මහින්ද ජනාධිපති කාලේ ආරක්ෂක මණ්ඩලය ගැන රනිල් කියයි !

2015 වසරට පෙර ජාතික ආරක්ෂක කවුන්සිලය සතිපතා රැස් වුවත්, 2015 වසරේ දී නව රජය බලයට පත් වීමෙන් පසුව එය කිසිදු අවස්ථාවක සතිපතා පවත්වා නොමැති බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පැවසී ය.
මේ බව අනාවරණය වූයේ රනිල් වික්‍රමසිංහ පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේ දී ය. සහරාන් ඉන්දියාවට ගොස් ඇති බවට තොරතුරු ලැබී තිබූ බවත්, සහරාන් ශ්‍රී ලංකාවේ සිට ඇති බවට දැනගත්තේ ප්‍රහාරයෙන් පසුව බවත් වික්‍රමසිංහ පැවසී ය. 2017 මාර්තු මස කාත්තන්කුඩි ප්‍රදේශයේ, ආලියාර් මංසන්ධියේ ඇති වූ ගැටුමකින් පසුව අතුරුදන්ව සිටි ජාතික තව්හිද් ජමාත් නායක සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ මන්ද යන්න විමසූ අවස්ථාවේ ඔහු පැවසුවේ, සහරාන් ඉන්දියාවට පලා ගොස් ඇති බවට තොරතුරු ලැබුණු බව ය. “අපි ආගමික අන්තවාදය පිළිබඳව හොයන්න වෙනම ඒකකයකුත් ආරම්භ කළා. ප්‍රහාරයෙන් පසුව තමයි දැනගත්තේ සහරාන් ඉඳලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ කියලා” යැයි හෙතෙම කීවේ ය.
එමෙන්ම සිය ධුර කාලය තුළ ඉස්ලාම් අන්තවාදීන් විසින් යම්කිසි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි තමන්ට හැඟු‍ණ බවත් වික්‍රමසිංහ මහතා කොමිෂන් සභාවට පැවසුවේ ය. “මට හිතුණා අපේ ජනතාව ඉලක්ක කරගෙන නොවුණත්, විදෙස් තානාපති කාර්යාලයක් වැනි දෙයක් ඉලක්ක කරගෙන යම්කිසි ප්‍රහාරයක් දියත් කරන්න හැකියාවක් තියෙනවා කියලා. ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පිහිටා තිබුණේ, අරලියගහ මන්දිරය ළඟ. ඒකට ප්‍රහාරයක් එල්ල කළා නම් අපිටත් වදිනවා”, ඔහු පැවසුවේ ය.

Leave A Reply

Your email address will not be published.

3 × one =