අපේ ගංගාවන්ට නිදහසේ ගලන්නට ඉඩ දීපල්ලා

 

(AP ඡායාරූපය / එරල්ඩෝ පෙරෙස්)
උඹලා පරාදයි !
‘උඹ බොරුකාරයෙක්. උඹලාගේ විදුලිය අපට එපා. අපේ ගංගාවන්ට නිදහසේ ගලන්නට ඉඩ දීපල්ලා. උඹලාටත්, අපිටත් ජීවත් වන්නට ලැබෙන්නේ එවිටයි. එහෙම නොවුණොත් අපි ඔක්කොටම පණ පිටින් මිය යන්නට සිදු වෙනවා. ඒත් උඹලාට ඒක තේරෙන්නෙ නෑ. උඹලා අන්ධ මිනිස්සු. උඹලාගේ මේ යන්ත්‍ර-සූත්‍රත් අරගෙන වහාම පිටවෙයල්ලා.‘
මේ තර්ජනය කරන ලද්දේ ඇමසෝන් වනාන්තරයේ ආදිවාසී නායිකාවකි. කයාපෝ ආදිවාසී සමූහයේ ටුහිරා කයාපෝ මේ ආකාරයට තර්ජනය කරන ලද්දේ ඇමසෝනය හරහා ගලන ෂිංගු ගංගාවේ ජලය හරස් කරමින් දැවැන්ත වේල්ලක් තනා, ජල විදුලි බලාගාරයක් ඉදිකිරීමට පැමිණි ඇමරිකාව ප්‍රමුඛ කරගත් බහු ජාතික සමාගමක ප්‍රධාන ඉංජිනේරුවරයාට ය. අන්තර්ජාතික මාධ්‍ය ඉදිරියේ ඇය කළ තර්ජනය ලෝකය පුරා බහුජාතික සමාගම් සලිත කරන්නට සමත් විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් නිකුත් කරනු ලබන ණය මුදලක් හරහා මේ ව්‍යාපෘතිය සිදු කරන්නට සැලසුම් කර තිබිණි. එහෙත් කයාපෝගේ අභීත නායකත්වයෙන් එක් වන ජනතාව දුටු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වහා භය දීම අත්හිටුවීය. ඔවුන් වරක් පැරදිණි.
1989 වසරේ තම ව්‍යාපෘතිය අකුළා ගත්තද, ඔවුන් 2011 වසරේදී එය නැවත ආරම්භ කළේය. 2016 දී අවසන් කළ මේ ව්‍යාපෘතිය නිසා ඇමසන් වනාන්තරයේ වර්ග කිලෝමීටර් 440 ක් යට විය.
ඇමසෝනයේ දෙවැනි සටනට මුල් වන්නේ වරෝනි ආදිවාසී ජනතාවයි. ලෝකයේ විශාලතම තෙල් සමාගමකට එරෙහිව නඩු කී ඔවුහු, 2019 ජූලි මාසයේදී නඩුවෙන් දිනූහ. අක්කර මිලියන හතක් පුරා පැතිරුණු තෙල් නිධි කට්ටි 20 කට ආසන්න ප්‍රමාණයක් අදාළ සමාගමට පවරා දීම නීතිවිරෝධී බවට අධිකරණය තීන්දු කළේ ඉක්වදෝර ආණ්ඩුව, ආදිවාසීන් ඉදිරියේ අන්ත පරාජයකට පත් කරමිනි. මෙය 2012 වසරේ සිට ඇදි-ඇදී ආ නඩුවකි. ඉක්වදෝර් ආණ්ඩුව අවස්ථා දෙකකදී මීට එරෙහිව අභියාචනා ගානු කළද, ඵලක් නොවීය. නඩුව දිනූ පසු වරෝනි ආදිවාසී නායක නෙමොන්තේ මෙසේ කියා තිබිණි.


‘වැසි වනාන්තර කියන්නෙ අපේ ජීවිතය. අපේ ජීවිතය රැඳිලා තියෙන වැසි වනාන්තර වල සිද්ධ වෙන්නෙ මොකක්ද, කරන්න ඕනෙ මොනවද කියලා තීරණය කරන්නෙ අපි. අපේ භූමිය තෙල් සමාගම් වලට විකුණලා, විනාශ කරන්න අපිට කිසිම අදහසක් නෑ. ආණ්ඩුව අපේ අනුදැනුමකින් තොරව, රහසිගතව මේ සම්පත සමාගම්වලට විකුණන්නයි සූදානම් වුණේ. අද උසාවිය තීරණ්‍ය කරලා තිබෙනවා, වරෝනි ජනතාව ඇතුළු සමස්ත ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බව. ඒක ඉතාම වැදගත්. ආණ්ඩුවට වටින්නෙ තෙල්. අපිට වටින්නෙ අපේ ජීවිත.‘


ඉන්දියාවේ මුන්ඩ්‍රා ප්‍රදේශයේ ඉදි කරන්නට සූදානම් වූ ගල් අඟුරු බලාගාරයට එරෙහිව එරට පරිසර සංවිධාන නඩු කීවේය. ඒ ලෝක බැංකුවට එරෙහිව ය. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නට සූදානම් වූයේ ලෝක බැංකු ආධාර වලිනි. අවුරුදු හයක් පුරා කී නඩුවෙන් ලෝක බැංකුව පැරදිණි. මුන්ඩ්‍රා පරිසර පද්ධතිය දිනුවේය.
ඇමරිකා එක්සත් ජනපදයේ තියඩෝර් රූස්වෙල්ට් ජාතික වනෝද්‍යානයට කිලෝමීටර් පහක් දුරින් පිහිටුවන්නට උත්සාහ කළ දැවැන්ත ඛනිජ තෙල් පිරිපහදුවේ කටයුතු මේ වනවිට අත්හිටුවා තිබේ. මෙරිඩියන් බලශක්ති සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 800 ක් වැය කරමින් මේ ව්‍යාපෘතිය සිදු කරන්නට සැලසුම් කර ඇත. පරිසර සංවිධාන වල බලපෑමෙන් එය තාවකාලිකව අත්හිටුවා තිබුණද, මෙරිඩියන් සමාගම පවසා ඇත්තේ එමගින් ජාතික වනෝද්‍යානයට කිසිදු බලපෑමක් සිදු නොවන බවයි. ඉහළ අධිකරණයෙන් මේ තීන්දු වෙනස් වීමේ ඉඩකඩ වැඩි බවයි, මාධ්‍ය වාර්තා කර තිබුණේ.


ලංකාවේ චුන්නාකම් තාප බලාගාරය මගින් ජනතාවට බොන්නට තිබූ ජලය සම්පූර්ණයෙන්ම වනසා දැමීය. ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ නඩුවෙන් ජනතාව දිනුවේය. තාප බලාගාරයේ කටයුතු වහාම නතර කිරීමටත්, ජනතාවට වන්දි ලබා දීමටත් අධිකරණය නියෝග කළේය. නීතිවේදීන් නඩුව ඇදගෙන ගියේ නොමිලේ ය. පරිසරවේදීන්ට ඒ වෙනුවෙන් මුදල් ලැබුණේ නැත.
මේ තැන් ගණනාවක, උදාහරණ කිහිපයකි. අවශ්‍යතාව ඇත්නම්, එය සැබෑ, අව්‍යාජ අවශ්‍යතාවක් නම් සටන් ජයග්‍රහණය කළ හැකිය. අපට තවදුරටත් ජීවත් විය හැකිය. අවශ්‍ය වන්නේ අවංක වීම ය.
– ශාලික විමලසේන

Leave A Reply

Your email address will not be published.

four + 19 =