“නම්” අලුත් සමාජ දේශපාලන කතිකාවක් ඉල්ලන නවකතාවක්..

 

පේරාදෙණි මතක අවුළන, අලුත් සමාජ දේශපාලන කතිකාවක් ඉල්ලන නවකතාවක්..
සුදර්ශන සමරවීරගේ..”නම්”
ප්‍රකාශනය-ස්වරණ ග්‍රන්ථ.
කන්චුකය- ඩොමින්ක් චන්ද්‍රසාලි.
සුදර්ශන සමරවීරගෙ “නම්” නැමති නවකතාව කියෙව්වා.සුදර්ශන දිගට ම අපව එයා කියන කතාවට අලවල තියා ගන්න විස්මිත ආඛ්‍යාන ක්‍රමයක් පාවිච්චි කරල තියෙනවා.කොටින් ම කියනව නම් එයා අපිත් එක්ක හරි ම විශ්වසනීය වගේ ම වින්දනීය ගනුදෙනුවක් කරනවා නවකතාවේ අවසානය දක්වා ම. ඒක කොයිතරම් ප්‍රබල ද කියනවනම්, “නම්” නවකතාවෙ කතාව කියන හැම චරිතයක් ම, ඒ කියන්නෙ කතාවට සම්බන්ධ හැම දෘෂ්ටි කෝණයකින් ම කියවෙනෙ කතා මාත්‍ර මොන විදිහෙ ඒවා වුණත් ඒවා පිළිගන්න පෙළඹවීමක් ඇති කරනවා..ඒකට හරියන ම විදිහට සුදර්ශන භාෂාව හීලෑ කරගෙන තියෙනවා. මං දැක්කා “නම්”නවකතාව කියවපු කෙනෙක් ලියල තියෙනවා ඒක “සමහර පාඨකයන් ව සාහිත්‍යයෙන් දොට්ට ඇදලා දාන්නෙ නැති ලියවිල්ලක්” කියල. ඒ කතාව හරියට ම හරි.
සුදර්ශන කතාව කියන්න පටන් ගන්න කොට ම ඒ වැඩේ චරිතයකට පවරන ගමන් “ඔව් ඔබ තමයි ඉඳුනිල්” කියල අපව අමතන්න ගන්නවා.
“දැන් ඉඳුනිල් කිව්ව ගමන් ඔබ කලබල වෙලා එහෙ මෙහෙ බැලුව නේ ද?
මතකද ? නමක් තියෙද්දිත් අපි ඉස්කෝලෙ යන කාලෙ අපේ උන් හැම එකාටම බණින නමක් දානවා. ඒක ටික කාලෙකින් නික් නේම්මෙක වෙනවා.බතලයා, ඌචා, කට්ටා, ඩොටී, පූසා, සල්සා වගේ අනම් මනම් නම්.කැම්පස් ගිය ගමන් නම තියෙද්දි දානවා කඩ්ඩෙකක්. හරමානිස්, ගල්කටුස්, ගෝර්ති, කේවට්ට්ටයා, හාරත,බුටා, පුරාණයා, ලංකෝනිස්, අක්කරයා, කීඩෑවා, මොල්ලියා, දෙබිඩ්ඩා, උණ්ඩයා, බුලට්, පතොරමා, වැලි මුවා, වේයා වගේ කෝටියක් නම්. කවදාවත් ඇයි හොඳයියක් නැති එකෙට්ට නිකං පාර තොටේ දැකලත් දින දෙක තුන යනකොට වැටෙනවා නමක්.”
“නම්” නවකතාවේ මදේ මැද පේරාදෙණි මතක අවුළුවන සිද්ධි ජාලාවක් තියෙනවා. මේක කියවං යද්දි දශක දෙක්කටත් එහා තියෙන කැම්පස් මතක ඇවිළෙන්න ගත්තා.”යෞවන චමත් අන්ද්‍රමාන” හෙවත් අන්දරේ එයාගෙ කැම්පස් ජීවිතේ පලු පලු අපි ඉදිරියේ දිගේලි කරන අතරෙ කැම්පස් එකේ අහුමුලු ගානේ අපව ඇවිද්දනවා.. ඉතින් පේරාදෙණි මතක ඇවිළිලා පුස්තකාලේ පොත් පුස් පුසුඹ විතරක් නෙවෙයි හොස්ට්‍රල්වල නාන කාමරවල සුවඳත් දැනෙන්න ගත්තා..
“සින්නො අපිට බාර කළේ ශාස්ත්‍ර පීඨෙ කලාගාරෙ ඉස්සරහින් අධ්‍යාපන විද්‍යා දෙපාර්තමේන්තුව පැත්තට පඩිපෙළ නැගල සංස්කෘතික මධ්‍යස්ථානය, ලොන්ඩරිය අසළින් ඇති පාර දිගේ උඩට ගිහින් කැලෑව කපාගෙන හන්තානට කඳු මුදුන් සේරොම නැගල උසම කන්දෙ ටවර් එක ළඟට ගිහින් එතන කොඩියක් ගහල ආපහු කලාගාරෙ ඉස්සරහට ම බහින්න ඕනෙ. අපි නැග්ගා. හන්තාන තරණය කියන්නෙ නොලියවුණු කතා පොතක නමක්”
( ඔය ලොන්ඩරිය ළඟින් උඩට නගින්න තියෙන පටු පඩි පෙළ නැඟ ගෙන අවුරුදු දෙකක් තුනක් මාකස් ශාලාවට ගෑටුව මතක විදුලි කෙටුවා.)
සුදර්ශන, පේරදෙණි මතක වියමනක අපව තාවර කරන ගමන් කාලයක් තිස්සෙ බරවාවක් වෙලා තියෙන විශ්ව විද්‍යාල උපසංස්කෘතිය ගැන පදාසයක් ම අවලෝකනය කරනවා..පුරුෂ කේන්ද්‍රීය පසුගාමී ග්‍රාමීය දෘෂ්ටිවාදය හෙජමොනික වෙච්ච විශ්ව විද්‍යාල උපසංස්කෘතිය සුදර්ශන අතින් තියුණු උපහාසයකට ලක් වෙනවා..ඒත් එක්ක ම සුදර්ශන, ශිෂ්‍ය දේශපාලන බල ව්‍යුහ ගැනත් වාම දේශපාලන ධාරාවන්ගේ අවනතිය ගැනත් සංකල්පීය කතිකාවක් ගොඩනගනවා. නවකතාවේ චරිත හරහා සුදර්ශන, වාම දේශපාලන භාවිතාව සඳහා අනියමින් යෝජනා කරන්නෙ ධනවාදී ආකෘතියක්.පිරමීඩ ක්‍රමයේ යාන්ත්‍රණය තුළ තියෙන සාර්ථකත්වය ගැන “යෞවන”ට තියෙන විශ්වාසයෙන් ඒ බව අඟවනවා.
සුදර්ශනගෙ ආඛ්‍යාන ක්‍රමයේ මන බඳින ලකුණක් වුණේ සිනමා රූපී බව. සමහර සිද්ධි නිරූපණ අපව පුළුල් තිරයක් ඉදිරිපිටට කැඳවනවා.
“දෙමළ නළුවෙකු කුබෝටා(ෆෝවීල්) ලොකු ට්‍රැක්ටරයක මඩ්ගාඩය මත හිඳුවාගෙන අමීර් ඛාන් සෙය්යාවෙන් ට්‍රැක්ටරය පදවමින් වෑකන්ද දිගේ තරුණයෙකු වැව කැපූ තැන කඩවල දෙසට එමින් සිටියේ ය. ඔබ සිතූ පරිදිම ඒ තරුණයා යෞවන නම් වෙයි. දෙමළ නළුවා ඔබට මේ නවකතාවේ “ජාහුක්කාර බල්ටියා” නම් පරිච්ඡේදයේදී හමු වූ රංග සුන්දරාවේ සටන් අධ්‍යක්ෂ තිස්සයියා නම් වෙයි”
කොච්චර අපව ආකර්ෂණය කරන කතා කලාවකුයි ඒත් එක්ක තකට තක බැඳිච්ච කතාවකුයි තියෙන නවකතාවක වුණත් වැදගත් ම දේ තමයි ඒකෙන් පැනෙන කතිකාව කොච්චර සමාජගත වෙනව ද කියන එක. සමකාලීන සමාජ දේශපාලන ව්‍යුහය පිළිබඳ ප්‍රමාණවත් කතිකාවකට පිරිමැහෙන තරම් අඩුබ කුඩුබ ගොඩක් මේකෙ තියෙනවා. මං හිතන්නෙ ඒක මේ මොහොතෙ ගොඩනැගිය යුතුම කතිකාවක් කියල..ඡන්දයක් ළං වෙච්ච ගමන් ටවුන් ගානෙයි ගෙවල් ගානෙයි ඇවිදින්න තදියම් වෙන සමාජ දේශපාලන ව්‍යාපාරවල ක්‍රියාධරයන් විතරක් නෙවෙයි සමාජ මාධ්‍යවල නහුතයක් අත්තුක්කංසන ව්‍යාපෘතිවල නිරත වෙලා ඉන්න අයත් එක්කාසු වෙලා ඒ කතිකාව යම් තරමක් හරි දුරකට ගෙනියනව නම් කොච්චර එක්ක ද කියල හිතුණා..
-සුජීව සිරිමෙවන්

Leave A Reply

Your email address will not be published.

seventeen + 20 =