“මේ තත්ත්වය වෙනස් කරන්න විශාල පරිශ්‍රමයක් දරන්න වෙනවා”

රාමඤ්ඤ නිකායේ අධිකරණ සංඝනායක, රාජකීය පණ්ඩිත
මහාචාර්ය අත්තංගනේ රතනපාල හිමි

ආගමක මූලික අරමුණ විමුක්ති මාර්ගය පහදා දීම හැටියට හඳුනා ගන්න පුළුවන්. මේ විමුක්තිය කියන දේ සරලව පැහැදිලි කරන්නේ කොහොමද?

බුද්ධ දේශනාවේ හැටියට පුද්ගලයකුගේ ජීවිතයට වටිනාකම් ලැබෙන්නේ ආත්මාර්ථ, පරාර්ථ දෙක ම අරමුණු කරගෙන ක්‍රියා කළොත්. ආත්මාර්ථ කියන්නේ, තමන්ගේ විමුක්තිය. පරාර්ථ කියන්නේ, තමන් ද ඇතුළුව සමස්ත සමාජයේ විමුක්තිය, යහපත. එතකොට තමන් තමන්ගේ විමුක්තිය සලසා ගන්නවා වාගේ ම සමාජ විමුක්තිය වෙනුවෙනුත් කටයුතු කරන්න ඕනෑ. ඒක මඟහරින්න බැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ, තමන්ගේ ආත්මයට වටිනාකම් දීමත්, සමාජ ධාර්මිකත්වයට කැප වීමත් කියන දෙක. සමාජ ධාර්මිකත්වයට කැප වීම කියන්නේ, තමන්ගේ යහපත් ආදර්ශයෙන් සමාජය නිවැරැදි කරන්න දායක වෙන්න ඕනෑ. ආදර්ශය සැපයීමයි මූලික. බෞද්ධ දර්ශනයේ එන විමුක්ති මාර්ගය කියන්නේ, මෙන්න මේ ක්‍රියාමාර්ග දෙක ම එකට ක්‍රියාවට නැඟීමයි. ඒ නිසා තමන්ගේ විමුක්තිය විතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ.

මේ නිසා ම ද බෞද්ධ දර්ශනයේ ආගමික සේවාව සහ ජාතික සේවාව කියලා අංශ දෙකක් ගැන කතා කරන්නේ ?

අන්න ඒ නිසාම තමයි, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ “චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය…” කියලා. එතැන ම තියෙන්නේ, සමාජ යහපත වෙනුවෙන් කැප වීම. බුදුන් වහන්සේ ධර්මය අවබෝධ කර ගත්තා වාගේ ම සමාජයේ මිනිසුන් විඳින දුක දැකලා, මිනිසුන් ඒ දුකින් මුදාගැනීමට අදාළ දේශනාවක් නේ කරලා තියෙන්නේ. සමාජ සංවර්ධනය වෙනුවෙන් මංගල සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය පවා දේශනා කරලා තියෙන්නේ, ඉතා ම පුළුල් අර්ථයකින්. ඒ වාගේ ම මිනිසුන් පිරිහීමට ලක් වන කරුණු ගැන පරාභව සූත්‍රය වගේ දේශනාවලින් පැහැදිලි කරනවා. වර්තමාන සමාජයේ සැලැකිය යුතු පිරිසක් වසලගාමී වෙන්න ක්‍රියා කරන බව අපට පේනවා. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ, සමාජය ගොඩනැඟීමට නම්, සදාචාර සංවර්ධනයට දායක වෙන්න ඕනෑ කියලා. සමාජයේ දුක්විඳින මිනිසුන් එයින් ගොඩ ගැනීමට මඟ පෙන්වීමයි බුද්ධ දේශනාව.

ඇතැම් භික්‍ෂුන් වහන්සේලා දේශපාලනය කිරීමට පවා යොමු වෙලා ඉන්නවා. මේ ගැන පැහැදිලි කරන්න…

ඒක තියෙන්නේ 1948 නිදහස ලැබීමෙන් පස්සේ විතරක් නොවෙයි, නුවර යුගයේ ඉඳලා ම ඒක තියෙනවා. සරණංකර සංඝරාජ හාමුදුරුවෝ මේ සමාජයේ සමානාත්මතාව, සාධරණත්වය වෙනුවෙන් කැප වෙච්ච කෙනෙක්. උන් වහන්සේටත් ඉන්න දුන්නේ නෑ. උන් වහන්සේවත් ඒ තනතුරුවලින් නෙරපන මට්ටමට අනික් පාර්ශ්වවල භික්‍ෂුන් වහන්සේලා වැඩ කළා. සියම් දේශයෙන් උපසම්පදාව ගේන්න ප්‍රධාන වුණේ, උන් වහන්සේ. මුල් කාලයේ උන් වහන්සේට උපසම්පදා වෙන්නවත් දුන්නේ නෑ. අනික් මූලස්ථාන දෙකේ දෙනමක් උපසම්පදා කරලා, පස්සෙයි උපසම්පදාවට මේ හාමුදුරුවන්ට අවස්ථාව දුන්නේ. ඒකෙන් පේන්නේ, සමාජ සාධාරණත්වය වෙනුවෙන් වැඩ කළ උන් වහන්සේට ආත්මාර්ථකාමී භික්‍ෂුන් වහන්සේලා ඉඩ නොදුන් බව.
ඊ ළඟට කුල ප්‍රශ්න මුල් කරගෙන බොහෝ දෙනාට පැවිද්දට ඉඩ දුන්නෙත් නැහැ. ලොකු සමාජ අසාධාරණයන් කළා. ඒකට එරෙහිව උන් වහන්සේලා නැඟී ඉඳලායි, අමරපුර නිකාය, රාමඤ්ඤ නිකාය යන දෙකක් පිහිටුවූයේ. ඒ වාගේ නිකාය පිහිටුවීමට හේතු වුණේම, ආත්මාර්ථකාමී භික්‍ෂුන්ගේ ක්‍රියාකලාපය. මේ වාගේ නිකාය දෙකක් බිහි නොවුණා නම්, මුහුදුබඩ පළාතෙන් බුදුදහම සම්පූර්ණයෙන් ඉවත්ව යනවා. සමාජ අසාධාරණයට ලක් වෙන මිනිසුන්ට දහමේ පිළිසරණක් නෑ නේ. ඒ තත්ත්වය වැළකුණේ, අමරපුර නිකාය ආරම්භ කිරීමත් එක්ක. සමාජ අසාධාරණයට විරුද්ධ අරගලයක් මේ දීර්ඝ ඉතිහාසය පුරා ම කළා.

රාජ්‍ය තනතුරුවලට ලෝභකමකින් සමහර භික්‍ෂුන් වහන්සේලා ක්‍රියා කරන බවක් දකින්නට ලැබෙනවා නේ ද?

රාජ්‍යයේ තනතුරුවලට ලෝභ කළ හැම අවස්ථාවකදීම ශාසනයත් පරිහානියට ගියා. භික්‍ෂුන් වහන්සේලා කොච්චර පිරිහීමට ලක් වුණා ද කියනවා නම්, රජයේ තාන්න මාන්නවලට විතරක් නොවෙයි, මන්ත්‍රීකම් කරන්නත් ඉදිරිපත් වුණා නේ. තාන්න මාන්න, වරදාන වෙනුවෙන්ම කැප වීමෙන් වැඩ කළා නේ. ඒ නිසා භික්‍ෂු ප්‍රතිරූපය විශාල පරිහානියකට පත් කළා.

භික්‍ෂුන් වහන්සේලාට මැතිවරණවලට ඉදිරිපත් නොවන ලෙසටත් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ඉල්ලීමක් කළා නේ ද?

ඒ ගොල්ලෝ මහානායක ස්වාමීන් වහන්සේලාගේ බහටවත් අවනත වෙන්නේ නැහැ කියන්නේ, ආත්මලාභය වෙනුවෙන් නොකරන දෙයක් නෑ කියන එක. ඒ තනතුරුවලින් බැබළීමක් ඇති කර ගන්න ඒ ගොල්ලො හිතනවා. බරපතළම දේ ඒක ඓතිහාසිකව පැවරිච්ච වගකීමක් කියලයි ඒ අය කතා කරන්නේ. ඓතිහාසිකව පැවරිච්ච වගකීම රාජ්‍ය පාලනය නොවෙයි. ආදර්ශසම්පන්න ජීවිතයක් හරහා සමාජය ධාර්මිකත්වයට පත් කරන්න කැපවීම. භික්‍ෂුව තෘෂ්ණාවට ලොල් වෙලා අසාධාරණව වැඩ කරන කොට සමාජය ම යන්නේ ඒ ආදර්ශයට. එතකොට බුද්ධ දේශනාව එකක්, භාවිතය එකක්. භික්‍ෂුන් වහන්සේලා දේශනා කරන දේ භාවිතාවේ නෑ. ඒකයි, ධර්මයට විශාල වශයෙන් සිදු කරන හානිය. ආදර්ශයක් නෑ. මේ සමාජයට මෙච්චර බණ කියන කොට සමාජය වෙනස් නොවන්නේ ඇයි ? ආදර්ශය නැතිව දේශනාවෙන් වෙනස් කරන්න බෑ. තමන් ඉස්සෙල්ලාම ධර්මයේ පිහිටලා, ඊට පස්සෙයි සමාජයට අනුශාසනා කරන්න කියලා බුද්ධ දේශනාවේ තියෙන්නේ. තමන් ධර්මයේ නැතිව අනෙක් අයට දේශනා කරන්න ගියාම අනික් අය ග්‍රහණය කර ගන්නේ නෑ. ‘වැදි බණ කියනවා’ කියලයි, මිනිස්සු කියන්නේ. ඒ නිසා මන්ත්‍රීකම්වලට ඉදිරිපත් වෙලා කළ හානිය නම් මෙතෙකැයි කියලා කියන්න බෑ. මේ තත්ත්වය ආපසු හරවන්න ධර්මකාමී භික්‍ෂුන් වහන්සේලාට විශාල පරිශ්‍රමයක් දරන්න වෙනවා. “සසුනට එරෙහිව අසුනට පොරකෑමක්” කියමින් යනවා නේ.

ඔබ වහන්සේට අධිකරණ සංඝනායක තනතුර ලැබුණා. මේ පිරිහීමෙන් භික්‍ෂු සමාජය ගලවා ගන්න ඔබ වහන්සේගේ අලුත් තනතුර යොදා ගන්නේ කොහොම ද?

එදත් මම අධිකරණ ලේකම් හැටියට මේ වෙනුවෙන් විවිධ කටයුතු කළා. එදා ඉඳලාම දිගටම
උත්සාහ කරන්නේ, භික්‍ෂු නිකාය කතිකාවලට නීතිමය බලය ලබා ගන්න. ‘භික්‍ෂු නිකාය කතිකාවලට නීතිමය බලය ලබා ගැනීමේ පනත’ සම්මත කර ගන්න ඕනෑ. එතකොට ඕනෑම නිකායක කතිකාවලට ඒ පනත යටතේ නීතිමය බලය ලබා ගන්න පුළුවන්.

කතිකාවන් කියන්නේ මොකක් ද?

භික්‍ෂු චර්යාවන් සම්බන්ධ විස්තරය තියෙන්නේ ‘කතිකාවෙ’ නේ.
භික්‍ෂුව නොකළ යුතු දේ තියෙනවා. ඒක නීති පද්ධතියක්. මේ දේවල් අඩංගු වෙන්නේ කතිකාවතේ. පනතකින් නීතිමය බලයක් ලබා නොදී මේවා ක්‍රියාත්මක කරන්න බෑ. යම් කිසි භික්‍ෂුවක් විවාහ ජීවිතයක් ගත කරනවා කියන්න කෝ. දරුවොත් ඉන්නවා. සංඝයා එකතු වෙලා තීරණය කරනවා, “මෙයා භික්‍ෂුවක් නොවෙයි” කියලා. “මෙයා උපැවිදි වෙන්න ඕනෑ” කියලා. නමුත්, මෙයා යන්නේ නෑ. මෙයාව යවන්න නම්, නීතිමය බලයක් තියෙන්න එපැයි. සංඝයාට විනය නීතිය අනුව දඬුවම් කරන්න නම්, නීතිමය බලයක් තියෙන්න ඕනෑ. එහෙම නැතිව දඬුවම් කරන්න බෑ. දඬුවම් කරන්න බැරිව පාලනය කරන්න බැහැ. ඒකට නීති හදන්න සහයෝගය දෙන්නේ නැත්නම්, ශාසනයේ පරිහානියේ වගකීම සම්පූර්ණයෙන්ම රජය භාර ගන්න ඕනෑ.
පරාක්‍රමබාහු කතිකාවත, දඹදෙනි කතිකාවත, පොළොන්නරු කතිකාවත වාගේ දේවලින් පේන්නේ ඒ කාලයේ හිටි රජවරු ශාසනය පිරිහෙන්න නොදී රැකගත් හැටි.
“මා වාගේ ශාසනික හැඟීම් ඇති රජෙක් සිටිය දී, ධර්මානුගත රජෙක් සිටිය දී, ශාසනය විනාශ වීමට ඉඩ දිය නොහැකියි” කියලා පැරැණි
කතිකාවත් ක්‍රියාත්මක කළේ. භික්‍ෂුන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි රජවරුන් ඒ කතිකාවත් ක්‍රියාත්මක කළා. අනවශ්‍ය අය සිවුරු අරවලා ඇරියා. කුණුගොඩවල් අයින් කරලා ශාසන ශෝධනයක් කළා. අද අපිට ඒක කරන්න බෑ.

ශාසනික සුරක්‍ෂිතතාවට අමතරව ඉතිහාසයේ අන් කවරදාටත් වඩා සමාජයට මඟ කියන්නත් වෙලා තියෙනවා නේ ද?

ධර්මධර, විනයධර භික්‍ෂුන් වහන්සේලා තමන්ගේ කාර්යභාරය නොපිරිහෙළා ඉටු කරනවා. ඒ අයට මාධ්‍යවලින් තැනක් ලැබෙන්නේ නෑ. ඇත්ත කියන අයට තැනක් දෙන්නේ නෑ. දැන් සිද්ධ වෙලා තියෙන විනාශය පැහැදිලි කරන අයට රඟපාන අයගෙනුත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් ධර්මය විකෘති කරන අයට මාධ්‍යයේ විශාල ඉඩක් දෙනවා; වරප්‍රසාද ලබා දෙනවා හැම පැත්තෙන්ම ධර්මය විකෘති කරන්න.
සංවාදය:ප්‍රියදර්ශන දයාරත්න

Leave A Reply

Your email address will not be published.

7 − seven =