අශිෂ්ට වාර්තාකරණයට ‘ඩාබිඳු’ සාමුහිකයේ විරෝධය !

දෙවන වටයේ කොවිඞ් – 19 ව්‍යාප්තිය පිළිබඳව සොයාගැනීමෙන් පසු මෙරට මාධ්‍ය එම ආසාදිත කාන්තාවට එල්ල කරන අපවාද, අවලාද, අපහාසයත් පිළිබඳව ‘ඩාබිඳු සාමුහිකයේ’ වැඩසටහන් සම්බන්ධිකාරිකා චමිලා තුෂාරි සිය විරෝධය දක්වයි. මෙම වාර්තාකරණය හේතුවෙන් ආයතනයේ සිටින අනෙකුත් සේවක සේවිකාවන් ඉදිරිපත් වීමට අකැමැත්තක් දක්වන බව ද ඇය පවසන්නී ය.
මෙරටට විදේශ විනිමය ගෙන එන දෙවැනි විශාලතම ක්ෂේත්‍රය වන ඇඟලු‍ම් නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ නිරත වන සේවිකාවන්ගේ ආත්මගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම අශිෂ්ට වාර්තාකරණයෙන් ඉවත් වන්නැයි ඇය වැඩි දුරටත් ඉල්ලා සිටියි.
තවමත් නිවැරැදිව මූලාශ්‍ර සොයාගෙන නොමැති තත්ත්වයක් යටතේ මෙලෙස කාන්තාවන්ට පරිභවයට ලක් කිරීම තරයේම හෙළාදකින බව ඇය පවසන්නී ය. මෙම ව්‍යාප්තිය දැනට සොයාගෙන ඇති කර්මාන්ත ශාලාවට අයත් තවත් කර්මාන්ත ශාලා පහක් ගම්පහ දිස්ත්‍රික්කය තුළ පවතී. ඒ කටුනායක, වැලිසර, මිනුවන්ගොඩ, සිදුව හා වැලිසර ප්‍රදේශ තුළයි. මෙම කර්මාන්ත ශාලා තුළ කොන්ත්‍රාත් පදනමින් බඳවා ගත් පිරිස් සිටින අතර ඒ අය මෙම කර්මාන්ත ශාලා පහේම විටින් විට සේවය කළ යුතුව ඇති බවයි ඇය පවසන්නේ. ඒ අතර මෙම මාධ්‍ය ප්‍රචාර හේතුවෙන් පෞද්ගලික ස්ථානවල නේවාසිකව සිටින සේවක, සේවිකාවන්ට ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් ඇති වී තිබෙන බව ද සම්බන්ධිකාරිකා චමිලා තුෂාරි වැඩි දුරටත් පවසා සිටින්නී ය.

Leave A Reply

Your email address will not be published.

4 × 2 =