කියවිය යුතු ම සිතියම, “ගෙදර’වට සිතියම”

ලියනගේ අමරකීර්තිගෙ “ගෙදර’වට සිතියම” කියෝල ඉවර වෙද්දි ම චූලානන්ද සමරනායක පොත ගැන ලියල තිබ්බ ලිපියත් කියවන්න ලැබුණා..ඒක කෘතිය වෙත කරපු ඉතා ම හොඳ මැදිහත් වීමක් කියල හිතුණා.එතෙන්දි චූලානන්ද සමරනායක, හොඳ පොතක්, ඒක කියවන පාඨකයා ඇතුළෙ කොයි විදිහෙ බලපෑමක් ඇතිකරනව ද කියන එක අවධාරණය කරන්න ෆ්‍රාන්ස් කෆ්කාගේ අදහසක් උපුටන ගමන් අමරකීර්තිගේ පොත ගැන කියන කතාව හරියට ම හරි..

ඒක වෙන ම රහක්

“අමරකීර්තිගේ කෙටිකතා යනු අප හිස මත වදිනා බර පහරකි, අයිස් බිඳින පොරවකි. ඒ කතා අපට සිසිර නිද්‍රාවෙන් මිදෙන්නට අණකරයි, අප කිතිකවයි, අවුස්සාලයි. ඔහු සිය කෙටිකතා මගින් සමාජයක් වශයෙන් අප පසුවන පසුගාමීත්වය එය වසා ඇති ආශ්චර්යයේ තිරය ඔසවා මේ යයි අපට දක්වයි. විටෙක සියුම් උපහාසයකිනි. ඒ සමගම හද පාරවන සියුම් රිදුමක් දනවමිනි. විටෙක චරිත සමග අනන්‍ය වන්නට බල කරමිනි. ඔහුගේ කතා අප පසුකරමින් ඉන්නා වර්තමානයේ දෙබිඩි ස්වභාවය කෙලින්ම අප දෙනෙත් ඉදිරියට ඇද දමයි” .
අපි කියවපු පොතක් ගැන තවත් කෙනෙක් කියන්නෙ මොනව ද කියල දැන ගන්න අපට තියෙන්නෙ වෙනම ම ආසාවක්. ඒ පොතේ සමහර තැන් “අපට අහුවෙච්ච තැනින් ම” අනිත් කෙනාටත් අහුවෙලා තියෙනව දැක්ක ම ඒක වෙන ම රහක්.
 උපහාසයට යටින් හැම තිස්සෙ ම තියෙන්නෙ තියුණු වේදනාවක්

ඇත්තටම මටත් හොඳට ම අල්ලලා ගියෙ අමරකීර්ති කතාව කියන විදිහ. ඒ හින්ද ම හැම කතාවක් ම එක හුස්මට කියවන්න වෙනවා. අළු පැහැ ආරංචි අතරින් තාමත් ඇහෙන අර මිහිරි සීනු නාදයෙන් පස්සෙ දැන් ඇහෙන්නෙ “ක්‍රීස්සා රාස්සාව” ක්‍රීස්සා රාස්සාව කියන්නෙ “සිහින අහසක කතාවක්” කෙටිකතාවෙ චිත්‍රපටි පිස්සෙක් වෙච්ච ගාමිණීගෙ බයිසිකලේ සද්දෙ..රෑ කිරල් සද්දෙ අතරින් ඇහෙන ඒ “ක්‍රීස්සා රාස්” සද්දෙ එන්නෙ රෑ දොලහටත් එකටත් අතරෙදි.. ඒ ගාමිණී චිත්‍රපටි බලල එන වෙලාව.
මේ කතාව කියන විදිහෙන් මතුපිටින් මතු වන උපහාසයට යටින් හැම තිස්සෙ ම තියෙන්නෙ තියුණු වේදනාවක්. කතාව පටන් ගද්දි ඒක කතාව කියන ළමයගෙ චූ දැවිල්ලත් එක්කයි අපව දවන්නෙ. ඒත් අන්තිමේ දී අපව දවන්නෙ චිත්‍රපටි පිස්සෙක් වෙච්ච ගාමිණීගෙ ඉරණම..ඇත්තට ම ඒක ගාමිණීගෙ ඉරණම නෙවෙයි අපේ සමාජෙ ඇතුළෙ ජීවත් වෙච්ච අවසන් සංස්කෘතික ජීවියෙකුගේ ඉරණම. යුද්ධෙන් පස්සෙ ගාමිණීගේ හීන පරවෙලා ගියා..”ඉස්තෝප්පුවේ සිනමා ගී ගැයූ රසවතා අතුරුදහන් වුණා” අසූ අට අසූ නවය කාලේ ඇතිවෙච්ච භීෂණේ හින්දයි යුද්ධෙ හින්දයි රාත්‍රී විනෝද සංස්කෘතිය වගේ දෙයක් අපට හිතන්නවත් බැරි තරම් දුරකට තල්ලු වෙලා ගිය හැටි ගැන මේ කෙටිකතාවෙ නියමෙට ම කියල තියෙනවා.යුද්ධෙන් පස්සෙ ඇති වුණු අධිපතිවාදී සංස්කෘතික ධාරාවේ අදිසි හස්තයෙන් විනෝද ජවනිකාවන්ට කොටු වැටී නිදහස් සංස්කෘතික අවකාශය සදාතනික අඳුරකට ඇද වැටුණු විදිහ ගාමීණී චිත්‍රපටි පිස්සුවෙන් ම කියන උපහාස වචනවලින් හඟවනවා..ඒක කියන්නෙ යකඩ කම්බි දැල්වලින් හදා ගත්ත කොටු දැල් පෙට්ටියකට ඔළුව දමං ඉන්න ගාමිණී..ඒ මදිවට කොටු දැලේ ඉස්සරහ පැත්තෙ කහපාටට හුරු රෙදිකෑල්ලක් හුළඟට පැද්දිලා ඇස් හරහා වැටෙන බවත් කියනවා.
ඕන රෙද්දක් කොටු නැතුව බලපු අපි

“උන් සිකරට්ටෙකටත් කොටු, අරක්කු වීදුරුවටත් කොටු, ඉම්බත් කොටු, පුක පැද්දුවත් කොටු, ඕන රෙද්දක් කොටු නැතුව බලපු අපි . දැන් උඹල පෙන්නන්නෙ කොටු විජේ කුමාරතුංග, කොටු සනත් ගුණතිලක කොටු සබීතා පෙරේරා..ඔව්වා ශෝද බං…තොපිට ආයෙ කොටු දාන්ඩ ඕන්නෑ ඔන්න මංම දාගත්තා”
“ගෙදර’වට සිතියම” කෙටි කතා පොතේ කෙටිකතා සන්දර්භ එක්කට එකක් වෙනස්.”සින්දු කෑලි” කෙටිකතාවේ විමලෙ විශ්‍රාමික රණවිරුවෙක්..එයා ත්‍රීවීල් එකක් අරන් හන්දියෙ පාක් එකට එනවා.යුද්ධෙන් පස්සෙ රණවිරුවා කියන භූමිකාවට සිද්ධ වෙච්ච දේ මේ කතාවෙදි තොරොම්බල් කරල ම කියනවා.මං ආස ම දේ තමයි සියුම් මානව හැඟීම් උලුප්පල පෙන්නන්න කතාකාරයා අවස්ථා තෝරගෙන තියෙන විදිහ. ගෑනිත් එක්ක වැඩි කතා බහක් නැති විමලෙ අවශ්‍යම වෙලාවකදි එයාගෙ ආදරේ පෙන්නපු හැටි රහට ලියනවා..
“විමලෙ ඈව උස්සල අරන් නිදන කාමරේට එළඹුණා.කිසිම කතාවක් බහක් නැතුව ආදර ආක්‍රමණය පටන් ගත්තා.නයන කාන්තිගෙ බය ඇරුණා.හිතේ තරහ තිබුණු අර්ධය නිමිලා අනික් අර්ධය එක්ක හා උනා.විමලෙ මොනව මොනව හරි කියයි කියල හිතුවත්, මුකුත් කිව්වෙ නෑ. ඒක නිහඬ, මාරාන්තික ඇම්බුෂ් ප්‍රහාරයක්.”

ආදරය වෙත ඇද වැටීම සහ ආදරය වෙත පරිස්සමට බැසීම

මේ කෙටිකතා පොතේ මං ආස ම කතාව “පෙම් කතාවක අතරමැද”. මේක පේරාදෙණිය කැම්පස් එකේ ආර්ට්ස් ෆැකල්ටියෙ ගෑනු ළමයෙක්ගෙ කතාවක්. ඒ නිලූකි කියන ලස්සන ගෑනු ළමයගෙ කතාව කියන්න තෝරගෙන තියෙන කතා විලාසය හිත් ඇද ගන්න එකක්. කැම්පස් ජීවිතෙන් සමුගන්න දවසෙ නිලූකි එයා වැඩියෙන් ම සමීප ආචාර්‍යවරයෙකුට ලියුමක් දීල යනවා. මේ ආචාර්‍යවරයා පේරදෙණි තානායමට වෙලා බියර් තොල ගාමින් නිලූකාගෙ ලියුම කියවනවා. කැම්පස් එකේ ආට්ස් ෆැකල්ටියට ඇවිත් තමන් ඇසුරෙහි ලබපු නූතනවාදී අදහසුත් එක්කල අවුල් වෙලා ඉන්න මේ කෙල්ලගෙ කැම්පස් ප්‍රේමයේ අතිශය පෞද්ගලික අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්නවා. ආදරය වෙත ඇද වැටීම සහ ආදරය වෙත පරිස්සමට බැසීම කියන දෙක අතර වෙනස නිලූකි එයාගෙ වචනවලින් ම කියන විදිහ වදිනවා..අනෙක් අතට ආදරය වෙත ප්‍රවේශමෙන් බැසීම කියන එකේදි පවතින සමාජ දෘෂ්ටිවාදයන් කෙරෙහි කොපමණ අනුගත වීමක් අපේකෂා කරනව ද කියන එක නියමෙට ම මතු කරල තියෙනවා..ඒ වගේ ම ආචාර්යවරයාගෙ බොහොම රසවත්, ආකර්ෂණීය නූතනවාදී අදහස් සහ ඇයට ඇත්ත ජීවිතේදි ගෙවන්න සිද්ධ වෙන විදිහත් අතර තියෙන දෘෂ්ටිවාදී පැල්ම ඇගේ කතාවෙන් ම මතුවෙන්න ඉඩ හරිනවා..කථකයා මතු වෙන්නෙ තීර්ණාත්මක තැන් කීපයකදි විතරයි..මේ ආටි සෙට් වෙන්නෙ මෙඩ්ඩෙක් එක්ක.
” මෙඩිකල් ෆැකල්ටියෙ කොල්ලො ආට්ස් ෆැකල්ටියෙ කෙල්ලො එක්ක යාළු වෙන්නෙ කලාතුරකින්.දොස්තරලට දොස්තර බිරින්දල ම ලැබෙන විදිහට යූජීසී එකෙන් ම ගානට තෝරල එවනව වගේ. මෙඩිකල් ආදරේ මෙඩිකල් ෆැකල්ටියෙම හට ගන්නවා. ග්‍රීන් හවුස් එකක වගේ එතනම වැවෙනවා.මං කිව්වනෙ සර්.මෙව්වා විවාහ යෝජනා ෆැක්ටරි.මෙඩිකල් එකෙන් දොස්තර පෙම්වතියක් හොයා ගන්න බැරි වුණොත් සයන්ස් එක තියෙනවානෙ. ඒකට තමයි සයන්ස් ෆැකල්ටිය හදල තියෙන්නෙ මෙඩිකල් ෆැකල්ටිය ළඟින්. ඒකෙනුත් බැරි වුණොත් තමයි ආට්ස්.”
කතාව අහන්න ආචාර්‍යවරයා යාළුවො තුන් දෙනෙකුත් තානායමට ගෙන්න ගන්නවා. නිලූකි කතාව කියල තියෙන්නෙ කතාවෙ එකිනෙකට වෙනස් අවසානයන් දෙකක් ඉඟි කෙරෙන විදිහට.

විල් ආදරේ ගැන ගේන අදහස් මරු

“අසිරිමත් මිනිසෙකුගේ වීර චාරිකාවක්” කියන කෙටිකතාව විශ්‍රාමිකයෙක් වෙච්ච වීරසේකරගේ අමුතුම හීනයක් පළ දරන හැටි කියන කතාවක්.වීරසේකරට ඕන වුණේ එයා අරගත්තු ෆොක්ස්වැගන් කාර් එකෙන් ඉන්දියාව හරහා එංගලන්තයට යන්න. පොන්ඩිචෙරි, චෙන්නායි, හයිද්‍රාබාද් නාග්පූර්, ජගල්පූර් ආදිය පසුකර යන වීරසේකරට අග්‍රාවලින් පස්සෙ අමුතු ගමන් සගයෙක් මුණ ගැහෙනවා.. ඒ තමයි විල්හෙල්ම් කියන ජ’මන් ජාතිකයා.. මේ දෙන්න කාර් එකේ යන අතරෙ හරි ම පෞද්ගලික දේවල් පවා කතා කරන්න පටන් ගන්නවා.. කොටින් ම තමන්ට පඩ යන එක පවා..පඩයක් යන්න ආහම එක වළක්වා ගැනීමේ අපහසුව දන්න අපි කවුරුත් ඒ දෙන්නට අන්‍යෝන්‍ය අවබෝධයකින් යුක්තව සද්දෙට පඩ අරිමින් යන්න අවස්ථාව ලැබෙන එක ගැන සතුටු වෙනවා.. කාර් එකේ යන ලෝක චාරිකාවේ අර්ථය සැබවින් ම ගොඩ නැගෙන්නෙ විල්ගේ හමුවත් එක්ක. වීරසේකරගේ මේ වීර චාරිකාව මානවීය තැනකට ගේන්නෙ විල්. විල් ආදරේ ගැන ගේන අදහස් මරු. කෙටිකතාවල තියෙන එහෙම කෑලි කතාවත් එක්ක ම තදට ඇලිල තියෙන විදිහ හිතද්දි මරේ මරු.
“ආදරේනං කියන්න ඕනෙ, එයා එක්ක ගත කරපු දවස එයාට කවදාවත් අමතක වෙන්නෙ නැති තරම් සන්තෝසෙන් හිටිය කියල. බැඳපු ගෑනු එක්කත් අපි අවුරුදු ගාණක් හිටියට ඒ ගොල්ලන්ට හොඳම මතක විදියට තියෙන්නෙ එක දවසක්, පැයක්, විනාඩියක් විතරයි. වීර ඔයාගෙ වයිෆ්ගෙන් ඔයා ඇහුව නම් එයාගෙ ජීවිතේ සන්තෝසම වෙලාව මොකක්ද කියල එයා තත්පර කීපෙක පොඩි කෑල්ලක් කියයි. ඒ තත්පර කීපෙට ඔයා අයිති නොවෙන්නත් ඉඩ තියෙනවා.”
“ආදරේ නම් දින චරියාවක් වෙන්න දෙන්න ම නරකයි” කියන විල් රූමිගෙ කවියකුත් වීරසේකරට ඇහෙන්න කියවනවා..පොඩි කාර් එක ඇතුළෙ මවන විශ්වීය අවකාශය මේ වීර චාරිකාවේ හරය බවට හැරෙනවා..විල් මෙහෙම කියනවා.
“රූමි මෙගෙ කැමතිම කවියෙක්.ආදරේ තියෙන්නෙ අර පරෙස්සමේවත්, දින චරියාවේවත් නෙමේ.අනතුරේ, තුවාලෙ.”
“ගෙදර’වට සිතියම” තව සෑහෙන කාලෙකට ගලෝගන්න බැරි වෙයි කියල හිතෙන අපේ සමාජය වෙලා ගෙන තියෙන දෘෂ්ටිවාදී වියවුල මතු කරල පෙන්නනවා.සිංහල – බෞද්ධ දෘෂ්ටිවාදයත් එක්ක අත්වැල් බැඳන් යන දේශපාලනයේ නරුම ස්වභාවයත් හැම තරාතිරමක ම උන් මේකට ඇඳගෙන ඉන්න විදිහත් විවේචනාත්මකව ඉදිරිපත් කරනවා..
මේක කියවද්දි මට මගේ කතාවකුත් මතක් වුණා..අපේ ලොකු නැන්දා හිටියෙ මීරිගම මුගුරුගම්පල.නිවාඩු කාලේ අපි එහෙ ගියහම ලොකු නැන්දා නිතර වඳින පුදන බෝධියකට වතු උඩින් පැනගෙන අපිවත් එක්කගෙන ගියා..එතන පරණ බෝ ගහක් තිබුණා බාගෙට වට කරල කළුගල් බැඳපු.ගමේ අය නැන්දාට කියල බෝධිපූජා තියව ගත්තා..නැන්දා කිව්වෙ එයා එතන කරන සෙත් ශාන්තිය හරි හාස්කං කියල..දැන් ලොකු නැන්දා මැරිලා..ඒ බෝධිය හරි ප්‍රසිද්ධයි ප්‍රාර්ථනා බෝධිය කියල..හැමදාම සෙනග පිරිල ..පාර දිගට හරි වටින වාහන නවත්තල තියෙනවා දකින්න පුළුවන්.
ගෙදර’වට සිතියමේ කිරි අම්මා වඳින බෝධිය පවතින සමාජ දේශපාලන කතිකාවත් එක්ක ගැටගැහෙන විදිහ කෙටිකතාවේ විවේචනාත්මක දෘෂ්ටියකින් ගේනවා.
මේ පොතේ හැම කෙටිකතාවක් ම සියුම් සැතක් ගෙන කරන සමාජ සංස්කෘතික හරස් කැපුමක් විදිහට ගන්න පුළුවන්.ආයෙමත් කියන්න ඕන, මං ආස ම දේ මේ කතා කියන විදිහ. ඒ හින්දා පොතේ පිට කවරෙත් ලියල තියෙන විදිහට කතා කියවීමෙන් ලැබෙන බහුවිධ මිහිර අප වෙත අත්පත් කර දෙන කෙටි කතා පොතක් විදියට ලියනගේ අමරකීර්තිගෙ ගෙදර’වට සිතියම පෙන්නන්න පුළුවන්.
විදර්ශන පොතක්
කන්චුකය-දිනිදු සිරිවර්ධන
-සුජීව සිරිමෙවන්

Leave A Reply

Your email address will not be published.

10 − nine =