ආයුබොවන්ඩ ආචාරිය විජේදාස,

තමුන්නැහැට හුර්දය සාක්කියක් තියෙන බව මේ තරන් පමා වෙලා හරි රටට පොරකාස කොරපු එක ගැන පළමුකොටම ඉස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මුන්නැහැගෙ හුර්දය සාක්කිය අතුරුදහන්වෙලා තිබුණු කාලේ කොරපු කියපු දේවල්වලින් යුක්තිය, සාධාරණය අහිමි වුණු දහස් ගණන් හුදී ජනතාවගෙනුත් සමාව ඉල්ලා හිටිය නං තමා පංකාදු ආයිබොවන්ඩ. ගෝටගෙ සව්බාග්ගියේ දැක්මත් එක්ක රටයි, ජාතියයි ආරක්සා කොරගෙන චූලෝදරලා – මහෝදරලා කාට කාටත් බයක් හැකක් නැතුව නිදහසේ හුස්ම ගන්ඩ ඇහැකි සිරිලංකාවක් බිහි කොරන්ඩ තුනෙන් දෙකක් ඉල්ලපු ඇත්තො අතර ඔහෙත් ඉදිරියෙන්ම හිටිය නේ ද? ඒක  හන්දා ඊයෙ පෙරේදා උතුමාණන්ට ලියාපු ලියුං කඩදාසියේ ඒ ගැනත් ඩිංගිත්තක් හරි සිහිපත් කොළා නං ලියමනේ අගය තවත් වැඩි වෙනවා.

ලියුමෙන් විතරක් සෑහීමකට පත් නොවී මාද්දිය හමුවක් පවත්තන්ඩ පවා හිත එඩිතර කොරගත්තේ ජනතාවගේ මූලික අයිතිවාසිකනුයි, මවුබිමේ සුවාදීනත්තෙයි ගැන හීනෙනුත් දොඩවන බොරු දේසපෙරේමින්ට කනේ පාරක් ගහන්ඩත් එක්ක වෙන්ඩැති මයෙ හිතේ. 19යේ පිහිටෙන් බලයට ආපු ගෝටා 20න් හදන්ඩ යන්නේ අංගවිකල වියවස්තාවක් කියලත් නීති සාස්තරේ ගැන මුන්නැහැගෙ තියෙන හසළ දැනීම අනුව පොරකාස කොරල තිබුණා. ඊළඟට බලේට එන ජනපතියෙකුට මේ කඩුවම පාවිච්චි කොරලා හිටපු ජනපතිගේ ගෙල සිඳින්න වුණත් ඇහැකියි කියන අනතුරු ඇඟවීම අහලා අපේ සර්වාංගෙ හීතල වෙලා ගියා ආයිබොවන්ඩ.
දියවන්නා මන්දිරේ හොඳ හොඳ කස්තිරන් අල්ලලා රටේ, ලෝකෙ ලොකු නමක් දිනා සිටින විජේදාස ආචාරියතුමා මේ වංගියෙ නටන්ඩ හදන නාඩගම අහවල් එකක් ද කියලා දැන් කවුරු කවුරුත් තුස්නිංබූත වෙලා සිටින වගත් දන්වා හිටින්ඩ කැමතියි. හැටනම ලක්සයේ ජනවරම ලොක්කට අරං දෙන්ඩ දන්න සෙල්ලං ඔක්කොම දාපු තමුන්නැහැට කැබිනෙට්ටු පුටුවක් නොදුන්න එක නං අන්තිම බාල වැඩක්ය කියලා විජේදාස නාමය අහන්න අකමැති උදවිය පවා කියනවා. ඔහේගෙ නමට ඈඳිල තියෙන රාජපක්ස කෑල්ල පරහට හිටිය හන්දා එවැනි අලකලංචියක් වුණා ද කියලත් ටිකක් හොයා බලන්ඩ වටිනව කියලයි ඒ තරං දිග පළලක් නැති අපේ දැනුම අවබෝදය අනුව නං දෙන්ඩ තියෙන උපදේසෙ.
අඩුම ගානෙ ගරු විජේදාස මන්තිරිතුමාගෙ දැනඋගත්කමට කොරන සැලකිල්ලක් හැටියටවත් අලුත් වියවස්තාවක් හදන්ඩ පත් කොරපු වියත් මණ්ඩලේට ඔහේගෙ නමත් ඇතුළත් කොරන්ඩ තිබුණා නේද ආචාරියතුමෝ. හාහාපුරා කියල පිරිනමපු නියෝජ්ජ ඇමති තානාන්තරේටත් පයින් ගහපු යෝදයාට තවත් එකක් දෙන්නෙ මක්කටෙයි කියලා මහරජ්ජුරුවන්ට අර්තයෙන්, දර්මයෙන් අවවාද, අනුසාසනා කොරන රාජකීය පඬිවරු පුරස්න කොරන්ඩ ඇති නේද බාග වෙලාවට. වැඩ කිඩ දන්න විජේදාස නැති රාජ සබාවෙ වැඩ බැරි දාසලා පුරෝහිතකං කොරන රටක එහෙම විගඩං සිද්ද වෙන එක අරුමයක් නෙමේනෙ ආයිබොවන්ඩ.
මුන්නැහැගෙ පයිට් එක පුල් සීරියල් වෙලා තියෙන මේ වෙලාවෙ නරක ද මැතිතුමෝ, පරණ පුරුදු විදිහට මොකක් හරි ඩීල් එකක් දාගෙන ගොඩින්ම ෂේප් වෙන එක. එහෙම නොවුණොත් අර පාළු වෙලක් මැද තනිවුණා ය කියන ලෙව්කේ මැතිඳු වගේ තමුන්නැහැත් දියවන්නා විමානෙ නන්නත්තාර වෙයි ද කියලයි අපිට තියෙන එකම බය●
– විශ්වමිත්‍ර 

Leave A Reply

Your email address will not be published.

four × two =