“විස්ස ගේන අයටම ඒක පාරාවළල්ලක් වෙනවා”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී
විජේදාස රාජපක්‍ෂ

මේ රජය මඟින් ඔබට ලබා දුන් රාජ්‍ය අමාත්‍ය ධුරය ඔබ ප්‍රතික්‍ෂේප කළේ ඇයි ?

මම පාර්ලිමේන්තු ඇවිත් අවුරුදු දහසයක් වෙනවා. මේ කාලය තුළ මම කැබිනට් ඇමති ධුර හතක් දරා තිබෙනවා. මම ජනාධිපති නීතිඥවරයෙක්. මේ වන විට මම පශ්චාත් උපාධි හතක් ලබාගෙන තිබෙනවා. එයින් තුනක් ආචාර්ය උපාධි. එහෙම තත්ත්වයක ඉන්න කෙනකුට රාජ්‍ය හෝ නියෝජ්‍ය ඇමතිකමක් ගැළපෙන්නේ නැහැ. චන්ද්‍රිකා ජනාධිපතිතුමිය දෙදහස් හතරේ  නවකයෙක් විදියට මම මන්ත්‍රීකමට එන කොට මට කැබිනට් ඇමතිකමක් දුන්නා. එවැනි තනතුරු දැරූ මට මෙතැන දී හෑල්ලුවට ලක් කිරීමක් කළ නිසා මම ඒ රාජ්‍ය අමාත්‍ය ධුරය ප්‍රතික්‍ෂේප කළා. නමුත්, මගේ ළඟ හිටපු මගේ ගෝලයාට, මගේ කනිෂ්ඨයාට අධිකරණ කැබිනට් ඇමති ධුරය දුන්න එක ගැන මම සතුටු වුණා.
ඔබ විසි වැනි සංශෝධනයට අකැමැත්ත ප්‍රකාශ කර ජනාධිපතිවරයාට ලිපියක් යැව්වා නේ ද? ඔබ විසිවැනි සංශෝධනයට අකැමැති ඇයි ?

විසිවැනි සංශෝධනය නීතිය පිළිබඳ අවබෝධයක් නැති, දැනීමක් නැති කෙනෙක් අවිධිමත්ව හදපු එකක්. දහනව වැනි සංශෝධනයෙන් අපි ගොඩක් හොඳ දේවල් හඳුන්වා දුන්නා. එහි අඩුපාඩු හතරක් තිබුණා. ඒ හතර අපට සරල ක්‍රමයකට එක පිටුවක, දෙකක සංශෝධනයකින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු දෙසියවිසිපහේ ම සහයෝගයෙන් සම්මත කර ගන්න පුළුවන්කම තිබෙනවා. එසේ තිබිය දී, මේ රටේ ආර්ථිකය මහා විශාල ලෙස කඩාවැටී, කොවිඞ් වසංගතයෙන් රට වියවුල් වෙලා තිබෙන වෙලාවේ මේ ගැටුම්කාරී අවලාද දේශපාලනයට යන්න වුවමනාවක් නැහැ. එදා මම දහනව වැනි සංශෝධනය ඉදිරිපත් කර කතා කරද්දී, අපට හිටියේ මන්ත්‍රීවරුන් හතළිස්පස් දෙනෙක් පමණයි. නමුත්, පැය දෙකක් තිස්සේ මම ඒ ගැන කරුණු පැහැදිලි කළා. අවසානයේ අපට දෙසියවි සිහතරකගේ සහයෝගය ලැබුණා. සහයෝගය ගන්න බැරි වුණේ, එක් අයකුගෙන් පමණයි. එදා තිබුණේ, ලංකාවේ දුර්වල ම ආණ්ඩුව. මන්ත්‍රීවරුන් හතළිස්එකයි හිටියේ. මෛත්‍රීපාල මහතා හය දෙනෙක් ගෙනාවා. ඒ සමඟ හතළිස්හතයි. එහෙම ආණ්ඩුවක් දහනව වැනි සංශෝධනයට සහයෝගය ගත්තේ, සියලු දෙනා සතුටු කර දෙසිය විසිහතරකගේ කැමැත්ත ඇතිවයි. අප පනතක්  ගෙනෙන විට එය ගෙන ආ යුත්තේ, අපේ විරුද්ධකාරයාට එයට විරුද්ධ වීමට බැරි වන ආකාරයටයි. ඒ බුද්ධිය නැති කෙනෙක් පනත් හදන්න ගියොත්, ඒක සම්මත කර ගන්න බැහැ. මම සයිටම් එකට පනත හැදුවේ අවුරුදු තුනක් විශ්වවිද්‍යාල වසා තිබිය දීයි. ඒ පනත ගෙනෙන විට පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ සියලු දෙනා ඊට විරුද්ධයි. හැබැයි, මම ඒ පනත ඉදිරිපත් කර පැය දෙකක කතාවක් කළා ම සියලු දෙනා ඊට එකඟ වුණා. කවුරුවත් ඊට විරුද්ධ වුණේ නැහැ. ව්‍යවස්ථාදායකයට සිටිය යුත්තේ, ව්‍යවස්ථා හදන්න පුළුවන් අයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදන්න කමිටු දැමිය යුතු නැහැ. ව්‍යවස්ථා හදන්න බැරි මිනිස්සු පාර්ලිමේන්තුවට ගෙනැවිත් වැඩක් නැහැ. ජනතාව ඡන්දය දෙන්නේ රටේ නීති සෑදීම සඳහායි. අපට ඒ මූලික දේ කර ගන්න බැරි නම්, අපි පාර්ලිමේන්තුවේ සිටිය යුතු නැහැ. ඒ අනුව මේ විසිවැනි සංශෝධනය මහා භයානකයි. මේක ගේන අයට ම මෙය පාරාවළල්ලක් වෙයි කියා මා පැහැදිලිව කිව්වේ ඒ නිසයි.

 විසිවැනි සංශෝධනය භයානක ඇයි කියා පැහැදිලි කළොත්

එහි භයානකකමට එක උදාහරණයක් කියන්නම්. ජේ. ආර්. හැත්තෑඅටේ ව්‍යවස්ථාව ගෙනැවිත් විධායක ජනාධිපති ධුරය දරන කාලයේ ඒක එපා කියා මිනිස්සු ලොකුවට කෑ ගැහුවේ නැහැ. විධායක ජනාධිපති ක්‍රමය හොඳ නැති බවට ජනමතයක් තිබුණා. එච්චරයි. හැබැයි, ප්‍රේමදාස මහත්තයා මේ විධායක ජනාධිපති ධුරය ගත්තට පස්සේ රටට ජනාධිපතිකම එපා වුණා. විධායක ජනාධිපති ක්‍රමය නොතිබුණා නම්, සමහර විට ලලිත් ඇතුලත්මුදලි ගාමිණී දිසානායක වැනි අය අදත් ජීවතුන් අතර ඉන්නවා වෙන්න පුළුවන්. අන්න ඒකයි, භයානක.

 

මෙහි භයානකකම තීන්දු වන්නේ එය දරන පුද්ගලයා මත ද?

ඔව්. ඒ තනතුර ලැබෙන කෙනාට එය ඔරොත්තු දෙන්නත් ඕනෑ. 

ඔබ මේ ආණ්ඩුව පත් කරන්න දරදිය ඇද්දා. බොහෝ වෙහෙස මහන්සි වුණා නේ ද?

දරදිය ඇද්දා විතරක් නොවෙයි, මේ ආණ්ඩුව බලයට පත්කරන්න විශාල දායකත්වයක් දුන්නා. 

මම කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂ ඡන්ද ලක්‍ෂ ගණනක් පොහොට්ටුවට හැරෙව්වා. කොළඹ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ ආසන සංවිධායකයෝ දහසයක් හිටියා. සංවිධායකකමක් නැතිව පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලුවේ මම විතරයි. ඒ වුණාට ඒ ඔක්කොට ම වැඩියෙන් ජනතාව ඡන්දය දුන්නේ මටයි.
දහනව වැනි සංශෝධනයේ අඩුපාඩු මොනවා ද?

 

දහනවයේ අඩුපාඩුකම් කීපයක් තිබෙනවා කියලා මම කිව්වා, මේවා
හැංගිහොරා කියන දේවල් නොවේ. මම එය පැහැදිලිව කියන්නම්. ඉන් එකක් වන්නේ, එදා ව්‍යවස්ථාදායක සභාව සාර්ථක වුණේ නැහැ. එය දේශපාලනීයකරණය වුණා. එයට විකල්පයක් සෙවිය යුතුයි. දෙවැන්න ජනාධිපතිවරයාට ඇමතිකම් දරන්න බෑ කියන එක. පුළුවන් කියා සංශෝධනය විය යුතුයි. තෙවැන්න ජනාධිපතිවරයා ඇමතිවරුන් ලෙස පත් කළ යුත්තේ, අගමැතිවරයා විසින් නම් කරන ලද අය පමණයි. නමුත්, එතැන දී විෂයයන් තින්දු කරනුයේ, ජනාධිපතිවරයායි. මෙහි දී අපි කිව්වේ, ඇමතිවරු තෝරා ගන්න බලයත් අගමැතිවරයාගෙන් ඉවත්කර ජනාධිපතිවරයාට දෙන්නම් කියලයි. ගිය ආණ්ඩුව කාලයේ එතැන ගැටුමක් ඇතිවීම සාධාරණයි. මොක ද? එතැන හිටියේ වෛරක්කාර පක්‍ෂ දෙකක වෛරක්කාර නායකයෝ දෙන්නෙක් වීමයි. මේ ආණ්ඩුවේ එක කුස උපන් සහෝදරයාත් සමඟ එවැනි ප්‍රශ්නයක් ඇති වෙන්න බැහැ. හැබැයි, ඒ ක්‍රමවේදයට අපි ඒක හදලා දෙන්නම් කීවා. හතරවැන්න කොමිෂන් සභාවල කොමසාරිස්වරුන්ගේ වගකීම් හා ඔවුන් ඉවත් කිරීමේ ක්‍රමවේදයයි. දහනවයේ ආඩුපාඩු ලෙස ඇත්තේ මේ හතර පමණයි. එක පිටුවකින් මේ සියල්ල සංශෝධනය කළ හැකියි.

දහනවය අහෝසි කර ගෙනා විසිවැනි සංශෝධනය මඟින් ජනාධිපතිවරයාගේ බලතල වැඩි කරනවා කියා පසුගිය මැතිවරණයේ දී ජනතාවට කිව්වා ද?

කවදාවත් කිසි කෙනෙක් එහෙම කිව්වේ නැහැ. එදා ඉදිරිපත් කළ 

‘සෞභාග්‍යයේ දැක්මෙහි’ දහනවය අහෝසි කරනවා කියාවත්, අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙනවා කියාවත් සඳහන් කර නැහැ.

දහනව වන සංශෝධනය සම්මත වූ සියල්ලන්ගේ ම එකඟතාවෙන්. අද ඊට විරුද්ධ වන්නේත් ඒ අය ම නේ ද?

 

ඔව්. ඒ අයමයි. අපි කියන්නේ, දහනවයේ අඩුපාඩු හදාගමු. එච්චරයි. අවුරුදු තිහක කොල්ලෙක් ජනාධිපති කරන්න කියන මන්ද බුද්ධිකයෙක් මේ රටේ ඉන්නවා ද? එහෙනම්, ඒක තිහට අඩු කරන්නේ මොකට ද? හරි නම්, මේ වයස අවුරුදු හතළිස්පහක්වත් කළ යුතුයි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ සේවා කාලය හැටපහයි. හැටපහෙන් පස්සේ දේශපාලනය කරන්න කියලා ව්‍යවස්ථාවට දමන්න ඕනෑ. ජනාධිපතිලාට, අගමැතිලාට විශ්‍රාම ගන්න කියලා, නැති නම්, මැරෙනකම් විශ්‍රාම සුවය ගන්න වෙලාවක් එන්නේ නැහැ. දේශපාලනයට උපරිම වයසක් දමා නැත්තේ. අත්දැකීම් වැඩි ඒ කාලයට නිසයි. නමුත්, දේශපාලනයට අවම වයසක් අවශ්‍යයි. අත්දැකීම්, පළපුරුද්ද නැති මිනිහෙක් රටක ජනාධිපති වෙනවා කියන්නේ, මුළු රටේ ම ජනතාවගේ ජීවිත අවදානමට දැමීමයි. 

විස්ස හැදුවේ කවු ද කියා ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දන්නෙත් නැහැ. අප දන්නා විදියට අගමැතිවරයා දන්නෙත් නැහැ. මේ සහයෝගය ඉල්ලන්නේ, එවැනි සංශෝධනයකටයි.

විසිවැනි සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යවීමට ඉඩ තිබෙනවා ද?

ඉඩ තිබෙනවා. විශේෂයෙන් මුදල් පනත් පිළිබඳවයි. පාර්ලිමේන්තුවේ මූලික වගකීම නීති හැදීම හා මූල්‍ය පාලනයයි. එය ජනතා පරමාධිපත්‍යයේ කොටසක්. ශ්‍රේෂ්ඨාධිකරණය කුමන මතයකට ඒ දැයි මා දන්නේ නැහැ. එසේ විය යුතු බවට සාධාරණ තර්ක ඉදිරිපත් වුණා මෙහි මූල්‍ය විගණනයට අත ගසා තිබෙනවා. විගණනය අයත් මූල්‍ය පාලනයටයි. විසිවැනි සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ මූල්‍ය කටයුතු විගණනය කළ නොහැකියි. ඒ දෙන මුදල් කොහේ ගියා ද කියා සොයන්න විගණකාධිපතිට වත් පාර්ලිමේන්තුවටත් මෙහි දී බලයක් නැහැ. එසේ රාජ්‍ය සමාගම් එකසිය ගණනක විගණනය ඉවත්කර තිබෙනවා. දහනව වැනි සංශෝධනයෙන් ඇතුළත් කළ ඒවා විස්සෙන් ඉවත් කර තිබෙනවා. රට දෙකට කඩන්න දෙන්නේ නැහැ කියා දෙන දිවුරුමත් විසිවැනි සංශෝධනයෙන් ඉවත් කර තිබෙනවා. මේවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ගැටෙනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා වන සාධාරණ තීන්දුවක් අපි අධිකරණයෙන් බලාපෙරොත්තු වෙනවා●

-සංවාදය: පද්මා වේරගොඩආරච්චි

Leave A Reply

Your email address will not be published.

11 + 1 =