කොවිඞ් ආසාදිතයන්ගේ ගෞරවය ඉල්ලා උසාවි යයි

කොවිඞ් 19 වෛරසය ආසාදිත පුද්ගලයන් රෝහල්ගත කිරීමේ, නිරෝධායනය සඳහා පුද්ගලයන් රැගෙන යාමේ සහ නිරෝධායන ක්‍රියාවලියේ දී ඇඟලුම් ක්ෂේත්‍රයේ ශ්‍රමිකයන් ඇතුළු සමස්ත පොදු ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සහ වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා නිවැරැදි නිරෝධායන නිර්ණායක සකස් කර ක්‍රියාත්මක කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය ඉදිරියේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.
සඳුන් තුඩුගල, සජීව චාමිකර, හර්මන් කුමාර, චින්තක රාජපක්ෂ සහ අශිලා නිරෝෂිණී යන පෙත්සම්කරුවන් මෙම පෙත්සම ගොනු කර ඇති අතර, එහි වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි, නීතිපති දප්පුල ද ලිවේරා සහ රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ නම් කර ඇත. නීතිඥ රන්දිම තෙන්නකෝන් මඟින් පෙත්සම්කරුවන් විසින් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ, රටේ සමස්ත පුරවැසියන්ට මූලික අයිතිවාසිකමක් ලෙස සෞඛ්‍යයට ඇති අයිතිය සුරක්ෂිත කෙරෙන, නිරෝධායන ක්‍රියාවලියක් සඳහා අවශ්‍ය නිර්ණායක නිකුත් කරන ලෙසයි. පෙත්සම්කරුවකු වන පරිසරවේදී සහ සමාජ ක්‍රියාකාරික සජීව චාමිකරගෙන් මේ පිළිබඳව අප කළ විමසීමක දී ඔහු සඳහන් කළේ පසුගිය වාරයටත් වඩා, මේ අවස්ථාවේ දී පුරවැසියන්ගේ සෞඛ්‍ය අයිතියට බලපෑම් එල්ල වෙමින් පවතින බවයි. එසේම මාධ්‍ය මඟින් ආසාදිතයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අනාවරණය කිරීම බරපතළ කරුණක් බව ද පෙන්වා දෙන ඔහු, එම නිසා නිරෝධායන ක්‍රියාවලිය විධිමත්ව කරගෙන යාමේ බාධා මතු වන බව ද අවධාරණය කරයි.
පෙත්සම්කරු පවසන මෙම කරුණ තහවුරු කරන වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර අවධාරණය කරන්නේ කවර තත්ත්වයක් යටතේ වුව ද එසේ කිරීම ආචාරධාර්මික නොවන බවයි. එසේම එය වෛරසය පාලනය කිරීමේ ක්‍රියාවලියට බාධාවක් බව ද ඔහු සඳහන් කරයි. මෙවැනි අත්තනෝමතික ක්‍රියාවලියක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමේ හැකියාවක් තිබේ ද යනුවෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් නීතිඥ ජගත් ලියන ආරච්චි පැවසුවේ නිරෝධායන ක්‍රියාවලියට බාධා කිරීම වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් ලෙස නිරෝධායන රෙගුලාසිවල පැහැදිලිව සඳහන් වන බවයි.

Leave A Reply

Your email address will not be published.

20 + 3 =