කොළඹ ජාතික, රිජ්වේ ආර්යා ළමා, පානදුර මූලික රෝහල් වල ආසාදිතයන් හමුවේ

කොළඹ ජාතික රෝහලේ සේවිකාවකට සහ සේවකයයන් දෙදෙනකුට, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සාත්තු සේවිකාවකට, පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ හෙද සොයුරියකගේ දියණියක කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය වාර්තා වලින් සනාථ වී ඇතැයි සෞඛ්‍ය අංශ අද (10) ප්‍රකාශ කළේය.

කොළඹ ජාතික රෝහලේ තිදෙනෙකු හමුවීමත් සමඟ ඔවුන් සේවය කළ බව කියන අංක 2, අංක 3 සහ අංක 69 යන වාට්ටුද, ශල්‍යාගාරයක්ද තාවකාලිකව වසා දමා ඇති අතර වාට්ටුවල සහ ශල්‍යාගාරයේ සේවය කරන වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලයද, රෝගීන් පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සාත්තු සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර ඊයේ (09) සිදුකළ පී සී ආර්  පරීක්ෂණයේ දී මේ බව තහවුරු වූ බව කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි පැවසීය.

මෙම සේවිකාව බොරැල්ලේ තාවකාලිකව නවාතැන් ගෙන සිටින අතර පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පැවසේ.

මේ අතර පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ හෙද සොයුරියකගේ දියණියක කොරෝනා ආසාධිත රෝගියෙකු බවට අනාවරණ වී තිබේ. පසුව එම දැඩි සත්කාර ඒකකය ඊයේ (09) රාත්‍රී සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත්බව පානදුර මූලික රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රානි ගොඩකන්ද මහත්මිය පැවසීය.

එහි සේවය කරමින් සිටි වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු පමණ එම දැඩි සත්කාර ඒකකය තුළම ස්වයං නිරෝධායනයට ලක්කළ බව රෝහල් අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

Leave A Reply

Your email address will not be published.

1 × 4 =