඹ කියන්නේ ඒක මේ රඟපෑමක් කියල ද… මොක වුණත් ඌ මළ එක හොඳ නැද්ද.. කුඩු කප්පිත්තෝ… මැරයෝ…”

“හොඳයි හොඳයි… කී දෙනෙක් නම් දැන් නිදහසේ හුස්ම ගන්නව ඇත් ද?”

“නැතුව.. මිනිස්සු බයයි…”

“නෑ මම කිව්වේ මේ.. ඔය කුඩු කප්පිත්තො හදපු, මැරයෝ පාවිච්චි කළ අය….. ”

“අනේ මේ… උඹලට මොනව කළත් වැරදි නේ… මම යනව යන්න…”

“ඕන් දාම්…” අයියා කිව්වා.. කතාවෙන් කතාවෙන් ඔක්කොම ඉත්තො කපලා.

“ඔක්කොම ඉත්තො කැපුව නේ…?”

“ඔක්කොම නෑ… අනිත් පැත්තෙ ඉත්තො… කොහොමත් එහෙම තමා සෙල්ලමේ හැටි!”

Leave A Reply

Your email address will not be published.

6 − 4 =