කතුවරුන් තිදෙනෙකුගේ ප්‍රථම නවකතා තුනක්

 

මෑතකදී ලැබුණු කෙටි විවේකයත් එක්ක පොත් තුනක් කියවන්නට ලැබුණා. නවකතා තුනක්.
පලමුවැන්න, කාංචනා අමිලානිගේ “ගුහා සටන”. පොතට පදනම් වන්නේ ක්ෂුද්‍ර ජනපදයක සිදුවන යුද්ධයක් සහ ඊට සමාන්තර තවත් ලෝකයක සිදුවන සිදුවීම් ගණනාවක්. මේ ලෝක දෙක එකිනෙකා නොහදුණන, ඈතින් පවතින ලෝක දෙකක් වුණත් ඒ දෙක අතර අන්තර් සම්බන්ධයකුත් තියනවා. කතාවේ වඩාත්ම සුවිශේෂී බව වන්නේ අරුම පුදුම ලෝකයක් විස්තර කිරීමට කතුවරිය දක්වන සමත්බවයි. මේ ලක්ෂණය කාංචනා ඉන්පෙර පලකල කෙටිකතා තුලත් තිබූ දෙයක්. මෙය “ඉන්ද්‍රජාලික යථාර්ථවාදය” වැනි සාහිත්‍ය වෙලදපොලේ ඉල්ලුමක් තියන පදයකට කොටුකරනවාට වඩා කාංචනාගේම රචනා ශෛලියක් හැටියට තේරුම් ගැනීම සුදුසුයි කියා සිතනවා. 

කතාව ඉදිරිපත් කරන සජීවී බවත් නවකතාවේ තවත් සුවිශේෂයක්. යුද්ධය විස්තර කිරීමේදී වගේම, චරිත විස්තර කිරීමේදීද මෙම ලක්ෂණය තීරණාත්මක ව දැනෙනවා. පිටු තුන්සිය පනහක පොත තුලදී අතිවිශාල චරිත සමූහයක් අපට මුණගැසුණත් ඒ සියළු චරිත වෙනවෙනම මතක තබාගැනීමට පාඨකයාට හැකිවීමට මෙම කාරණය බලපාන බව පේනවා.
දෙවන කතාව, ප්‍රියන්ත ලියනගේගේ “කොට තුවක්කු”. කියවූ පොත් තුනෙන් වඩාත්ම සමාජ දේශපාලන අන්තර්ගතයක් සහිත වුණේ මෙම පොතයි. කතුවරයා 89-90 තරුණ නැගිටීම් ආශ්‍රිත ක්‍රියාකාරිකයෙක් වීමත් එයට හේතුවක් විය හැකියි. කොහොමවුණත්, එවන් යුගයක් නියෝජනය කරන වැඩිහිටි ලේඛකයෙකුගෙන් වැඩිපුර දක්නට නොලැබෙන ආකාරයේ නවතම ඉදිරිපත් කිරීමේ ශෛලියක් කතාව පුරාවටම දකින්නට ලැබෙනවා. පාඨකයා නිරායාසයෙන් කතාව වෙත බැද තබාගත හැකි අඛ්‍යාන රටාවක් සහිත කතාව තුල, එම යුගයේ සිදුවීම් දෙස දුරින් හිද බලන්නෙකුගේ උපේක්ෂාවක්ද හදුනාගත හැකියි. 

තුන්වැන්න වන සුරත් ද මෙල්ගේ “තී හා තා”, වඩාත්ම සමීපබවක් දැනුනු කතාව කියාද කිව හැකියි. පොතට පදනම් වන්නේ සමකාලීන නාගරික තාරුණ්‍යයේ අත්දැකීමක්. තම තරුණ වයස කොළඹ ආශ්‍රිතව ගෙවූ අයෙකුට විශේෂයෙනුත්, පොදුවේ ගතානුගතික සදාචාරවාදියෙකු නොවන ඕනෑම අයෙකුටත් රසවිදිය හැකි පොතක්. කතාවේ පසුබිම තුල ප්‍රධාන වශයෙන් අඩංගු වෙන්නේ මානසික විවරණයක් වුවත්, ප්‍රවේශමෙන් කියවාගෙන යන අයෙකුට එක්තරා සමාජ විවරණයක් ද හදුනාගත හැකියි. 

කතාව තුල ඉදිරිපත් වන්නේ ගීත් සහ දිව්‍යාගේ ආදර කතාවයි. එය අවසාන වන බව කතාවේ පලමු වාක්‍යයෙන්ම අපට දැන ගැනීමට ලැබෙන බැවින් ඊට පසු අප කියවන්නේ එය අවසාන වන්නේ කෙසේද යන්නයි. ඇත්තෙන්ම කතාවේ ප්‍රධාන චරිත හැටියට අපට හමුවන්නේ ගීත් සහ දිව්‍යාම නොවේ. වැඩිපුර අපට මුණගැසෙන්නේ ඇත්තම ගීත්, ගීත් වෙන්න කැමති ගීත් සහ ගීත්ගේ සිතේ ඉන්න දිව්‍යා යන තිදෙනායි. (සීමිත අවස්ථා කිහිපයකදී ඇත්තම දිව්‍යාද මුණගැසෙනවා). මේ හතරදෙනාගේ කතාව ගීත් අපට ඉදිරිපත් කරන්නේ ඉතාම විවෘත සහ සරල ආකාරයකින්. විටෙක හාස්‍යයත්, උපහාසයත්, කුතුහලයත් සමගින් කතාව ඉදිරියට ගමන් කරනවා.
මේ පොත් තුනම කතුවරුන්ගේ ප්‍රථම නවකතා. නවකතාවක ප්‍රධානතම ලක්ෂණයක් වන්නේ එහි නවතාවය බව වරක් කියවීමට ලැබුණ බවක් මතකයි. එකී ගුණය මෙම නවකතා තුන තුලම තියනවා. කතුවරු තිදෙනාම තමතමන්නට ආවේණික ආකාරයෙන් පාඨකයා සිය කතාවට බැද තබාගැනීමට සමත් වී තිබෙනවා. ප්‍රහේලිකාමය භාෂා ප්‍රයෝගයන් හෝ න්‍යායික ආකෘතීන් වෙනුවට කතාව නිදහසේ ගලා යන බවක් දැනෙනවා. බලාපොරොත්තු තැබිය හැකි කතාකරුවන් තිදෙනෙක් හැටියට මෙම කතුවරුන් හදුන්වාදිය හැකියි.
-නිශාන්ත කුලරත්න

Leave A Reply

Your email address will not be published.

seventeen − 7 =