යෝෂිත ළමයාගේ පත්වීම ගැන

මහින්ද රාජපක්ෂ කියන්නේ සිංහල බෞද්ධ නම් සුවිශේෂ ජන කොටසකගේ සිතුම් පැතුම් ප්‍රාර්ථනා වෙනුවෙන් විශේෂයෙන් කැපවුණු නායකයෙක් නම් ඔහුගේ තීරණ එම ජනකොටසගේ ප්‍රාර්ථනය නම්-රාජපක්ෂ ගේ පවුලේ අය හැකිතරම් ජනතාව පාලනය කරන නිලතල වලට යෙදීම නම් මේ වගේ පත්වීම් ගැන අපිට ඉතින් මුකුත් කියන්න බැහැ! ආදී ගෝත්‍රික ජන කොටස් තුලත් සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නෙත් මේ ආකාරයටයි, ඒ වගේ ජන කොටස් මේ වගේ දේවල් දකින්නේ තම ගෝත්‍රයේ දේපොළ සහ අනන්‍යතාවය පිටතට යන්න නොදී තබා ගන්නා ජයග්‍රහණ විදිහටයි. නමුත් මේ රට එම රාජපක්ෂවාදී ජන කොටසට වඩා එහා ගිය වපසරියක් සමග ගණුදෙනු කරනවා නම් එතනින් එහා ගිය ‘දියුණුවක්’ ජය ගැනීමට අපිට තියෙනවා නම් අපි ඉන්නේ දැවැන්ත අර්බුදයකය.
රටේ නායකයා ගේ හැදී එන තරුණ දරුවන් විදිහට අපි රාජපක්ෂගේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන සමාජය සහ දේශපාලනය ආදිය පිළිබඳව ඔවුන්ගේ අවබෝධය දැනුම ආදිය පසුගිය කාලයේ බොහොම සියුම්ව නිරීක්ෂණය කළා. අවාසනාවට, එතකොට අපට පෙනිලා තියන දේ නම් ඔවුන්ට තමන් නියැළෙන සමාජය සහ දේශපාලනය ආදිය පිළිබඳව කිසිදු විශේෂ දැනුමක් හෝ අවබෝධයක් හැදෑරීමක් තිබිලා නැති බවයි. විෂයට අදාළව ඔවුන්ගේ දැනුම අවබෝධය සම්බන්ධයෙන් ගත්තොත් මේ රටේ අති විශාල තොගයක් තරුණයින් ඔවුන්ට වඩා දැනුම අවබෝධය සහ අත්දැකීමෙන් ඉස්සරහින් ඉන්න බව අපිට පැහැදිලිව කියන්න පුළුවන්.
ඒ වගේම මෙවැනි රටේ මුල් නායකයින් විසින්ම පත් කරන මේ වගේ පත්වීම් වල ඇති අනිත් භයානක දේ නම් මේ තත්ත්වයම ආදර්ශයට අරගනිමින් රටේ අනිත් සියලුම තැන් වල ද මේ තත්ත්වය සාමාන්‍ය තත්වයක් බවට පත් වීමයි.

ඒ අනුව විදුහල්පතිවරයෙක් තමන්ගේ දරුවාව ශිෂ්‍ය නායකයා විදිහට පත් කරන්නත් ප්‍රාදේශීය ලේකම්වරයෙක් තම ‘පෙම්වතිය’ ව පුද්ගලික ලේකම්වරියක් බවට පත් කිරීමටත් පොලිස්පතිවරයෙකු ට තම පුතාව කැමැති තැනකට අරගෙන ඒමත් අතිශයින්ම සාමාන්‍ය ‘අපේ ලක්ෂණයක්’ විදිහට සාමාන්‍යකරණයට ලක්වෙන්න පුළුවන්. ඒ තත්ත්වය කවදත් අපේ රටේ නොතිබුණු දෙයක් නෙමෙයි. දැන් ඒක වෙන කවරදාටත් වඩා නිර්ලජ්ජිතව එළිපිටම සාමාන්‍යකරණයට ලක් වීමට සියලු සුදුසුකම් තියනවා. තම පියා ගිය අඩි පාරේ යන්නටත් තමන්ට සුදුසු රැකියාවක් ලබන්නටත් රාජපක්ෂගේ ළමයින්ටද අයිතියක් තියෙනවා. නමුත්,මේ වගේ තත්ත්වයන් වල දී ලෝකය වඩාත් දියුණු රටවල් වල නායකයින් තම දරුවන්ට එම විෂය පිළිබඳව ඉතා හොඳ ශාස්ත්‍රාලීය අවබෝධයක් ලබා දී විවිධ කුඩා තැන් වල වෘත්තීන් පවා කරන්නට සලස්වා අද්දැකීම් ලබා දී එම තැන් වලට සුදුසුකම් ඇති උන්ට අසාධාරණයක් නොවන විදිහට ගැනීම අපිට දකින්න පුළුවන්. රාජපක්ෂලාගේ ළමයින් සමඟ අපට ඇති ප්‍රශ්නය නම් ඊට වඩා සුදුසු අය රටේ හරිම සුලභව දකින්නට අපිට හැකි වීමයි. ඔවුන් ඒ තැන් වලට යන්නේ සුදුසුකම් හරහාට වඩා වරප්‍රසාද හාරහායි. ඒ වගේම සුදුස්සාට සුදුසු තැන නැති වීම නිසා රටක් ලෙස අපි පසුගාමී වී ඒ පිළිබඳව ජාතික අර්බුදයක පසුවන මොහොතකයි අපි ඉන්නේ.
ඇත්ත වශයෙන්ම අපිට හැමදාමත් අවශ්‍ය වෙලා තිබුණේත් කවදාවත් අපිට හිටියේ නැත්තේත්, මට මගේ දරුවොත් එකයි රටේ දරුවොත් එකයි, ඔක්කොටම එක නීතියයි අන්න ඒ නීතියට අනුව ඉඳපියව් ,හරියට සුදුසුකම් අරගෙන වරෙව් මොකා හරි මොන ජාතියෙ එකා හරි සුදුස්සා විතරයි මට ඕනේ කියමින් බේද නැතිව සුදුසු එකක් සුදු තැනට යවලා මෙන්න මේ විදියට හැදියව් කියලා ආදර්ශයක් දෙන්න මහඑකෙක්.
-ධනංජය කරුණාරත්න

Leave A Reply

Your email address will not be published.

4 × 5 =