ආනන්දය සහ ප්‍රඥාව

ඔක්තෝම්බර් 12 ( න් ආරම්භ වී 13දා මුල් යාමය දක්වා පැවැත්වුණු ) මාලන් කපුවත්ත කවියාගේ කාව්‍ය සංග්‍රහය අරබයා පැවති zoom to poem online පර්ෂදයේ දී කළ මගේ එක් සඳහනකට අදාළවයි ; එහිදී කාව්‍යයේ වින්දනීය නිෂ්ටාවන් පිළිබඳ වූ කතාබහ තුළ ‘ ආනන්දයෙන් ප්‍රඥාව කරා ‘ යන සූත්‍රය මතුවුනු අවස්ථාවක , බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් කලකට පෙර , ඇරිස්ටෝටලියානු සෞන්දර්යවේදීය පදනම් විවේචනය කරමින් ගොඩ නැගූ එපික් රංගය පිළිබඳ න්‍යායික රාමුව මත සිට, යට කී වින්දන සූත්‍රය අභියෝගයට ලක් කළ බවත් , ‘ ප්‍රඥාව ආනන්දජනක විය නොහැකිද ? ‘ යනුවෙන් ප්‍රශ්න කළ බවත් මා සිහි කළා. කාව්‍ය වින්දනයට මේ නිරීක්ෂණය අදාළ වන බවයි මගේ යෝජනාව වුණේ .
මේ කරුණ ගැන දුලිත් දඩල්ලගේ සොයුරා මුහුණුපොතේ සටහනක් තබා තිබුණා. ඒ අතර , සමහර විට ඊට ප්‍රතිචාර දක්වමින් මහාචාර්ය ලියනගේ අමරකීර්ති, රොබර්ට් ෆ්රොස්ට් මුල් නිර්වචනයෙන් අදහස් කළ දේ ගැන ප්‍රයෝජනවත් විවරණයක් මූලාශ්‍ර කරා යමින් කර තිබුණා. ඒ ගැනත් කියමින් දුලිත් මට කතා කොට යෝජනා කළා මා සංවාදයේදී කී කරුණ ගැන ටිකක් පැහැදිලි කළොත් හොඳයි කියා. මේ , ඒ ගැන ඉක්මන් සටහනක් .
ලංකාවේ පාසල් පන්ති කාමර තුළ ‘ ආනන්දයෙන් ප්‍රඥාව කරා ‘ යන කටපාඩම් කළ සූත්‍රය ඉන්දීය චිරන්තන කාව්‍යයේ අදහසක් සේ දක්වන බව මට හමුවී තිබෙනවා. එහි පෙරදිග සෞන්දර්ය මූලයක් තිබෙන්නටත් පුළුවන්.
80 දශකයේ අග කාලයේ බෙහෙවින්ම උනන්දුවෙන් මම බ්‍රෙෂ්ට් ගේ සෞන්දර්ය දර්ශනය අධ්‍යයනය කළා , ඒ අරබයා ලිපි ගණනාවක්ම ලියුවා ; විශේෂයෙන්ම විජිත ගුණරත්න ගේ නාට්‍ය විවරණය කිරීමටත් , මගේම නාට්‍ය රචනාවල ( මානස විල , රත්නවල්ලි සහ කණවේර ජාතකය ආශ්‍රය කරගත් නොපළ නාට්‍යයක් ) නාට්‍ය වින්‍යාසය සහ චරිත සකසා ගැනීමටත් එපික් නාට්‍ය අදහස මට ප්‍රයෝජනවත් වුණා. ඒ ලියූ ලිපි අතර බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය වින්දන න්‍යාය ගැනත් මා ලියූ බව මතක නමුත් ඒ ලිපිය ( තව බොහෝ ලිපි මෙන් ) සොයා ගැනීමට තවම නම් නොහැකිවුණා. ඒ නිසා නිශ්චිත බ්‍රෙෂ්ට් මූලාශ්‍රය පාදා ගැනීම කල් යන වැඩක්.
කෙසේ හෝ මතකින් සහ කෙටියෙන් කිව්වොත් බ්‍රෙෂ්ට් විවිධ අයුරින් ගොඩ නගන කතන්දරයෙන් කොටසක් මේ වගේ අදහසකට ගොණු කරන්න පුළුවන් ; මගේ නාට්‍යාගාරයේ ඉන්නා නූතන ප්‍රේක්ෂකයා බුද්ධිමතෙක්, එයාට මම බොරුකරන්න කැමති නැහැ, එයා ඉදිරියේ මායාවක් මවන්න මගේ කැමැත්තක් නැහැ. ඒ ආකාරයේ විඳීමක් එයාගෙ ගෞරවයට ගැලපෙන්නේ නැහැ ;
නමුත්, අනිත් අතට එයා ගත කරන්නේ මේ ධනේශ්වර සමාජය තුළ අත්‍යන්තයෙන් පරාරෝපිත ජීවිතයක්; එයා නන් අයුරින් මනුෂ්‍යත්වයෙන් පරාරෝපණය වෙලා ඉන්නේ. මගේ නාට්‍යය වෙර දරන්නේ , ඒ බව එයාට පෙන්වන්නයි. තමාගේම පරාරෝපිත බවේ යථාර්ථය හෙළි කරන්නයි ; එයා දන්නවා මේක නාට්‍යයක් කියලා, එයා මායා ලෝකයක හිරවෙන්නේ නැහැ ; එතකොට එයාට මේ නාට්‍ය අත්දැකීම ආනන්දජනක වන්නේ කොහොමද ? තමාගේ සමාජයීය වූ ජීවිතය පිළිබඳව සැඟවුණු දෙයක් හෙළිදරව් වනවිට උපදින ආනන්දය සමග සසඳන්න පුළුවන් වෙනත් ආනන්දයක් මිනිසාට නැහැ , මනුෂ්‍යයාගේ ඉහළම ආනන්දය ප්‍රඥාවේ ආනන්දයයි.
බ්‍රෙෂ්ට් කියන්නෙත් පෙරදිග පාරභෞතික ප්‍රඥාවක් ගැනම නෙමෙයි, සමාජ ජීවිතය පිළිබඳ විමුක්තිකාමී හෙළිදරව් කිරීම් නිසා මිනිස් සන්තානයේ උපදින ආනන්දය ගැනයි. ( ඔහු ‘ආනන්දයෙන් ප්‍රඥාවට ‘ යන සූත්‍රය ගැනත් ඍජු සඳහනක් කරන බවයි මට මතක; නමුත් ඔහුගේ පරිශීලනය කුමක්ද යන්න ගැන මට නිශ්චිතව මතක නැහැ )
-සුනිල් විජේසිරිවර්ධන(fb)

Leave A Reply

Your email address will not be published.

16 − four =