සීතල, කුසීත අඩවියක් වෙත අප කැඳවන කවියක්..

කවිය කියන්නෙ මොකක් ද? කවි ලියන්නෙ මොකට ද වගේ ප්‍රශ්න කවි ලියන කියවන පිරිස අතරෙ කතා බහ වෙලා කවිය පිළිබඳ හොඳ කතිකාවක් හැදෙන එකට ආසයි.එක එක කවියො ලියන එක එක මෝස්තරේ කවි කියවල, කවිය, කියන්නෙ මොකක් ද , කවි ලියන්නෙ මොකට ද වගේ ප්‍රශ්නත් ඒකට ම ඈඳුණහ ම තව සනීපයි..
නිරාෂ ගුණසේකරගෙ කවි පොත, ලැබෙන්නත් කලින් මාලන් බණ්ඩාර කපුවත්තගෙ “නිමා වූ ඍතුවක ශේෂ පත්‍ර” කියවන්න ලැබුණා. මාලන් “පෙරටු කියුමෙ” ම එයාගෙ අලුත් කවි පොත ගැන කියල තියෙන ටික, ලියල තියෙන විදිහ මාර ලස්සන යි. ඒකත් එක විදිහක කවියක් වගේ. සමහර කවි පොත්වල තියෙනවා වගේ කවියා වැඩියමත් එළියට එන්නෙ නැතුව ඒකෙදි මාලන් අපිටත් බ්ලැන්කට්ටුවක් අන්ඳනවා.

” නිමා වූ ඍතුවක ශේෂ පත්‍ර” මගේ තෙවැනි කාව්‍ය දරුවා ය. අඟුණ මල් නම් කුඩා දූ සිඟිත්ත ඉපිද පස් වසක දිගු නින්ද බිඳැර උදා කළ නව ඵලය යි මේ. ඉඳින් මෙය රිදුම්, පොරබැදුම්, විඳුම් කොට හාත්පස මහා ඝෝෂයට ඉඩ හැර එහි ම නිහඬ හඬක් ව හිඳ , සුළඟෙහි ම දිය ව සුළඟක් ම වනු රිසි වූවකුගේ යත්නයක් සේ සලකනු මැනව.
සුළඟ සිසිලත් උණුසුමත් අපත් ගෙන, කාලාවකාශ තරණයක නිමග්න වෙයි. එවන් අත්‍යන්ත බැඳුමක් කවියත් මාත් අතර වෙයි. ගින්න මා පෙළන දා, කවිය සීතල දිය ඌලක් සේ මා කරා ගලා ආවේ ය. මිතුරනි, කවිය විසින් මා කැටපතක් හමුවට කැඳවනු ලබයි.එහි පතිත සියලු පිළිබිඹු මගේ ආත්මය බව ඔබට අමුතුවෙන් පැවසිය යුතු ද?
අතීතය යැ යි නම් කළ , ඒ සිහිනමය මායා නිමේශයන් මේ අභිනව දරුවාගේ සිරුර ලෙස සලකමි.දීර්ඝ නිද්‍රාවේ ගැලී සිටි මා සොලවා අවදි කළ ඒ ආලෝක වළලු, මම වදන් අසුරේ රැඳෙව්වෙමි. ඔබ ඒවා කවි යැයි කියනු ඇතැයි මම සිතමි. එහෙත් සැබෑව, ඒ සියල්ල මායාවේ නිමේශයන් බව ය.”
මෙතෙන්දි මාලන් කියන්නෙ එයා ව ඇත්ත ජීවිතේ දි දවපු වේදනා ගිනි සිළු කවිය නැමති සීතල දිය ඌලෙන් නිවා ගත්ත කියල. (ගින්න මා පෙළන දා, කවිය සීතල දිය ඌලක් සේ මා කරා ගලා ආවේ ය) ඇත්තට ම මාලන් ඔහොම කිව්වට කවිය සීතල දිය ඌලක් නෙවෙයි. කවිය කියන්නෙ ම වේදනාව තමන් වෙත පමුණුවා ගැනීමක්. කවියා අත්විඳින්නෙ වේදනාවේ ප්‍රමෝදය. ඒ කියන්නෙ මාලන් කරන්නෙ එක වේදනාවක් වෙනුවට තව වේදනාවක් පමුණුව ගන්න එක.හැබැයි කවියෙදි වෙන්න ඒ වේදනාවේ ප්‍රමෝදය සෞන්දර්‍යාත්මක ව තනුක වෙන එක.
ඒත් එක්ක ම මෙතෙන් දි “කවි ලියන්නෙ මොකට ද ?” වගේ ප්‍රශ්නයක් වෙන විදිහකින් ආයෙමත් වර නැගෙනවා කියල හිතෙනවා. හරි විශ්වාසෙන් කවි පොතක් කියල අතට අරන් කියවන්න හදන පොතේ තියෙන්නෙ කවි නෙවෙයි කියල, කවියා ම හරි ම සාහසික විදිහට කියනවා..මේ තියෙන්නෙ කවි නෙවෙයි, මායාවේ නිමේශයන් ලු.
මාලන් බුක් ජැකට් එකේ නිමාවට තෝරන්නෙත් රියෝකන් කියන ජපන් සෙන් කවියා කියන ඒ වගේ අදහසක්මයි.රියෝකන් සෙන් කවියා කියන විදිහට අපට කවි ගැන කතා බහ අරඹන්න පුළුවන් වෙන්නෙ ම එයාගෙ කවි “කවි නොවන බව” පිළිගත්තහමයි.
” කියන්නේ කවුරුන් ද
මගේ කවි කවි යැයි ?
කෙසේවත් මේ කවි
කවි නො වෙයි.
වටහා ගත් විටදි පමණක්
මේ කරුණ ඔබ
අපට හැකි වේවි අරඹන්න
කතා බහ කවි ගැන”
( රියෝකන්-ජපානෙයේ සෙන් යතිවර කවියා)”
මාලන් අපට යෝජනා කරන්නෙත් එයාගේ කවි, කවි කියල නොපිළිගෙන ඒවා මායාමය නිමේශයන් කියල පිළිගන්න කියන එක ද? නැත්නම් කවි කියල දෙයක් නෑ..තියෙන්නෙ පැවැත්මේ මායාමය නිමේශවල භාෂාමය ප්‍රක්ෂේපණයක් කියල ද? මාලන් කියනවා තමන් කවිය විසින් කැටපතක් හමුවට කැඳවනු ලැබූ බව.මාලන් අප ව කැඳවන්නෙ ශුන්‍යතාවට ද..?
කොහොම වුණත් මාලන්ගෙ කවි, ‘කවි ගැන කතා බහකට’ හොඳ කමටහනක් හදා දෙනව.
මාලන්ගෙ අලුත් කවි පොතේ ඒකට පිරිමැහෙන ඕන තරම් ආරම්මණ හම්බ වෙනවා.
පළවෙනි කවිය ම කුඹුක් ඔයබඩ නුග පැළයක් ව සිට නගරයේ සිව් මහල් නිවසක බොන්සායි තුරක් වෙත රූපාන්තරණය වුණහම නො පැවැත්ම විසින් ඇති කරන පීඩනය වෙනත් ආකාරයකින් පුපුරා හැළෙන ආකාරය කියනව.ඒ කවිය මාලන් නම් කරල තියෙන්නෙ ” බොන්සායි නුග තුරක යටි සිත” කියල..
“ඔයබඩ විසල් වදුලක
මව් තුර පාමුල ම
සුරතල් සිනා පෑ
සිඟිති නුග පැළයක්මි”
මේ නුග පැළය මව් තුරෙන් සිඳ නගරයේ සිව් මහල් පායක බොන්සායි තුරක් බවට පත් වූ විට බොන්සායි තුරට අහිමි වීම දැනෙයි. මේ අහිමිව ඇත්තේ ප්‍රකෘතියයි. ඒ පිළිබඳ නොස්ටැල්ජික් සිහින දිගේ මාලන් අපව කැඳවන්නේ අප ජීවත්වන සමාජ සංස්කෘතික ජීවිතය තුළ පැවැත්ම හා නොපැවැත්ම අතර වේදානාකාරී පැල්ම වෙතයි.
“මේ මා අවට
රාමු කළ මුහුණු පමණකි
විසල් ලොවකට ඇරෙන
මහත් දොර කවුළු ය
අගුලු ගෙන ඇති
සිරකරු වුව ද අද මෙහි
මතු යම් දිනෙක
බඳුන පුපුරා වැඩී
විදා අතු පතර ඔයබඩ වෙත
සෙවණැලි පාන පැතුමකි
යටි සිතෙහි”
ඔයබඩ මව් තුර වෙත සෙවණැලි පාන බොන්සායි නුග තුරෙහි යටි සිත පතන පැතුම ප්‍රකෘති පැවැත්ම අත්පත් කර ගැනීම. දෙවැනි කවිය වන මීදුම මැද කවිය ඉවර කරල තියෙන්නෙත් ඒ වගේ කෑල්ලකින්.
” තුරු පතක ගිලිහුම පවා
පිය රැව් නැගෙන පියෙසක
පෙත්තෙන් පෙත්ත ලෙහෙමින්
මලක් පෙති පිපුමකට සැරසෙන
ඒ රස රහසෙහි අසිරි
බසකට පෙරළනු නොහැකි
වැසී යයි මීදුමෙන්
මා කුදු ගත,
මිනිස් ඇසුරින් බෝ දුර
දුමාර අඩවියක් වැනි
ඒ විසල් තනි ලොවට
බසක් නැත්තකු විලස
ඇතුළු වෙමි”
මාලන් ලියන භාෂාවට මං හරි ආස යි.මං දැක්කා ගොඩ දෙනෙක් මාලන්ගෙ කවිය රණවීරයානු කවියෙ හෙවණැල්ලට වැහෙයි ද කියල වගේ බියක් පළ කරල තියෙනවා. පිරිපහදු කර ගත්ත භාෂාවක් මාලන් පාවිච්චි කරද්දි මට දැනෙන්නෙ මං කැමති කවියෙක් වෙච්ච නන්දන වීරසිංහගෙ භාෂාවේ පුසුඹ.ඒත් මාලන්, මාලන්ගෙම කෑල්ලක් මේකෙ ඇතුළෙ හදා ගනියි කියල හිතෙනවා. භාෂාව මේ තරම්ම පිරිපහදු කරන්න පුළුවන් නම් ඒක ඕන විදිහට නමා ගන්නත් එයාට පුළුවන් වෙන්න ඕන. හැබැයි මේ භාෂාව “කවියේ භාෂාව මේ වගේ වෙන්න ඕන” වගේ ඇඟවුමකුත් ඒකෙ තියෙනව ද කියල හිතෙනවා.ඒ භාෂාව අධ්‍යයනාභිලාෂී බවක්, වියත් බවක් එක්ක වැඩවසම් හෙජමොනික බවකුත් හඟවනවා. ඒ නිසා හරි ම ලේසියට මුනිවර ආලෝචනා වගේ දේවලුත් මානව පැවැත්ම පිළිබඳ බුද්ධි විෂයික දාර්ශනිකත්වයන් වගේ දේවලුත් කියන්න ඒ භාෂාව හරියට ම හරියනවා..ඒක එක්තරා විදිහක ප්‍රභූ රසිකත්වයක් අපේක්ෂා කරනව වගේ පෙනෙනව තමා..ඒත් මං ඒකට කැමතියි..කවිය ඇතුළට එනව එක්ක ම ඒ භාෂා රාමුව මඟින් අපව හික්මවනවා. ඒ කවිවල එන චරිතත් ඒ වගේ ම හික්මුණු, සොබා දහමට ම අනුගත චරිත වගේ දැනෙනවා..මාලන් ලියන “සැඳෑව” නම් කවිය.
“සැඳෑ පඬු පැහැ වැකුණු
මිදුල මැද
පත් හළ පීච් තුර
පෙර සේ ම තුටු මුහුණිනි
ඉන් ඉගිලුණු පතක් ගෙන
සෙමෙන් ඔහු තබයි ඈ අත්ලෙහි
තමා උන්මාද ලොවකට ළං කළ
එදවස මුදු අත්ල
දැනිණි විළිකුන් පත සේ
කොරසැඩි බවකි ඒ මත
අත යවා ඔහු බඳ වට
මුදා හැර පත සුළඟට
සිය අත්ල පිරික්සයි ඈ
සැඳෑ හිරු කැලුම්
ඒ මත
සන්සුන් ව හමා යයි දැන්
පීච් අතු ඉපල් අතරින් සුළඟ,
ඔහු උරට බර දී
දිගු සුසුමක් හෙළා ඈ
සැහැල්ලුව සිනා සී
ගේ දෙසට ඇදී යයි
කඩිනමින්..”
මෙහෙම පාරිසරික සංකේතයන්ගෙන් පොළා පනින දාර්ශනිකත්වය මාලන්ගෙ කවිවල අනන්‍යතාවක් වගේ.”ගසක දහම” කියල මාලන් ලියපු කවියෙ, ඒ දාර්ශනිකත්වය ගහේ මුවට නන්වන්නෙ මෙහෙම..
“ඍතුවෙන් ඍතු ව ගත වෙයි
නොනැවතෙයි
මගේ යැ යි කියන මල වුව
මගෙ නොවෙයි,
ඔබ කවුරු දැ යි අසමින්
ඔබ මවෙත හැඩයක්
එක් කරයි
හැඩයෙන් බැහැර හුදෙකලාවක
‘ඔබ’ කියා රුවක් නැති
ශිශිරයක
මේ මොහොත නම්
ඒ මම යි.”
මේ කවි පොතේ මට වැදුණු කවි ගොඩක් තියෙනවා. “තනිව” කියන කවියෙ ලස්සන කෑලි ටිකක් තිබ්බා..ඒ කෑල්ල විතරක් ගත්තත් මාලන් ගෙ කලින් කවි පොතේ අඟුණ මලක් වගේ..ඒ වගේ තැන් ගොඩක් තිබ්බා..
“පුස් පුසුඹ ගෙන
ගෙතුළ තනිකම
තනිව ඇවිදියි”
(තනිව)
“ලිහුණු පන් පැදුරෙහි
සිව් කොන්
යළි වියන
ආත්තම්මා”
(ලිහුණු පන් පැදුර)
“කවුළුවෙන් එන
වසත් සුළඟකි දැන්
අවුළමි සඳුන් ධූපය
කටභඬකි
අඩි තබයි ළඟ ළඟ ම”
(දිගු නින්දකට පසු)
“දිය ඌල් බී රජ වුණ
හිරු ඔද බිඳින නොදැමුණ
වැලි තෙල පළා මතු වුණ
කුරු පතොක් තුරු
කග පත්”
(පතොක්)
“හිමිකම්” කියන කවියත් මරු කවියක්.මට වැදුණු ම කවියක් තමා “කළු දිය පොකුණෙහි” කියන කවිය. ඒක තල කීපයක කියවගන්න වෙන කවියක්. තමාගේම පිළිබිඹුව පොකුණු දියේ දැක ඊට පනින ගැහැනියක් පොකුණේ අඳුර අතරින් මතු වූ මොහොලක් වන් සෙල් මුවා කුලුණකින් සන්තර්පණය වෙන හැටි මාලන් සංකල්පරූප ගත කරනවා..”පිරිත් හඬ, සඳ සහ මහද්වීපයක තනිය”ත් මං ආස වුණු කවියක්.
ඈත මහද්වීපයක විප්‍රවාසීව ඉඳගෙන කවියට මේ තරම් බැඳිල ඉන්න මාලන්ට සුබ පතනවා..හැමෝ ම පොත කියවන්න.
-සුජීව සිරිමෙවන්

 

 

 

Leave A Reply

Your email address will not be published.

three × 3 =