‘ගෙදර’වට සිතියම’- ලියනගේ අමරකීර්ති

සෝවියට් දේශය සිය අයෝමය ග්‍රහණයට ගෙන බුද්ධිමතුන්, කොමියුනිස්ට්වාදීන්, කලාකරුවන් ඇතුළු මිලියන විස්සකට අධික පිරිසක් විනාශ මුඛයට ගෙන ගිය ජෝශප් ස්ටාලින්ගේ මරණය සැලවූ මොහොතේ විශාල පිරිසක් හඬා වැලපුණ බව වාර්තාවී තිබිණි. මේ වැලපුන පිරිස් දෙයාකාරය. සිය නායකයාගේ වියෝවෙන් ශෝක වන අයුරින් වැලපුණ කොටසකගේ දෙනෙතින් සැබැවින්ම ගලා ගියේ මහත් සහනශීලී බවක කඳුළුය. දීර්ඝ කාලයක පීඩනයෙන් මිදීමට ලැබීමේ තෘප්තිය එහි ගැබ්ව තිබිණි. එහෙත් ඔවුහු පෙන්වා සිටියෝ තම නායකයා වෙනුවෙන් වැලපෙන බවකි. ඒ අතර තවත් විශාල පිරිසක් වැලපෙන්නට ගත්තෝ තම නායකයා වියෝවූ ශෝකය සැබැවින්ම දරාගත නොහැකිවය. ඔවුන්ට සත්‍ය වශයෙන්ම මහත් අසරණකමක්, හුදෙකලාවක්, තවත් දුර තමන්ට ජීවත්වීම බලාපොරොත්තුවක නැති සෙයක් දැනෙමින් තිබිණි. ඔවුහු අවංකවම විශ්වාස කළෝ තමන්ට ස්ටාලින් අහිමි ලොවක් යනු හිරු නැති ලොවක් බවයි. මාඕ සේතුං මෙන්ම කිම් ඉල් සුන් මියගිය අවස්ථාවලද සිදුවූවේ මෙයමය. මෙසේ තමන් අනාථවී යයි වැලපෙන්නට ජනතාව පෙලඹුන හේතුව වූවේ ඔවුන් පත්කර සිටි දරුණු මානසික වහල්භාවයයි. මෙය කිම් ඉල්සුන් විෂයෙහි ඉතා හොඳින් කැපී පෙනෙයි.
මේ තරමටම මිනිසුන් මානසික වහල්භාවයට ඇද හෙලන්නට සමත් අනෙක් පාර්ශවය පැවිදි ප්‍රජාවයි. ආගමික දේශනාකරුවන්ගේ මූලිකම ආයුධය වනුයේ භක්තිවන්තයා තුළ භීතිය දැල්වීමයි. එය නරකාදිය, අපාය, නපුර, යක්ෂයා ආදී වශයෙන් කවරාකාරයෙන් වුව ඉදිරිපත් කළ හැකිය. ඒ ඇසු පමණින් භක්තිවන්තයා බිය වෙයි. තමන් මරණින් පසු අසරණ වනු ඇතයි ඔහුට දනවන භීතිය ඔහු තැති ගන්වයි. එහෙයින්ම ඔහු කරනුයේ ගැලවීම පිණිස කෙටි මං සෙවීමය. ඒ සඳහා ඇවැසි තරම් ව්‍යතිරේකයන් කවර ආගමක වුව හිඟ නැත.
මේ පසුගිය වසරක කඨින පිංකමක් වෙනුවෙන් අරමකින් බෙදා හල පත්‍රිකාවක කවියකි.

පිදුවොත් කඨින චීවරයක් සඟ ගණට
ගත හැක ඔබට වීසා දෙව්ලොව යන්ට
ඇත්නම් හිතක් යළි මේ ලොව උපදින්ට
හැකිවේ ඔබට කඨිනය කළ මේ පිනට

කාරණාව ඉතා හොඳින් පැහැදිලිය. දෙව්ලොවට යන වීසා මධ්‍යස්ථානය ඇත්තේ අරම හරහා බව මින් කියවෙයි. එහිදීද විකල්ප දෙකකි. කැමති නම් දෙව්ලොව වීසාව ගත හැකිය. නැතිනම් එ පින් බලෙන් යළි මෙලොව ඉපදිය හැකිය. රෑ මැදියමෙහි පිපෙනා කඩුපුළ් මලක් පිපුණ සැණින් බුදුන්ට පූජා කළහොත් තමන්ට ලබන ආත්මයෙහි මහත් රූප සම්පත්තියක් ලැබෙන බවට විශ්වාස කළ අත්තම්මෙක් ගැන මම දනිමි. ඇය පිලිගත්තේ ජීවිතට අනිත්‍යය යන බුදු වදන නොව කඩුපුල් පූජාවෙහි ආනිශංසයයි. බොහෝ බෞද්ධයන් පාංශුකූලෙට හාමුදුරු කෙනෙක් නැතුව බෑනේ කීම පසුපස ඇත්තේද මේ භීතියම හැර අන් යමක් නොවේ. ප්‍රශ්ණය ඇත්තේ අහිංසක වියපත් දන මෙවන් දෑ හිස් මුදුනින් පිලිගැනීම නොවේ. විද්‍යාවේ දියුණුව දෑසින්ම දැක ඇති නූතන පරම්පරාවද එලෙසම අන්ධ භක්තිකයන් වීමය.

දේශපාලක-ආගමික අන්‍යෝන්‍යාධාර සමිතිය

මිනිසුන් මෙලෙස මානසික වහල්භාවයට හෙලීම සඳහා විශ්මිත දක්ෂතාවක් ඇති එසේම කදිමට සුංයෝගීවී යන දෙපාර්ශවය ආගම සහ දේශපාලනයයි. දේශපාලනය ආගම වෙත මිනිසා දක්කාගෙන යාමට උපකාර කරන විට පෙරලා ආගම මිනිසා ඡන්ද පෙට්ටිය වෙත දක්කාගෙන යයි. මේ දෙදෙනා විසින්ම අන්ධබවට පමුණුවන මිනිසා මාලිමාව අහිමි කරගත් මගියකු බවට පත්වන්නේ සෑමදෙයටම මේ දෙපාර්ශවය වෙත හැරී පිහිට අයදියි. පිච්ච මල් ලක්ෂ ගණනින් පුදනා වන්දනාවන්හී සිට රණවිරු වන්දනා, දේශපාලක වන්දනා ආදී වශයෙන් විවිධාකාර වැඳුම් යාග සමාජයෙහි මුල්බැස ගන්නේ මේ දේශපාලක-ආගමික අන්‍යෝන්‍යාධාර සමිතියෙහි අනුහසිනි.
වත්මන් නිර්මාණකරුවා හමුවෙහි ඇති වැඩබිම ඔහු වසනා සමාජයයි. තිර සතකින් නොව මිලියනයකින් වසා ඇති ඒ සමාජයෙහි නග්නබව නිර්භයව හෙලි කිරීම ඒ අනුව ඔහුගේ මගහැරිය නොහැකි කාර්යභාරය වෙයි. නූතන නිරමාණකරුවන් අතර මේ කාර්යයෙහිලා සිය නිර්මාණ කුසලතාව අපූර්ව ආකාරයට භාවිතා කරන්නෙකි ලියනගේ අමරකීර්ති. මානව භක්තිය හා සිත්තරා ගෙන් ඇරඹි ඔහුගේ කෙටිකතා කලාවෙහි කැපී පෙනෙනා වර්තමානය ‘ගෙදරවට සිතියම’ ය. එය ඔහු අළු පැහැති ආරංචි වෙතින් තවත් ඉදිරියට පිය නගා ඇති බවට සහතිකයකි.
අමරකීර්තිගේ කෙටිකතා යනු අප හිස මත වදිනා බර පහරකි

ඔහුගේ කෙටි කතා කියවන විට නිතැතින්ම සිහිපත් වන්නේ කෆ්කා විසින් පල කරන ලද අදහසකි.
‘ අප කියවන පොත් හිස මත වදිනා පහරක් මෙන් අප අවදි නොකරන්නේ නම් ඒවා කියවිය යුත්තේ ඇයි? එසේ නම් එම පොත් අප සතුටට පත් කළ යුතුද? අවශ්‍ය නම් එසේ අප සතුටට පත් කළ හැකි කෘතීන් අපටම රචනා කළ හැකිය. එහෙත් සැබැවින්ම අප වෙත තිබිය යුත්තේ අවාසනාව සහ පීඩාව මෙන් , අපටත් වඩා අප ආදරය කරනා කෙනකුගේ මරණය පිළිබඳ පුවත මෙන්, සිය දිවි නසාගැනීම මෙන් අප වෙත දැඩිව බලපාන කෘතීන්ය. පොතක් යනු අනිවාර්යයෙන්ම අප තුළ මිදී පවත්නා සමුදුර බිඳ හෙලීමට සමත් අයිස් බිඳිනා පොරවක් විය යුතුය.’
අමරකීර්තිගේ කෙටිකතා යනු අප හිස මත වදිනා බර පහරකි, අයිස් බිඳින පොරවකි. ඒ කතා අපට සිසිර නිද්‍රාවෙන් මිදෙන්නට අණකරයි, අප කිතිකවයි, අවුස්සාලයි. ඔහු සිය කෙටිකතා මගින් සමාජයක් වශයෙන් අප පසුවන පසුගාමීත්වය එය වසා ඇති ආශ්චර්යයේ තිරය ඔසවා මේ යයි අපට දක්වයි. විටෙක සියුම් උපහාසයකිනි. ඒ සමගම හද පාරවන සියුම් රිදුමක් දනවමිනි. විටෙක චරිත සමග අනන්‍ය වන්නට බල කරමිනි. ඔහුගේ කතා අප පසුකරමින් ඉන්නා වර්තමානයේ දෙබිඩි ස්වභාවය කෙලින්ම අප දෙනෙත් ඉදිරියට ඇද දමයි. මුසල්මානු කාන්තාව සිය ගත මුළුමනින්ම වැසීම ත්‍රස්තවාදයට අනුබල දීමක් සේ සලකන පුද්ගලයාම ඒ සමග කොට ඇඳුමක් අඳින සිංහල කාන්තාව අනෙකාගේ රාගය අවුස්සන වෛශ්‍යාවකැයි නම් කරන්නට හදිසි වෙයි. අවන්හලකට ගොඩවැදී සිය දරුවන් සමගම ‘සී ෆුඞ් ෆ්‍රයිඞ් රයිස්’ රස බලන පුද්ගලයා පසුදින ගව ඝාතනයට එරෙහි පෙත්සමක් රැගෙන රට වටා යයි. දූෂණයෙන් තොර රටක් වෙනුවෙන් පෙනී සිටිමින් අන්ත දූෂිත දේශපාලකයකු පාර්ලිමේන්තුව වෙත හැරලවයි. අමරකීර්ති ඉතා සියුම් ලෙස අප ඉදිරියට ගෙන එනුයේ මේ පිලිකුල් සහගත විකාරයෙහි දුර්ගන්ධයයි.
ඔහු මේ සඳහා භාෂාව භාවිතා කරන ආකාරය ඉතා මනරම් ය. ඉතා සංක්ෂිප්ත වැකියකින් ඔහු පුළුල් පරාසයක් ආවරණය කරයි. එවැන්නක් කළ හැක්කේ කම්මර වූ ලියන්නකුටම පමණි. ඔහු තම සෑම කෙටිකතාවකදීම මේ සංක්ෂිප්ත බවෙහි පුළුල් බව කවියකු තරම්ම මනාව ගෙනහැර පායි. මෙය මනාව තේරුම්ගත හැකි කදිම අවස්ථාවක් ඔහුගේ ‘සිහින අහසක කතාවක්’ හී දකිත හැකිය. චිත්‍රපටි පිස්සා හෙවත් ගාමිණි මාමා උමතුවෙන් කථානායකයා ඉදිරියට එන අවස්ථාව ඔහු ඉදිරිපත් කරන්නේ අතිශය පුළුල්, ඛේදවාචී දේශපාලන කලාපයක් ආවරණය කරමිනි.
‘ගාමිණි මාමා ළඟ ළඟම එනවා. (ගාමිණි ඇවිදිනුයේ කොටු දැලක් ගැසූ පෙට්ටියක හිස රුවාගෙනය.) එහෙත් ඉදිරිපස දැලේ එල්ලාගෙන සිටින කහපාටට හුරු රෙදි කෑල්ලක් සැරෙන් සැරේ හුළඟෙන් සෙලවී ඔහුගේ ඇස් හරහා වැටෙනවා.’
මේ කහ රෙදි කැබැල්ල යනු අතිශය තීරණාත්මක බලාධිකාරයකි. කොටු දැල අපේ වාරණ බලාධිකාරියෙහි සංකේතයයි. කොටු දැල අපේ ජීවිතයට කරන බලපෑම පවා වටහා ගැනීමට බැරි තරමටම අද සාමාජික සත්වයා අන්ධය. තමන්ගේ නිදහස් සිතුවිලි වාරණය කිරීමට, තම වින්දනයෙහි නිදහස කපා හෙලන්නට රූපවාහිණී තිරයෙහි රූප රාමු මත ඇඳෙන කොටු දැල පොලිස් පොල්ලක් බවට පත්ව ඇති බව පවා අද වන විට ප්‍රේකෂකයාහට නොවැටහෙන තරමටම ඔහු සදාචාර සම්පන්නය. ඉදින් එවන් ‘දුරදක්නා සමාජයකට’ තමන් කඩුල්ලත් අල්ලා අමුඩය තදකර ඇති බව වටහා දෙන්නේ කොහේවත් යන චිත්‍රපටි පිස්සෙකි. මේ කෙටිකතාව කියවන විට නිතැතින්ම ඇන්ටන් චෙකෝෆ්ගේ හයේ වාට්ටුව සිහියට නැගෙයි.

කලාවෙහි ශිල්ප ක්‍රම වර්ධනය කරමින් මැදිහත් වන දේශපාලන කතාකරුවා

ගෙදර වට සිතියමෙහි කතා අතරින් ප්‍රබලම කතාව ‘සින්දු කෑලි’ නම් කෙටි කතාවයි. එය පශ්චාත් යුද සමයෙන් ඇරඹී තවමත් අප නඩත්තු කරමින් යන ගරා වැටුණ සමාජයක අඳුරු සිතුවමක් වැනිය. මිනිසුන්ට වටිනාකම් තබනු ලබන ආකාර මෙන්ම ඒ සැණින් ඒවා පිරිහෙලීමට ලක්වන ආකාරය, ඒ සියල්ල මැද අප නඩත්තු කරමින් ඉන්නා ව්‍යාජය මෙහි මැනවින් නිරූපිතය. රණවිරු අලෙවිය මෙහි සාකච්ඡාවට ගැනෙනුයේ සියුම් හාස්‍යයක් දනවන අයුරිනි. එහෙත් ඒ සමගම කතාවෙහි එන චරිත යනු සැබැවින්ම ස්වයංව හෝ බලහත්කාරයෙන් විෂම චක්‍රයකට ගොදුරු කරන ලද්දන් බවද ඔහු අපට දවන්නට සමත්වෙයි. ඔහු ඒ සඳහා උපයෝගී කරගන්නේ දශක එක හමාරක පමණ කාලයක් තුළ ලාංකීය සමාජයෙහි සිදුවෙමින් පැවති විපරිවර්තනයයි. එය තවමත් නතරව නැති අඛණ්ඩ ප්‍රවාහයකි. ඔහුගේ කතාවල අපට හමුවන සමාජය අපට මාධ්‍ය පෙලහර හෝ දේශපාලන සුරංගනා කතාවන්හී හමුවන සමාජයට ඉඳුරාම පටහැනිය. එහි ඇත්තේ අප මගහැර යන්නට තැත් දරනා මුහුණමය. ඔහුගේ සෑම කතාවකම අපට යළි යළි හමුවන්නේ අපට වදදෙන ඒ අප්‍රසන්න මුහුණුවරමය.
ලියනගේ අමරකීර්ති යනු කතන්දර කියන්නකුටත් වඩා කතන්දර කියන්නේ කෙසේදැයි කදිමට අත්හදා බලන්නෙකි. ඔහු පවසන දෑ මෙන්ම ඊටත් වඩා වැදගත් වන්නේ ඔහු එය පවසන ආකාරයයි. ලියනගේ අමරකීර්ති යනු වර්තමාන කෙටිකතා කලාවෙහි ශිල්ප ක්‍රම වර්ධනය කරමින් මැදිහත් වන දේශපාලන කතාකරුවෙකියි කීම ඔහුට සාධාරණය ඉටු කිරීමකැයි මට සිතේ.
-චූලානන්ද සමරනායක

 

Leave A Reply

Your email address will not be published.

sixteen − ten =