එඩ්වර්ඩ් ස්නෝඩන් අද ජර්මනියේ දී සිය කතාන්තරය අන්තර්ජාලය ඔස්සේ සජීවීව ලොවට කියයි

අමෙරිකානු ඔත්තු මෙහෙයුම ලොවට හෙළිකළ එඩ්වර්ඩ් ස්නෝඩන්
ඩිජිටල්කරණය වූ ලොව දැවැන්තම පොත් ප්‍රදර්ශනයට
අද සවස ගොඩවදී.

මෙයින් වසර 7කට පෙර, එනම් 2013 දී, එවකට 29 හැවිරිදි තරුණයකුව සිටි අමෙරිකානු ජාතික එඩ්වඩ් ස්නෝඩන් ලොව ත්‍රස්ත කළේ ය. 

ඒ අමෙරිකා එක්සත් ජනපද රජය ලොව හැම දුරකථන ඇමතුමක්ම, හැම කෙටි පණිවිඩයක්ම, හැම ඊමේලයක්ම අධීක්ෂණය කිරීමේ දැවැන්ත ඔත්තු මෙහෙයුමක් ඉතා රහසිගතව සිදුකරමින් සිටින බව ලොවට හෙළිදරවු කිරීමෙනි.
මේ හෙළිදරව්වේ ප්‍රතිඵලය වූයේ ලොව වෙසෙන හැම තනි පුද්ගලයකුගේම පෞද්ගලිකත්වය නිරීක්ෂණය කරන මෙතෙක් නෑසූ විරූ දැවැන්ත ඔත්තු බැලීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙමින් පවත්නා බව ලෝකය හමුවේ අනාවරණය වීම ය.


එවකට ඇමරිකාවේ CIA (Central Intelligence Agency) හා NSA (National Security Agency) සංවිධානවල දත්ත විශේෂඥයකු හා රහස් රක්ෂකයකුව සිටි ස්නෝඩන්, මේ රහස් වැඩපිළිවෙල හෙළිදරව් කිරීමට ගත් තීරණය, පෞද්ගලිකව ඔහුගේ පැත්තෙන් සැලකුවද දැවැන්ත පියවරක් විය. ඒ හෙළිදරව්ව වෙනුවෙන් ඔහුට තමන් එතෙක් ගතකරමින් සිටි මුළු ජීවිතයම අතහැර දමන්නට සිදුවිය. සිය ක්‍රියාව හේතුවෙන් තමන් යළි කිසි දිනෙක තමන්ගේ පවුලේ උදවිය, සිය උපන් බිම හා තමන් ආදරය කළ ස්ත්‍රිය නොදකින්නට ඉඩඇති බව ඔහු දැනසිටියේ ය.
මේ හෙළිදරව්වත් සමගින් ලොව පුරා ඇතිවූයේ ඊනියා ‘ජාතික ආරක්ෂාව’ හා තනි තනි පුද්ගලයාගේ පෞද්ගලිකත්වය අතර ද්වන්ධ්ව ගැටුම පිළිබඳ අතිශය පුළුල් කතිකාවකි.
අමෙරිකාවට අත්‍යවශ්‍ය වී සිටින වරෙන්තුකාරයෙක් වන ස්නෝඩන් දැනට දිවිගෙවන්නේ රුසියාවේ ය.
ලොව බලවත්ම රාජ්‍යයේ දැවැන්ත සතුරෙක් වන මේ එඩ්වර්ඩ් ස්නෝඩන් අද ජර්මනියේ වේලාවෙන් සවස 7 සිට 7.30 දක්වා සිය කතාන්තරය අන්තර්ජාලය ඔස්සේ සජීවීව ලෝකය හමුවේ තබන්නට පැමිණෙන අතර, අසන්නන්ගෙන් නැගෙන ප්‍රශ්නවලට ද පිළිතුරු දෙනු ඇත.


ඒ කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර ඩිජිටල්කරණය වූ ලොව දැවැන්තම පොත් ප්‍රදර්ශනය වන ෆ්‍රැන්ක්ෆර්ට් පොත් වෙළෙඳපොළේ (Frankfurter Buchmesse) අන්තර්ජාල විකාශය ඔස්සේ ය.
සහභාගීවන ප්‍රකාශන ආයතන සංඛ්‍යාවෙන් මෙන්ම නැරඹීමට පැමිණෙන්නන්ගේ ප්‍රමාණයෙන් ද පොත් කර්මාන්තය සඳහා ලොව ඇති දැවැන්තම වෙළෙඳ ප්‍රදර්ශනය බවට පත්වන ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් පොත් වෙළෙඳපොළ, කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර පැවැත්වෙන්නේ මුළුමනින්ම අන්තර්ජාලය පදනම් කරගත් ඩිජිටල් වෙළෙඳ ප්‍රදර්ශනයක් ලෙසිනි. පසුගිය 14 වැනිදා ආරම්භ වූ එය මේ ඉරිදා, 18 වැනිදා දක්වා පැවැත්වේ. ස්ථානීයව සිදුවන සාමාන්‍ය පොත් ප්‍රදර්ශනය සේම මෙවර දියත්වන මේ අන්තර්ජාල ඩිජිටල් ප්‍රදර්ශනයේ ද පළමු දින තුන පොත් ප්‍රකාශකයන් ඇතුළු පොත් කර්මාන්තයේ නියැලි ව්‍යාපාරිකයන්ගේ ගනුදෙනු සඳහා වෙන්වූ අතර අද සහ හෙට, එනම් සති අන්තය සුපුරුදු පරිදි සෙසු මහජනයාට විවෘත වේ.
සුප්‍රකට කැනේඩියානු ලේඛිකා මාග්‍රට් ඇට්වූඩ් ගේ සිට එඩ්වර්ඩ් ස්නෝඩන් දක්වා නමගිය පුද්ගලයන් රැසක් අද සහ හෙට BOOKFEST digital නමින් හැඳින්වෙන පොත් ප්‍රදර්ශනයේ නිල අන්තර්ජාල අඩවියෙන් සජීවී සාකච්ඡාවලට සහභාගී වෙති.
-සනත් බාලසුරිය(fb)

Leave A Reply

Your email address will not be published.

one × 2 =