ප්‍රේතයන්ට දිරවාගතනොහැකි වූ ‘‘පේත’’

‘‘පළමුවෙන්ම මෙවැනි සමාජයක් යනු කළමණාකරනය කරනලද ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත නූතන තත්ත්වයකි.මෙවැනි සමාජයක් ඇත්තට පවතින්නක් නොවඇත්ත ලෙස පෙනී යන සමාජයකි. සමාජ යථාර්ථය සහ නාට්‍ය හෝ සිනමා දර්ශණයන් අතර වෙනසක්නැත. පශ්චාත්-නූතන ආඥාදායකත්වයක් පවතින විට එම රට තුළ පවතින දේශපාලන පක්ෂ යනු අටවනලද ඒවාය. විපක්ෂය යනු ද අටවන ලද්දකි. මෙවැනි සමාජයක් තුළ ව්‍යාජ වංචා,දූෂණ, බිහිවන අතර ඒවා රූපවාහිනී මාලා නාටකයකට වඩාවැඩිමනක් දෙයක් නෙවි. මෙවැනි සමාජයකදී සියළු දේවල් මහජන සම්බන්ධතා (PR)ගැටළුවකට ඌණනය වනඅතර දේශපාලන ක්‍රමය පුද්ගලික අවකාශයක් බවට පත්වෙයි. මෙවන් තත්ත්වයක් නිර්මාණය වූවිට උදේට ලිබරල්වාදීව පුවත්පත් වල ප්‍රවෘත්ති කියවන මාධ්‍යෙව්දීයෙක් රාත්‍රියේ බීමත්ව ජාතිවාදී කෝලාහල වලට සම්බන්ධ විය හැක.

’’උපුටාගැනීම: ත්‍රීමාන වෙබ් අඩවිය

මතුවට ලිවීමට සූදානම් වන වියමන වෙනුවෙන් වඩාත් උචිතවන්ගේ යට සඳහන් උපුටනයේ පළමු වාක්‍යය ත්‍රිත්වය යි. එනම්, ‘‘පළමුවෙන්ම මෙවැනි සමාජයක් යනු කළමණාකරනය කරනලද ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත නූතන තත්ත්වයකි. මෙවැනි සමාජයක් ඇත්තට පවතින්නක් නොව ඇත්ත ලෙස පෙනී යන සමාජයකි. සමාජ යථාර්ථය සහ නාට්‍ය හෝ සිනමා දර්ශණයන් අතර වෙනසක් නැත.’’ යන්න ය.

පළමු ලිවීම

පවතින සමාජය හෝ සමාජ දේශපාලන මතය යනු සත්‍යය නොවන ප්‍රබන්ධයක්බව මැනවින් ප්‍රකට කරන සාහිත්‍යය වියමනක් ලෙස එරික් ඉලයප්පආරච්චිගේ ‘‘පේත’’ කෘතියහැඳින්විය හැකි ය.
ලාංකීය සමාජය මතු නොව සමස්ත ලෝක සමාජය තුළ ම දක්නටලැබෙන්නේ ඇත්ත මෙන් පෙනෙන බොරුවකි. මෙහි බරපතළ ඛේදවාචකය වන්නේ එය ඇත්තක් ද බොරුවක්ද යන්න සාපේක්ෂ කරුණක් වීම ය. එනම් පවතින ආණ්ඩුව පවසන ඕනෑම කෙබරයක් පරම සත්‍යයයැයි පිරිසක් පිළිගන්නා අතර ආණ්ඩු විරෝධී පාර්ශ්ව පවසන යථාර්ථවාදී යමක් වුව චේතියගණයේ මුසාවාද ලෙස පිළිගන්නා පිරිසක් ද සිටීම ය.

රටක ප්‍රජාව වෙත නිවැරැදි තොරතුරු ලබා දිය යුතු මාධ්‍යය ඔවුනොවුන්ගේ පුද්ගලික වුවමනා එපාකම් අනුව පුවත් මැවීම සහ පුවත් අතුරුදන් කිරීම දමෙහි තවත් ඛේදවාචකයකි. පසුගිය ජනාධිපතිවරණ සමය ආසන්න වන විට මෙරට සිදු කළ බොහෝ ප්‍රචණ්ඩකාරිසිදුවීම් මෙයට කදිම උදාහරණ ය. මෙරට මතු නොව ලෝකයේ බොහෝ දේශපාලන ව්‍යාපාර යනු බලයලබාගැනීම සහ පවත්වාගෙන යාම වෙනුවෙන් ඇත්ත නැත්ත කර නැත්ත ඇත්ත කර පෙන්වන ව්‍යාපාරය. ලාංකීය ප්‍රජාව මේ වන විට ද එහි අග ඵල භුක්ති විඳිමින් සිටී.

‘‘පේත’’ සාහිත්‍ය නිර්මාණය ආරම්භයේ සිට අවසානය දක්වාවිදාරණය කෙරෙන්නේ මෙකී ඛේදවාචකය යි; එහි බියකරුභාවය යි; එවන් තත්ත්වයක් තුළනිවැරැදිකරුවෝ බරපතළ ගණයේ අපරාධකරුවෝ ලෙස සමාජය වෙත හඳුන්වා දීමේ අභාග්‍යය යි.එමෙන් ම මෙරට දක්ෂිණාංශිකයේ මතු නොව වාමාංශික ව්‍යාපාරයේ බොල් ස්වභාවය ද, රාජ්‍යනොවන සංවිධාන (NGO) ව්‍යුහයේ නිරුවත ද මැනවින්විදහා දක්වන්නට ‘‘පේත’’ කෘතිය සමත්වී තිබේ.

කතුවරයා සිය නිර්මාණය සඳහා මෙරට පැවති සමාජ අරගල ත්‍රිත්වයක්උපස්තම්භක කරගන්නා අතර එකී සමාජ අරගලවල සාපේක්ෂතාව ද මැනවින් ප්‍රකට කරන්නට සමත් වීඇත. එනම් හැත්තැ එකේ අරගලය එක් පිරිසකට විමුක්ති අරගලයක් වන විට රාජ්‍ය පාලකපක්ෂයට එය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් මතු නොව රැජිනට එරෙහිව කළ ආයුද සන්නද්ධඅරගලයකි.

දෙවනුව 87-89 කාලයේ පැවති ආයුධ සන්නද්ධ අරගලය එයමෙහෙයවූවන්ට දේශප්‍රේමී අරගලයක් වන විට රාජ්‍ය පාලක පක්ෂයට එය ප්‍රජාතන්ත්‍රවාදිවබලයට පත්වූ පාලනයකට එරෙහිව දියත් කෙරුණු රාජ්‍ය විරෝධී අරගලයකි.

තෙවනුව උතුරේ මතු නොව සමස්ත දිවයින පුරාම වෙසෙන ද්‍රවිඩජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් දියත් කෙරුණු ආයුධ සන්නද්ධ ව්‍යාපාරය උතුරේ ඇතැම්පිරිසකට සිය විමුක්තිය වෙනුවෙන් සිදු කෙරෙන අරගලයක් වන විට දකුණේ මතු නොව උතුරේ මඇතැම් දේශපාලන ව්‍යාපාරවලට එය බෙදුම්වාදී, ත්‍රස්තවාදි වයාපාරයක් විය.

මෙම සිද්ධියේ දී මතුවන ප්‍රබල විශේෂත්වයක් වූයේ ‘‘සකලදේශවාසී නිර්ධනයනි එක්වව්’’ යන සටන් පාඨය සහිත ධජය ඔසවාගෙන ගිය බහුතරයක් වූ වාමාංශිකව්‍යාපාර ද ක්ෂණයෙන් ජාතිවාදී ස්ථාවරයක සිට අදාළ සන්නද්ධ ව්‍යාපාරයට එරෙහිව අවිඑසවීම ය. එහි දී මේ ඊනියා වාමාංශිකයෝ ‘‘මනුෂ්‍යත්වය’’ නමැති වදන පාගා සුන් කරදමන්නට තරම් අධම තත්ත්වයට පත්විය. දෙමළ මිනිසා කෙරෙහි අනුකම්පා කරන සියලු පුද්ගලයෝ‘‘දේශ ද්‍රෝහියෝ’’ ලෙස නම් කරන්නට සමත් වූහ. එතැනින් නතර නොවූ මේ ඊනියා දේශප්‍රේමියෝ දෙමළ මිනිසා කෙරෙහි අනුකම්පා කරන පුද්ගලයෝ, සංවිධාන සහ විකල්ප දේශපාලන ව්‍යාපාර ඉතා කුරිරු ලෙස මර්දනයට ලක් කළහ; රටේ බහුතරයක් පිරිස් ඒ වෙනුවෙන් පක්ෂපාතිත්වයට පත්කරගත්හ.

එරික් ඉලයප්පආරච්චි නමැති සාහිත්‍යකරුවා සිය ‘‘පේත’’කෘතියට ග්‍රහණය කරගන්නේ යට කී ඛේදවාචක ගොන්න ය. එහි එක් චරිතයක් යනු චරිතයක් මපමණක් නොවේ සමස්ත සමාජයේ ම පැතිකඩකි. ඒ අනුව එහි එක් එක් චරිත යනු ම මේ සමාජයේපවත්නා විවිධ සමාජ, දේශපාලන පැතිකඩ ය. ඒ සියල්ල තුළ සැඟව පවත්නේ හුදුආත්මාර්ථකාමී, බල ලෝභී, ජාතිවාදි, ආගම්වාදී සහ රටක් ලෙස ඉදිරියට ගමන් කිරීමටපවත්නා ප්‍රධාන බාධක ය. එහෙත් ඒවා බාධක ලෙස නොසලකන තත්ත්වයට මිනිස් මොළහිරිවට්ටන්නට පවතින දේශපාලන බල ව්‍යුහය කටයුතු කරන අන්දම ද මෙම කෘතිය තුළ මනාවපැහැදිලි කර ඇත.

සාහිත්‍යය කෘතියක් යනු දේශපාලන සාකච්ඡා මණ්ඩපයක් නොවියයුතු යැයි මෙහි දී ඇතැමෙක් ප්‍රශ්න කරන්නට පිළිවන. එහෙත් ‘මිනිසා යනු දේශපාලනසත්වයෙකි’ යැයි ඇරිස්ටෝටල් කළ ප්‍රකාශය මගහැර යාමට අපි කිසිවකු අසමත් වන්නේ ය.එමෙන් ම ‘හමා එන සුළඟ පවා දේශපාලනික ය’ යන ප්‍රකාශය ද අපිට මෙහි දී බැහැර කළනොහැකි ය. එවන් තත්ත්වයක් තුළ සාහිත්‍යය කෘතියක් මතු නොව ඕනෑම කලා නිර්මාණයක්දේශපාලනිකභාවයෙන් වියුක්ත විය යුතු යැයි කිසිවකු අදහස් කරන්නේ නම් එය බරපතළඅඥානකමකි.

දෙවන ලිවීම

කිසියම් කෘතියක් පිළිබඳ විචාරයක් හෝ විවේචනයක් ලිවීමේ දීඅදාළ කෘතියෙන් කොටස් උපුටා දැක්වීම අනිවාර්ය කටයුත්තක් යැයි මම විශ්වාස කරමි.එහෙත් මෑතක සිට ඇතම් කතුවර කතුවරියෝ තම කෘතියේ කොටස් එලෙස උපුටා දැක්වීමට එරෙහිවඅවි අමෝරා තිබූ බවක් සමාජ මාධ්‍යය තුළ දක්නට ලැබුණි. එරික් ඉලයප්පආරච්චිගේ ‘‘පේත’’කෘතිය පිළිබඳ අංග සම්පූර්න විමංසනයක යෙදීමට නම් එහි අන්තර්ගත ඇතැම් කොටස් උපුටාගතයුතු ම ය. එහෙත් යට සඳහන් කළ තත්ත්වය මත එය තාවකාලිකව නවතා කෘතියේ මා දුටු යටිපෙළකියවීම මෙසේ සාරාංශ ගතකිරීමට සිදුවූ බවපවසමි. නමුදු කතුවරයාගේ හෝ ප්‍රකාශන ආයතනයේ විරෝධතාවක් පැන නොනගින්නේ නම් දෙවනුවමීට වඩා සවිස්තරාත්මක විමර්ශනයකට ඉඩ තබා, තවත් කෙටි වදන් කිහිපයක් ප්‍රකාශ කර මෙමලියවිල්ල හමාර කරමි.

පසු ලිවීම

මෙරට සම්මාන උළෙලවල දී සම්මානයට පාත්‍ර වන ඇතැම් කෘති කිසිදු රසයක් නැතැයි යන අඳෝනාව කලක සිට පැවතෙන්නකි. (එහි සත්‍යතාවක් ද පවතී) මෑතක එලෙස විවේනයට ලක්වු සාහිත්‍ය නිර්මාණයක් වූයේ බටුවන්ගල රාහුල හිමි විසින් රචිත‘‘රන් කරඬුව’’ කෘතිය යි. නමුත් මගේ කියවීමට අනුව නම් එම වසරේ ස්වර්ණ පුස්තකසම්මානය ලැබිය යුතු ම කෘතිය එය යි. (මා එසේ පවසන්නේ එම වසරේ අවසන් වටයට තේරුණු අනෙකුත් කෘති හතර ද මා කියවූ බැවිනි) මෙම වසරේ ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලදඑරික් ඉලයප්පආරච්චිගේ ‘‘පේත’’ කෘතිය ද ‘‘රන් කරඬුව’’ කෘතියටත් වඩා විවේචනයට ලක්ව ඇති බව සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබේ. එහෙත් මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දී මෙමකෘතිය සම්මානයෙන් පිදුම් ලැබීම කෙතරම් දුරට සාධාරණ ද නැද්ද යන්න මට තවමත් එළඹියනොහැකි නිගමනයකි. ඒ, මා අනෙක් කෘති හතර තවමත් නොකියවා ඇති බැවිනි. තත්ත්වය එසේ වුවද ‘‘පේත’’ යනු ඇගයීමට ලක්විය යුතු සාහිත්‍යය කෘතියක් ය යන්න මගේ පුද්ගලික හැඟීම ය.

අසනීපව සිටින මා වෙත ‘‘පේත’’ කෘතිය ලබා දුන් රෝහිණිජයන්ති ලියනගේ සොයුරියට ද මේ මොහොතේ ස්තුති කළ යුතු ම ය.

-ජයසිරි අලවත්ත

Leave A Reply

Your email address will not be published.

three − 3 =