අසීරු දිවියක් ගැන වෙනම කතාවක්

අපට ස්නේහය පා පැමිණි චීන දූත කණ්ඩායම ආධාර සහ ණය අපේක්ෂා දල්වා ගොසිනි. මීට පෙර කතෝලික පල්ලියටද චීන ආධාර ලැබුණ බවක් අපට මතකය. එසේම මෙවර බෞද්ධ පන්සල් සඳහා ආධාර සපයන බවක්ද කියවෙයි. සිය රටෙහි ආගම් ඇදහීමට ඉඩක් නොදෙනා රටක් තව රටෙක ආගම් සඳහා මෙලෙස ආධාර සැපයීම ආශ්චර්යයකි. මේ ආශ්චර්යයේ තරම වටහා ගැනීමට ලී ශුන්සින් ගේ ජීවන අන්දරය කිවයන්නට විවේකය සපයාගත හැකි නම් යෙහෙකැයි මට සිතෙයි.

ලී ශුන්සින් යනු මාවෝගේ අවසාන කාලයෙහි ඔහුගේ අනුග්‍රහය ලද සතර දෙනාගේ කල්ලිය විසින් ගොඩ නගන ලද අවසන් බැලේ කණ්ඩායමෙහි ශිල්පියෙකි. පාසැල් සිසුවකු ලෙස ඔහු බැලේ පුහුණුව සඳහා තෝරාගනු ලබන්නේද අහම්බයකිනි. මාවෝ ගේ බිරිඳ ආධුනිකයකන් සොයා පාසල් වලට එන අතර ලී ගේ පංති කාමරයටද ගොඩ වන්නීය. තම පංතියෙන් කිසිවකුත් නොතේරෙන විට ගුරුවරිය අර ළමයා නරකදැයි අසයි. ලී තේරෙන්නේ එලෙසිනි. එතැන් පටන් ඔහුගේ බැලේ පුහුණු අවධිය ඇරඹෙයි. එය අසීරු දිවියක් ගැන වෙනම කතාවකි.
කෙසේ හෝ ඔහු අවසන කැපවීමෙන් යුත් ගුරුවරුන් කිහිප දෙනකු සහ ඔහුගේම කැපවීමෙහි ප්‍රතිපලය ලෙස දක්ෂ බැලේ ශිල්පියකු බවට පත්වෙයි. එහෙත් ඔහුට සිය දක්ෂතාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නොලැබෙන්නේ චීන ප්‍රචාරකවාදය කරා බැලේ රංගනය හරවන්නට දේශපාලන අධිකාරිය තීරණය කිරීම හේතුවෙනි. එහෙත් ඒ වන විට තමන්ට නරඹන්නට ලැබෙන සීමිත වීඩියෝ පට හරහා ඔහු රුසියානු බැලේ නිර්මාණයන්හී අසිරිය විඳ හමාරය. එහෙයින් ඔහු කලාවේ නිදහස නොමැතිව තමන්ට බැලේ ශිල්පියකු ලෙස ඉදිරි ගමනක් නැති බව වටහා ගනියි. ඔහුට හූස්ටන් බැලේ කණ්ඩායමට ශිෂ්‍යත්වයක් ලැබෙන්නේ මේ අතරය. ඔහු පළමු වර එය අවසන් කර යළි චීනයට පැමිණෙන්නේ නැවත එහි යාමේ දැඩි අරමුණෙනි. ඔහු නැවත එහි යන්නට දරන උත්සාහය තනි මිනිසකුගේ ජීවිත පරදුවට තබනා ප්‍රයත්නයකි. කෙසේ හෝ ඔහු අවසන ලෝක පූජිත බැලේ ශිල්පියකු බවට පත්වෙයි.
එහෙත් ඔහු නැවත තම රටට බලහත්කාරයෙන් ගෙන යනු ලැබීමට දරනා ප්‍රබල උත්සාහයකින් නූලෙන් ගැලවෙමිනි. චීනයට ඔහුගේ දක්ෂතා හමුවෙහි පසු කළෙක ඔහුට දොර හරින්නට සිදුවෙයි. අද බැලේ රංගනයෙන් සමුගෙන ඔස්ටේ්‍රලියාවෙහි සිය දරු පවුල සමගින් වාසය කරන ලී පසු කලෙක සිය ජීවන අන්දරය රචනා කරයි. චීන පවුරින් එතෙරට යනු ඔහුගේ කතාවයි. එසේම එය ජීවිතය, කලාවේ නිදහස පිලිබඳ අරගලයක කතාව මෙන්ම ප්‍රේමය සහ කැපවීම පිලිබඳවද කතාවකි. මානව නිදහස ගැන අප තවමත් කල්පනා කරන්නේ නම් ලී ශුන්සින්ගෙ කතාව කියවීම වැදගත් වනු ඇති.
-චුලානන්ද සමරනායක

Leave A Reply

Your email address will not be published.

eleven + six =