එක ම තානයක රැඳුණු කවි කළඹක්..

“නුරා පිරුණු සිලුවටයක” නිරාෂ ගුණසේකරගේ අලුත් ම කවි පොත
ඈත මහද්වීපයක විප්‍රවාසී ව හිඳිමින් කවි ලියන නිරාෂ ගුණසේකරගේ “හෙනා ලියවැලක” එතී වෙනස් ම වින්දනාභ්‍යාසයක් අත් කර ගත් අප ඔහු ලියූ අලුත් කවක් විඳින්නට මග බලා සිටියෙමු. මුහුණු පොත මත අලුත් කවියක් කිසිවිටෙක පල නොකළ නිරාෂ දැන් අපට “නුරා පිරුණු සිලුවටයක” එතෙන්නට අවකාශ සලසා දී තිබේ.
නිරාෂගේ අලුත් ම කවි පොත වන “නුරා පිරුණු සිලුවටයක” එක ම තානයක ඇති කවි කළඹකින් යුතු යැයි සිතේ.පැවැත්මත් නොපැවැත්මත් අතර පටු අන්තරයක විටෙක සිනිඳුවටත් විටෙක ගොරෝසුවටත් ඒ තානය නිරාෂගේ කවි මතින් නැඟේ. නිරාෂ ගෙහසිත දිවිය තුළ පැවැත්ම හා නොපැවැත්ම අතර ආරම්මණ සෞන්දර්‍යාත්මක ප්‍රපංචයන් බවට පත් කරයි.කුටුම්බය පිළිබඳ හෙජමොනික අවකාශය තුළ දියව යන ස්ත්‍රීත්වය දෙස නිරාෂගේ අවධානය යොමු වෙයි. ඇයට ඇයත් අපට ඇයත් මගහැරී ගිය නිමේශය සෞන්දර්‍යාත්මක ඉමක සලකුණු කරන්නට නිරාෂ මැදිහත් වෙයි.
ඇගේ ම මොහොතක්.

උස් කඳු මුදුන් සිරසේ
වලා යහනට පාතින්
දිරූ දැව බංකුව මතුයෙහි
ඈ වාඩිගෙන හිඳී
කාලෙකින් නොලද
ඇගේ ම මොහොතක නතරව..
කාලය පවා නොගලන
ඒ අනත් අවකාශයෙහි
නොසැලෙනා ඇසිපියෙන්
නතුකර ගන්නවා වැනි ඈ
පාත පැතිරුණු
මුළු මහත් මිටියාවත ම
අත් පසුරින්..
කඳු කපොලු අතරින් රිංගා
ඈ කෙහෙරැලි ද අවුල් කර දා
බිම් මත තණ ඇතිරි මත
සුළඟ රඟනා රැඟුමකි
පළමු වර ඈ දුටු මෙන්..
නොයා යුතුය ඒ අසලට
විසුණු නොකොට
ඒ සිහිනමය සමාධිය
ගිලී කිමිදෙන්න ඉඩ හර ඈට
ඉඳහිට බිඳෙන
මූකලන් කුරුලු ස්වරයක..
තනිකර දැමිය යුතුය ඇ
ඒ සැඳෑ රන්වනෙහි..
කැලෑ තණ මල් නෙළා
දරුවන් තැනූ කිරුළෙහි
සිර නොකළ යුතුය ඈ
අදවත්..
නිරාෂ “ඇගේ මොහොත” පාරිසරික රූපක සරණියක රඳවා කවිය අවසානයෙහි කැලෑ තණ මල් නෙළා, දරුවන් තැනූ කිරුළෙහි ඈ සිර නොකළ යුතු බව පවසමින් කවියාගේ ඉමෙහි ම නතර වෙයි.
නිරාෂගේ කවිය ක්ෂුද්‍ර ආඛ්‍යානමය ස්වරූපයකින් යුතු බැව් හෙනා ලියවැලෙහි ද දකිනු හැකි විය.එය නුරා පිරුණු සිලුවටයෙහි ද දැක ගත හැකිය. (ඒ බැව් සුදර්ශන ද ලියා තිබිණි) ගෙහසිත දිවියේ නෙක නිමේශයන් නොපැවැත්මෙහි මූසල ම සංවේදනා නඟන රූපක බවට නිරාෂ පත් කර ගනියි. එබැවින් එම ක්ෂුද්‍ර ආඛ්‍යාන, වාර්තාමය බව අබිබවා රූපකාර්ථවත් පඨිතයන් ගොඩ නගයි.”දුෂ්කරම ඍතු” එබදු කවකි. නිරාෂ කවියට ඉතා අවංකව ,කවර දෙයක වුව ද පවතින්නේ කතිකාව ම පමණක් බව අපට අවධාරණය කරයි.(ඒ දිගු කවෙහි තැන් කිහිපයක් උපුටමි)

“දැන් දැන් අපි
කතා නොකළට වැඩි පුර
තිබුණට අපට
එදාටත් වැඩියෙන් වැඩ
උල්පතකින් මතුව
ඇතුල් පොළොවෙහි මැවෙන
හීනි දිය සීරාවක් වගේ
ආදරය උණුහුම
නොතිබුණා නොවේ”

“ඒ වුණත්
මොකක්දෝ කහට ගතියක්
පුංචි පරතරයක් පරහක්
ගඩොළින් ගඩොල
එක මත එක නැඟී
මහ පවුරක්ව මතුවන් ලකුණු
ඇතැම් බියකරු රෑ සිහිනවල
ඡායා මාත්‍රව
ඇඳී තිබුණා මතකය..
සමහර වෙලාවට
ඈට හැමදේම
තේරුම කරලා දෙන්න
අවැසි ශක්තිය මට නැත..”
“ගහ මරා නොගත්තාට
බදා වැළඳ
සිප ගත්තු මොහොතක් පවා
මෙනෙහි කර ගැනීමත්
අපහසු වුව ද විටෙක
මාලු බොර හට්ටියක
සුදු ලූනු බිකක් සේ
ඉඳලා හිටලා පොඩි සතුටකුත්
නොතිබුණා ම නොවේ
අප අතර
“ඒ මොනවා වුණත්
හැමදාම හිනාවෙලා
හිටියේ නැද්ද අපි”
“සුරංගනා කතන්දරයක්” නැමති කවෙහි ද ගෙහසිත දිවියෙහි, වචන සහ වචන බවට නොපෙරළෙන දේවල් මගින් ගොඩනඟන කතිකාව ඒ එක් එක් නිමේශයන් ම රූපකාර්ථ බවට වර නඟමින් ඉදිරිපත් කර තිබෙයි.ගෙහසිත දිවියෙහි සුලබ ව හමුවන එබදු තැන් කීමට මේ තරම් උචිත, අවංක කාව්‍යමය ආඛ්‍යානයක් නිමවීම පිළිබඳ නිරාෂට අපමණ ස්තූති කළ යුතු ය. (මඳක් දිගු වුව ද , එය මෙහි උපුටමි)

සුරංගනා කතන්දරයක්

“ඇගේ මාසික අසනීපය
පහ වූ සැණින්
බැල්කනිය මුදුනට ම ඇවිත්
වසන්ත ඍතුවේ
පළමු මාසයේ
රතු පාට පුර හඳ..!
නැවුම් ඇඳ ඇතිරිලි අතුරලා
නුදුරින් ඉටිපන්දමක් දෙකක් දල්වා
මඳ අඳුර පලවා
සොඳ සුවඳක් එන්න හැර ඈ..
තාමත් ටිකක් තෙත බරිත
ඈ බොකුටු කෙහෙරැලිවලින්
හමනා ෂැම්පු සුවඳක්
හීනියට උරාගමි ඇතුළට ම..
අගුළු ලා දොර
හිඳ ඈ අසලින් ම සයනයෙහි
කතා කරමු අපි පෙම් බස්
මිදී මොහොතකට
දෙදරුන්ගේ ලෝකයෙන්..
දහවල කෑ කෝ ගසමින්
අස්පස් කර කර
දුව දුව වැඩ කළ ඈ
තවරගෙන මඳ සිනහවක්
ආපස්සට ගිහින් වගේ
දසකයක් දෙකක්
දෑතේ වෙළී
කෝල වන්නීය මොහොතක්
අනතුරුව කතා බස් නැතුව
ස්පර්ශය ම දෙබසක් වෙයි
මුදු පෙම් වදන්වලින් ඇරඹී
පසුව වග වළස් සෙය්යාවෙන් නිමවී
සියලු ම ශක්ති පදාර්යන්
ශූන්‍යව ගිය කල
හති දමා ගෙන
උනුන් බදා වැළඳ
අපි අපේ තනි තනි සිරුරුවලින් මිදී
එකිනෙකා ඇතුළට ම පිවිසී
ගුලි වී
දෑස් පියා නිහඬව ම ඉසිඹුලමු..
හිටිවනම
රෑ සිහිනයකින් බිය වී
දොරට ගසමින් හඬන
දරුවෙකුගෙ හඬින් තිගැස්සී
හනි හනික කලබලයෙන්
තැන තැන විසිරි රෙදිකඩ
අහුවෙන අහුවෙන පිළිවෙළට
වෙන් වෙන් ව ඇඟ ලා
අනෙක් සුන්බුන් ද සඟවා
නාඳුනන දෙදෙනෙකු වගේ දොර හැර
ඔවුන්ගේ ලෝකයේ
අපට හිමි අහුමුලුවලට
ආයෙමත් සැණෙන් පිවිසෙමු..
පොඩිවුන්ගේ බියකරු රෑ සිහින
සුරංගනා කතන්දරයකින් පලවමු ..”

නිරාෂගේ බස හෙනා ලියවැලෙහි මෙන් ම මෙහි ද මනා කොට පිරිපහදු ය. අපට නුහුරු ඇතැම් වදන් රූපකාර්ථවත් ව වහරන තන්හි ඔහු පාද සටහන් මඟින් ඒ ගැන කියා දෙමින් අපේ රසිකත්වය වෙන ම රහකින් පුළුල් කරන බව ද කිව යුතු ය. නිරාෂගේ කවිය ඉල්ලන්නෙ විශ්වීය රසිකත්වයක් බව ඉන් හැඟෙයි.
“නුරා පිරුණු සිලුවටයක””දැන් දැන් සති අන්ත” හරිම නිස්කලංකයි මේ කුටිය” “ලොලීතාවක්” “ආගන්තුක බිමක” “එකම කැඩපතක” වැනි කවිවල එබඳු අපට නුහුරු යෙදුම් ඉවහල් කර ගනිමින් වුව ද නිරාෂ අපේ සහෘදභාවය අතර පැල්මක් ඇති වන්නට ඉඩ නොතබ යි.
මේ කුදු සටහන අවසන් කිරීමට මත්තෙන් අවංකව ම දෙයක් කිව යුතු මය. නුරා පිරුණු සිලුවටයෙහි පළමු වර එතෙද්දී හෙනා ලියවැලෙහි එතෙද්දී තරම් ප්‍රමෝදයක් මා තුළ එක වර ජනිත නොවුණි. එහෙත් දෙවෙනි වර කියවන අතර නිරාෂ දිවි අරුතෙහි වේදනාව මත කිඳී එය සෞන්දර්‍යාත්මක ප්‍රමෝදයක් බවට පත් කරන’යුරු දුටුවෙමි, වින්දෙමි..ඔබට ද ඒ ප්‍රමෝදය පිණිස ඇරයුම් කරමි.
-සුජීව සිරිමෙවන්

Leave A Reply

Your email address will not be published.

three + 17 =