“හීනෙ යථාර්තයක් වෙනවා දැකල මැරිලා යන එක කොයිවගේ ඇද්ද”

සිහින දකින්නන් උදෙසා…
‘කවුරුදෝ කවුරුදෝ දැන් ලොක්කෝ. අපිමයි අපිමයි දැන් ලොක්කෝ’. ටයි මහත්තයාගේ ‘හඳයා’ චිත්‍රපටයේ සිංදුවක්. අපේ ළමා කාලය හැඩකරපු සිංදුවක්. හීනයක් වගේ දැනුත් ඇහෙන ඒ සිංදුවේ පොඩි අභිමානයක් ගැවිලා තිබුණා. මට හිතෙන විදියට අපේ රටේ ලොක්කෝ වෙන කවුරුවත් නෙවෙයි අපිමයි කියල යන්තමින් තේරුම් ගත්තේ අපි ඒ කාලේ. තමන්ගේ දෛවය තමන්මයි වගේ හැඟීමක් වෙන්න ඇති ඒක. පස්සේ තමයි තේරුණේ අපි පරම්පරා ගණනකට පිටරැටියන්ට ණයයි කියල. අපි අපිටවත් අයිති නැහැ කියල. අපි සහමුළින් පරායත්තයි කියල.
”අපේ ළමා කාලයේ අපි හිතුවේ බ්‍රිතාන්‍ය කිරීටය තව වසර දාහක් යනකල් වෙනස් වෙන එකක් නැහැ කියල. හැබැයි වැඩි කාලයක් නොගොහින් අපිට තේරුණා එයාලට අපිව දාල යන්න වෙනවා කියල. ඉතිං අපේ බද්‍ර යව්වනයේ එක දවසක ඉංගිරිසින් අපිව අතහැරලා ගියාම අපිට තේරුණේ ලෝකේ කඩාන වැටුනා වගේ. අපි හුදකලා වුණා වගේ. ‘දැන් මොකද අපි කරන්නේ?’ මේක තමයි අපි අපෙන් අහපු පළවෙනි ප්‍රශ්නය. එතනින් පස්සේ අපි කිහිප දෙනෙක් තීරණය කරනවා අනුන් දිහා බලා හිටිය ඇති දැන් අපි අපේ වීරියෙන් නැගිටින්න ඕනි කියල. අනුන්ට අතපාන එක නවත්වන්න ඕනි කියල. එතැනින් තමයි පටන් ගන්නේ නූතන සිංගප්පුරුව”.
ඉතිං මම කැමතියි ටයි මාමගේ ‘අපි ලොක්කෝ’ සිංදුව එක්ක සිංගප්පුරුවේ අසහාය අගමැති කියල කියන ලී ක්වාන් යූ ගේ හාවඩ් දේශනයේ ඉහත සඳහන් කුඩා කොටස එකට තියන්න. ඒ තමන්ගේ සිහිනය තමන් මැරෙන්න කලින් දැකපු මිනිහෙක්ගේ ප්‍රකාශයක් විදියට. ලෝකේ හැමෝම වගේ ඒ තමන් දුටුව සිහිනය වෙත ගිය ශරීරයෙන් පොඩි එහෙත් සාර්ථක – නිර්භීත – ශක්තිමත් මිනිහට ඇහුම්කන් දෙනවා. ආරාධනා කරනවා. පිළිගන්නවා. නමුත් මම දන්නවා අපේ අය ගොඩක් ඔහුව සැක කරනවා කියල. ඒකටත් හේතු තියනවා.

කළින් පරම්පරාව එක්ස්පෙරිමන්ට් කළා තරුණ කැරළි එක්ක

අපිත් හැදුවේ සිංගප්පුරුව වෙන්න. අපි තරුණ කාලයට පය තිබ්බේ ජේ. ආර්. උන්නැහැගේ සිංගප්පුරු සිහිනය එක්ක. ඒත් අපි මුළු තරුණ කාලය ගතකරේ ඒ සිහිනය සිහිනයක් ම වෙනවා දකින්න. කළු ජූලිය, 88-89 කලබල, උතුරේ යුද්ධය මේ සියල්ල විසින් ඒ සිහිනය කුඩු පට්ටම් කරලා දැම්මා. උතුරේ ප්‍රශ්නේ අපි කැමති විදියට හරි නැති විදියට හරි විසඳෙන කොට අපේ තරුණ විය බිඳවැටෙන සිහිනයක් ඇතුලෙම මිය යන්නේ කෙසේද කියන එක අත් විඳින්න ගතවෙලා ඉවරයි.
එක එක අය එක එක විදියට ජේ. ආර්. ගේ සිහිනයේ පැටලෙද්දී අපිට කළින් පරම්පරාව එක්ස්පෙරිමන්ට් කළා තරුණ කැරළි එක්ක. වෙන ලෝකයක් ගොඩ නගන්න. බර්ලින් තාප්පේ වැටෙනවත් එක්ක ඒවත් සුණු විසුනු වෙනවා. අපේ තරුණ විය කෙළවර වෙනකොට අපි වෙනත් විදියේ එක්ස්පෙරිමන්ට් එකක් කළා. ඒ යහපාලනය. ඒකත් ෆේල්. අපි තවත් කාංසාව පැත්තට ගමන් කරමින් ඉන්නවා වගේ මට වෙලාවකට හිතෙනවා. ආයෙත් සිංගප්පුරු සිහිනය ක්ෂිතිජයේ තියෙනකොට තමයි කෝවිඩ් ඇවිල්ල සියල්ල වසා ගන්නේ.

සෞඛ්‍ය ඇමතිනියගෙ වචන වළ ඓතිහාසික අසරණ කමක්

ඒකත් එක පාරක් නෙවෙයි. රැළි පිට රැළි. ඒ අස්සේ චීනේ ලොක්කා එනවා. තව ලොක්කොත් එනවා. තව තව ලොක්කොත් එනවා. වෙච්ච එකම දේ වෛරස් සාන්ද්‍රණය වැඩි වෙච්ච් එක විතරයි.
දැන් අපි ටයි මහත්තයා කියන ‘ලොක්කෝ’ නෙවෙයි. සොක්කෝ. අපි බලාන ඉන්නවා ලොක්කෝ එයාලට රිසි සේ යන එන හැටි. අනිවා එයාලට අපි වගේ කොරන්ටයින් වෙන්න ඕනිත් නැතුව ඇති. රාජ්‍ය තාන්ත්‍රික විශේෂ වරප්‍රසාදත් ඇති. මම ඒ ගැන විවාද කරන්නේ නැහැ. නමුත් ඕනි උනොත් අපිට කියන්න පුළුවන් වෙයිද ඔයාලත් පොඩ්ඩක් ඉඳල එන්න කියල?
සෞඛ්‍ය ඇමතිනිය කියනවා එයාල චීනයේ ‘ලොකු අය’ නිසා අපිට මුකුත් කරන්න බැහැ කියල. ඒ ප්‍රකාශේ ගැඹුරින් ගත්තම මට පේන්නේ අසරණ කමක්. ඓතිහාසික අසරණ කමක්. වෙන කරන්න දෙයක් නැති කමක්. හැබැයි ඇමෙරිකන් කාරය එනකොට නම් මීට වඩා කතා කළා වගේ තමයි මට මතක.

දැවැන්ත චීනය ඉස්සරහා සිංගප්පුරුව කියන්නේ පොඩි වී ඇටයක්

කොහොම උනත් මාවෝ ට පස්සේ චීනයේ ලොකුම හැරවුම සනිටුහන් කළ ඩෙන් ෂියාවෝ පෙන් දවසක් මුල්ම වතාවට ලී ක්වාන් යූ හම්බ උනාම අහලා තියෙන්නේ ‘ලී මට කියන්න දැන් මම මොකද කරන්න ඕනි’ (Lee, tell me what to do) කියල. එතකොට රුසියාව ඇද වැටිලා. ලෝක බල තුළනය වෙනස් වෙලා. ඒ කියන්නේ ඒ වගේ තීරණාත්මක වෙලාවක ඩෙන් ෂියාවෝ පෙන්ට අහන්න තරම් දෙයක් ලී ක්වාන් යූ ළඟ තිබිල තියනවා. දැවැන්ත චීනය ඉස්සරහා සිංගප්පුරුව කියන්නේ පොඩි වී ඇටයක්. හැබැයි ඒ ඉස්සරහා ලී ක්වාන් යූ කියන්නේ පට්ට අසරණයෙක් නෙවෙයි. යෝධයෙක් වෙච්ච චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධානියාටත් යමක් කියන්න ඉතුරු කරගෙන තිබ්බ මනුස්සයෙක්.
ලී මැරුණේ සිංගප්පුරුව විතරක් දැකලා නෙවෙයි. එයා විසි එක් වන සියවසේ චීනයත් දැක්කා. ආසියාව නැගිටිනවත් දැක්කා. මේ ඔක්කොම දැකල ලිබරල් කේන්ද්‍රයේ ලන්ඩන් වල උසස් අධ්‍යාපනය හදාරපු ලී ට ඇත්තටම මොනවා හිතුනද මම දන්නේ නැහැ. හැබැයි ලී කියන දේ අහල මට මෙහෙම හිතෙනවා.
ලොකුවට ගේම ඉල්ලන්න බැරි උනත් අඩුම තරමින් අපි එදා ඒ ලී හිටිය තත්වේ හරි හිටිය නම්…
හීනයක් දැකල ඒ හීනෙ යථාර්තයක් වෙනවා දැකල මැරිලා යන එක කොයිවගේ ඇද්ද…ඒ වෙනුවෙන් මේ සටහන.

-මහේෂ් හපුගොඩ (fb)

Leave A Reply

Your email address will not be published.

13 − five =