කොවිඞ් මර්දන කමිටුව රැස්වුණේ මාස 2 කින්

කොවිඞ් 19 වසංගතය ආරම්භ වීමත් සමඟ එය මර්දනය කිරීමට පිහිටු වූ කොවිඞ් 19 මර්දන ජනාධිපති කාර්යසාධක බළකාය දිවුලපිටියේ සිදුවීම වාර්තා වන තුරු මාස දෙකක් තිස්සේ රැස්ව නොමැති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මිනුවන්ගොඩ, දිවුලපිටිය ඇඟලුම් කම්හල් ආශ්‍රිතව රෝගය පැතිර තිබෙන බව වාර්තා වීමත් සමඟ පසුගිය
සඳුදා මෙම කමිටුව රැස්ව තිබේ.
කොවිඞ් වසංගත තත්ත්වය අවසන්ව ජනජීවිතය යථා තත්ත්වයට පත් වීමෙන් පසුව මෙම කොවිඞ් මර්දන කාර්යසාධක බළකාය රැස්ව ඇත්තේ, එක් අවස්ථාවක දී පමණක් බව විශේෂඥ වෛද්‍යවරයෙක් සඳහන් කළේ ය.
විශේෂයෙන්ම අගෝස්තු මස 05 වැනිදා මහ මැතිවරණයෙන් පසුව නව ආණ්ඩුවක් පිහිටු වූ අතර, ඉන් පසුව සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කරනු ලැබී ය.
ඉන් පසුව නැවත මිනුවන්ගොඩින් කොවිඞ් රෝගියකු වාර්තා වන තෙක්ම කොරෝනා මර්දන කාර්යසාධක බළකාය රැස් වී නොමැත. සියලු දෙනාම රට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවට සිතා කටයුතු කළ අතර, ඒ අනුව මෙම කාර්යසාධක බළකාය ද රැස් වී නොමැත.
මහජනතාව ද කොරෝනා බිය පහ කර සාමාන්‍ය පරිදි හැසිරී ඇති බවත්, වෛද්‍යවරුන් පවා එතැනට ගියේ, කොරෝනා ගැන නිරන්තර දැනුම්වත් වීම්වලින් තොර වීම නිසාවෙන් බවත් විශේෂඥ වෛද්‍යවරයෙක් සඳහන් කළේ ය. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව අවට උණ රෝගයක් පැවැතිය ද, වෛද්‍යවරුන් පවා සාමාන්‍ය වෛරස් උණක් ලෙස සලකා ඖෂධ නියම කළා මිස කොරෝනා ගැන සැලැකිල්ලක් නොදැක් වූ බව ද ඔහු සඳහන් කළේ ය.

කොවිඞ් 19 කාර්යසාධක බළකාය රැස්ව නැවත කොවිඞ් ආගමනයක් පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමට කටයුතු කළේ නම්, මෙය මෙතරම් ව්‍යාප්ත නොවනු ඇති බව ද එම වෛද්‍යවරයා වැඩි දුරටත් කීවේ ය.
මේ පිළිබඳව විමසීමට වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සහ යුද හමුදාපති, ශවේන්ද්‍ර සිල්වා දුරකථන මඟින් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.

Leave A Reply

Your email address will not be published.

18 + 6 =