කොවිඞ් පාලනයට බාධා කරන මාධ්‍යට ගහමු ද?

කොවිඞ් 19 ආසාදිතයන් හෝ ආශ්‍රිතයන්ගේ අනන්‍යතාව මාධ්‍ය මඟින් හෙළිදරවු කිරීමේ බරපතළ තත්ත්වය, වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ ක්‍රියාවලියට ද
බාධාවක් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර අවධාරණය කරයි.

මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීමක් !

 

කවර තත්ත්වයක් යටතේ වුව ද, රෝගීන්ගේ අනන්‍යතාව හෙළිදරවු කිරීම ආචාර ධාර්මික නොවන බව ද පෙන්වා දුන් විශේෂඥ වෛද්‍යවරයා, වැඩි දුරටත් සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ඊට අදාළ මාර්ගෝපදේශ මාධ්‍ය වෙත නිකුත් කර ඇති බවයි. ඇතැම් රූපවාහිනී නාළිකා මඟින් ආසාදිතයන් හෝ ආශ්‍රිතයන් රෝහලට හෝ නිරෝධායන ක්‍රියාවලීන් සඳහා රැගෙන යෑම වීඩියෝ ගතකොට, ඔවුන්ගේ මුහුණු හඳුනාගත හැකි ආකාරයට ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බරපතළ විරෝධයක් එල්ල වී තිබේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින්, විශේෂඥ වෛද්‍යවරයා ඉහත අදහස් පළ කළේය.

නීතිමය පියවර ගත හැකියි !

මාධ්‍යවේදීන් විසින් පෞද්ගලික පරිශ්‍ර තුළ දී කරනු ලබන මෙවැනි ක්‍රියාවලියකට එරෙහිව නීතිමය පියවර ගත හැකි බව නීතිඥ ජගත් ලියන ආරච්චි පෙන්වා දෙයි.

“මාධ්‍යවේදීන් මේ ආසාදිතයන්ගේ පෞද්ගලිකත්වය අනාවරණය කරන හැටි රූපවාහිනී නාළිකාවලින් අපි දැක්කා. පෞද්ගලික පරිශ්‍ර තුළ ඔවුන් වීඩියෝ කරනවා, ඡායාරූප ගන්නවා අපි දැක්කා. අපේ රටේ ඒක කරන්න බෑ. නීති විරෝධීයි. පෞද්ගලිකත්වයේ නීතිය කියන එකක් නැතත්, අපේ දණ්ඩනීති සංග්‍රහයේ තියෙනවා අයුතු ඇතුළුවීම කියලා වරදක්. පොලිසියට, මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන්ට ඇතුළු සෞඛ්‍ය අංශවලට ඕනෑ ම වෙලාවක අපේ වත්තට ඇතුළු වෙන්න පුළුවන් නිරෝධායන ක්‍රියාවලියක් සඳහා. අපි අකමැති වුණත්, ඒක කරන්න නිරෝධායන නීතිවලින් ඔවුන්ට බලය පවරලා තියෙනවා. ඒකෙ කොහෙවත් නෑ, මාධ්‍යවේදීන්ට එන්න පුළුවන් කියලා. මාධ්‍යවේදියෙක් පෞද්ගලික පරිශ්‍රයකට ඇතුළු වෙනවා නම්, ඒ සඳහා ඒ පරිශ්‍රයේ හිමිකරු හෝ භුක්ති විඳින්නාගේ අවසරය අනිවාර්යයෙන්ම ගත යුතුයි. මාධ්‍යවේදියාට බෑ, පොලිසියත් එක්ක ආවේ, පී.එච්.අයි. මහත්තයත් එක්ක ආවේ කියලා නිදහසට හේතු කියන්න.”

නිරෝධායන රෙගුලාසිවල තත්ත්වය

මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක් වූ නීතිඥවරයා සඳහන් කළේ, ආසාදිතයන් හෝ එවැනි සැකසහිත පුද්ගලයන් කොන්කිරීම මඟින් ඔවුන් සැඟවීමේ වැඩි ඉඩක් ඇති බවයි. එය නිරෝධායන ක්‍රියාවලියට බාධාවක් බව ද පෙන්වා දෙන ඔහු ඒ ආකාරයට නිරෝධායන ක්‍රියාවලියට බාධා කිරීම වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් බව නිරෝධායන රෙගුලාසිවල සඳහන් වන බව ද වැඩි දුරටත් පැවසී ය. “නිරෝධායන රෙගුලාසිවල වැඩි දුරටත් තියෙනවා, ඒ විදිහට අත්අඩංගුවටගත් පුද්ගලයෙක්ව නොපමාව මහේස්ත්‍රාත්වරයෙක් වෙත ඉදිරිපත් කළ යුතුයි කියලා. ඒකෙන් නොකියා කියන්නෙ පොලිසියට ඇප දෙන්න බෑ කියන එකයි. ඒක බරපතළ වරදක් විදිහට මේ පනත හදපු 1897දීත් පිළිඅරන් තියෙනවා.”

ආසාදිතයන් අපරාධකරුවන් කෙරේ !

මාධ්‍ය විසින් මේ ආචාර ධර්ම විරෝධී වාර්තාකරණය සිදුකිරීම මඟින් ආසාදිතයන් අපරාධකරුවන් ලෙස හැඟවීමක් කරන බවත්, එම තත්ත්වය නිසා ඔවුන් සැඟවීම වැළැක්විය නොහැකි කරුණක් වන බවත් මාධ්‍ය ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කරන ‘වෙරිටේ රිසර්ච්’ ආයතනයේ මාධ්‍ය පර්යේෂණ ප්‍රධානී දීපාංජලී අබේවර්ධන අවධාරණය කරයි.
ලංකාවට වඩා කොවිඞ් 19 ව්‍යාප්තියක් සහිත රටවල් මේ පිළිබඳ පුවත් ආවරණය කළ ආකාරය නිරීක්ෂණය කළ යුතු බවත්, එම රටවල සෞඛ්‍ය අංශ ප්‍රධානීන් පමණක් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ ලබාදුන් බවත් පෙන්වා දුන් අබේවර්ධන මහත්මිය, කිසිදු අවස්ථාවක ආසාදිතයන් අනාවරණය නොකිරීමට ඔවුන් වගබලා ගත්බව ද සඳහන් කළා ය. මාධ්‍ය ආචාරධර්මවල ඇති මූලිකම කරුණක් මේ ආකාරයට උල්ලංඝනය කිරීම දැඩි කනගාටුවට කරුණක් බවත්, මීට පෙර මාර්තු මාසයේ දී ද මෙවැනි තත්ත්වයක් ඇති වූ විට ඊට එරෙහිව ප්‍රබල විරෝධයක් මතු වුව ද, යළිත් එය ඒ ආකාරයටම සිදුවීම බරපතළ තත්ත්වයක් බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවා ය.

විද්‍යුත් මාධ්‍යයටත් ආචාර්ධර්ම පද්ධතියක්

මෙරට විද්‍යුත් මාධ්‍ය ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මෙතෙක් පිළිගත් ආචාරධර්ම පද්ධතියක් නැත. එය මෙවැනි සිදුවීම්වල දී බරපතළ තත්ත්වයක් ලෙසත්, විද්‍යුත් මාධ්‍යවල සේවය කරන මාධ්‍යවේදීන්ට එවැනි දැනුම්වත්භාවයක් නොමැතිවීම මෙවැනි කනගාටුදායක තත්ත්වයන්ට හේතු වී තිබෙන බවත් සිවිල් සමාජ ක්‍රියාකාරීහු පෙන්වා දෙති. ඒ සම්බන්ධයෙන් විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ කැඳවුම්කරු නුවන් ජූඞ් ලියනගේගෙන් කළ විමසීමක දී ඔහු සඳහන් කළේ එවැනි ආචාරධර්ම පද්ධතියක් සකස් කිරීමේ කටයුතු සිදු වෙමින් පවතින බවයි. 2019 වසරේ සිට එහි කටයුතු සිදු වන බවත්, පසුගිය කාලයේ ඇති වූ ලොක්ඩවුන් තත්ත්වයන් නිසා යම්තරමක ප්‍රමාදයක් පැවතුණ ද, කඩිනමින් එම කටයුතු අවසන් කිරීමට සංසදය කටයුතු කරන බවත් ලියනගේ මහතා වැඩි දුරටත් සඳහන් කළේ ය.

පුවත්පත්වල තත්ත්වය

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කර්තෘ සංසදය මඟින් සකස් කරන ලද පිළිගත් වෘත්තීය ආචාරධර්ම පද්ධතියක් මෙරට පුවත්පත්වලට අදාළව තිබේ. එහි 07 වන අංකය යටතේ මෙසේ සඳහන් ය.
“පෞද්ගලිකත්වය – 7.1 පුද්ගලයන්ගේ පෞද්ගලික හා පවුල් ජීවිත, ඔවුන්ගේ ගේ-දොර, සෞඛ්‍යය සහ සහසම්බන්ධතාද, සංඛ්‍යාංක සන්නිවේදනය කෙරෙහි ගෞරවයක් දැක්වීමෙහිලා පුවත්පත් විශේෂ සැලැකිල්ලකින් ක්‍රියාකළ යුත්තේ ය. පෞද්ගලිකත්වයට ඇති මේ අයිතිය අදාළ පුද්ගලයන්ගේ කැමැත්තෙන් තොරව ආක්‍රමණය කිරීම සාධාරණීයකරණය කළ හැක්කේ පොදුජන සුබසිද්ධිය ඒ සියල්ල ඉක්මවා යන්නේ නම් පමණකි.
“7.2 පෞද්ගලිකත්වය පිළිබඳ සාධාරණ අපේක්ෂාවක් පවත්නා පෞද්ගලික හෝ පොදු තැනක සිටින පුද්ගලයන් ඔවුන්ගේ කැමැත්ත නැතිව ඡායාරූපගත කරනු සඳහා දිගු කාච සහිත හෝ වෙනත් ආකාරයක කැමරා භාවිතය, පොදු යහපත පිණිස නොවන්නේ නම්, එය පිළිගත නොහැක්කේය.
“7.3 ශෝකය හෝ කම්පනය හා සම්බන්ධ සිද්ධි පිළිබඳ කරුණු විමසීමේදීත්, ඒ සඳහා ඒවාට සමීපවීමේ දීත් නිසි සංවේදීතාවෙන් හා ස්ථානෝචිත ප්‍රඥාවෙන් ද කටයුතු කිරීමට පුවත්පත් කලාවේදීන් විශේෂයෙන් සැලකිලිමත් විය යුත්තේය.

සමාජ සුබසිද්ධියට පටලවා නොගත යුතුයි !

පසුගිය මාර්තු – ජූලි කොවිඞ් 19 ව්‍යාප්තියට අදාළ කාලයේ දී මෙන්ම, මෙවර ද මාධ්‍ය ආචාර්ධර්ම උල්ලංඝනය කිරීම පුවත්පත්වලට සාපේක්ෂව විද්‍යුත් මාධ්‍යයේ වැඩි බව ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ පැමිණිලි නිලධාරි කමල් ලියනාරච්චි පැවසී ය. සාමාන්‍ය තත්ත්වයන් යටතේ වාර්තාකරණයට වඩා මෙවැනි සංකීර්ණ අවස්ථාවක දී මාධ්‍යයට බරපතළ වගකීමක් පැවරෙන බවත්, එහි දී නිවැරදි බව සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම තීරණාත්මක කරුණු බවත් අප කළ විමසීමට පිළිතුරු දෙමින් ලියනාරච්චි මහතා අවධාරණය කළේ ය. මුද්‍රිත, විද්‍යුත් සහ සමාජ යන කුමන මාධ්‍යයකට වුව ද, පෞද්ගලිකත්වය අනාවරණය කිරීමේ අයිතියක් නැති බවත්, පෞද්ගලිකව අදාළ පුද්ගලයා පෙනී සිටීමට කැමැත්තක් දක්වන අවස්ථාවක හැර අනෙක් අවස්ථාවල දී මේ පිළිබඳව මාධ්‍යවේදීන් දැඩි අවධානය යොමු කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
සමාජ සුබසිද්ධිය සඳහා ඇතැම් අවස්ථාවල දී මාධ්‍යවේදීන්ට යම් යම් අනාවරණ කිරීමට සිදු වුව ද, එහි දී ද අවම මානුෂීය සහ සදාචාරාත්මක තත්ත්වයන් ආරක්ෂා කළ යුතු බවත්, මේ වසංගත තත්ත්වය යටතේ ආසාදිතයන් හෝ ආශ්‍රිතයන්ගේ අනන්‍යතාව අනාවරණය කිරීමේ ආචාරධර්ම විරෝධී තත්ත්වය ඒ සමඟ පටළවා ගත යුතු නැති බවත් පුවත්පත් කොමිසමේ පැමිණිලි නිලධාරිවරයා වැඩි දුරටත් අවධාරණය කළේය.

සෘණාත්මක මාධ්‍ය භාවිතාව !

මේ අතර කොවිඞ් 19 වෛරසය ආසාදිත හෝ නිරෝධායනයට ලක් කරන පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය අනාවරණය කිරීමට ඇතැම් මාධ්‍ය මඟින් කටයුතු කිරීම ජනතාවගේ අප්‍රසාදයට සහ විරෝධයට හේතු වී ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නාලක කළුවැව සඳහන් කරයි.
මෙමඟින් රෝගීන් යනු සමාජ විරෝධීන් යනුවෙන් හැඟීමක් ඇති වන බවද පවසන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා, ආසාදිත හෝ නිරෝධායනයට ලක් කරන පුද්ගලයන්ගේ අනන්‍යතාව සහ ඔවුන් පදිංචි ස්ථාන හෙළිවන වීඩියෝ ප්‍රචාරය නොකරන ලෙසද ඉල්ලා සිටී. මෙවැනි දර්ශන විකාශය කිරීම මඟින් ජනතාව දැනුම්වත් කිරීමේ කාර්යයට ඵලදායී දායකත්වයක් නොලැබෙන බවත්, මේ නිසා ජනතාව ප්‍රතිකාර සඳහා හෝ නිරෝධායනය සඳහා හෝ ඉදිරිපත් නොවීමේ අවදානමක් මතුවන බව වැඩිදුරටත් ඔහු පෙන්වා දෙයි.

යක්ෂයාගෙන් උදව් ගැනීම

කොවිඞ්-19 ආසාදිත හෙට දිනයේ මම ද, මගේ දරුවන් ද ඇතුළත්වීමේ වැඩි ඉඩක් ඇති ගොනුවේ, පෞද්ගලිකත්වයට එරෙහිව සිදුකරන මාධ්‍යවේදීන්ගේ මෙන්ම ඔවුන් සම්බන්ධීකරණය කරන සෞඛ්‍ය අංශයේ සහ පොලිසියේ ක්‍රියාකාරිත්වය ද හෙළාදැකිය යුතු ය. සමාජයේ බහුතරයක් ඊට එකඟ ය. එහෙත්, ඇතැම් කණ්ඩායම් පවසන්නේ මාධ්‍යවේදීන්ට පහරදීම වැනි අත්තනෝමතික කටයුතු හරහා මේ තත්ත්වයට විරෝධය පළ කළ යුතු බවයි.
එහෙත්, එහි වාසිය ගන්නේ මාධ්‍ය පාලනය කිරීමට බලාසිටින්නන් ය. ඇතැම් රූපවාහිනී නාළිකා මේ මොහොතේ පවා කරමින් සිටින්නේ, මාධ්‍ය සම්බන්ධයෙන් වන ජනතා විශ්වාසය නැති කිරීමේ කොන්ත්‍රාත්තුවක් ද විය හැකි ය. පිටට නොපෙනුණාට ඇතුළේ සිදු වන්නේ එවැනි වැඩ ය. එම නිසා කළ යුත්තේ, මාධ්‍යවේදීන් මෙන්ම මාධ්‍ය ආයතනත් ගැලවුණු රෙදි
ඇඳගැනීම ය. කරමින් සිටින අපරාධයේ බරපතළකම තේරුම් ගෙන හෙලු‍වෙන් ඇවිදීම නතර කිරීම ය.
ඊට විකල්පයක් ලෙස සතුරාට පහර දීමට යක්ෂයාගෙන් උදවු ගැනීම මඟින් දිගුකාලීනව කරන්නේ සමස්තයට අයහපතකි.
-ශාලික විමලසේන

Leave A Reply

Your email address will not be published.

9 + twelve =