රිෂාඩ් වෙනුවෙන් දෙවැනි වරටත් නීතිපති පොලිසිය කැදවයි !

හිටපු ඇමති රිෂාඩ් බදූර්දීන් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් විමසීමට අද (15) නීතිපති දප්පුල ද ලිවේරා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා කැදවා ඇත.
යුක්තිය ඉටු කිරීමට ප්‍රමාද වීම, යුක්තිය අහිමි වීමට හේතුවක් බව නීතිපතිවරයා විසින් නියෝජ්‍ය පොලිස්පතිවරයාට අවධාරණය කළ බව නීතිපති සම්බන්ධීකරණ ලේකම් නිශාරා ජයරත්න පැවසීය. මීට පෙර මේ සම්බන්ධයෙන් විමසීමට වැඩ බලන පොලිස්පතිවරයා ද නීතිපති හමුවට කැදවා තිබිණි.
ඡන්දය දැමීම සදහා ජනතාව රැගෙන යෑමට රාජ්‍ය දේපොළ යොදාගත් බවට චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ රිෂාඩ් බදූර්දීන් අත්අඩංගුවට ගන්නා ලෙසත්, ඊට අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගන්නා ලෙසත් නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබිණි. එහෙත් අධිකරණය විසින් පොලිසියට දැනුම් දී තිබුණේ පොදු දේපොළ පනත යටතේ අදාළ චෝදනාවට හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් අවශ්‍ය නොවන බවයි.
ඉන්පසු පොලිස් කණ්ඩායම් හයක් හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගැනීමට යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබිණි.

Leave A Reply

Your email address will not be published.

4 × 3 =