මඩ ගොහොරුවක වැටුණු නොබෙල් සාහිත්‍ය සම්මානයේ අලුත්ම හිමිකරුවා කවුද?…

සාහිත්‍යය උදෙසා පිරිනැමෙන ඉහළම සම්මානය ලෙස සැලකෙන ‘නොබෙල් සාහිත්‍ය සම්මානය’ මෙවර පිරිනැමෙන්නේ කාටද යන්න අද දිනයේ ප්‍රසිද්ධියට පත්කිරීමට නියමිතය.
නොබෙල් සාහිත්‍ය සම්මානය ගැන විවිධ අවස්ථාවල විවිධාකාර විවේචන එල්ලවී ඇතත්, පසුගිය වසර තුනක් තිස්සේ සම්මානය පමණක් නොව සම්මාන ලාභීන් තෝරන ස්වීඩ්න් ඇකඩමිය (Swedish Academy) ද සිටින්නේ මඩ නාගෙන ය.
ලිංගික අපචාර හා මූල්‍ය විෂමාචාර හේතුවෙන් සම්මාන වසරක් පවා කල්දමන්නට වැඩ සලසාගත් ඇකඩමිය, පසුගිය වසරේ ඔස්ට්‍රියානු ලේඛක පීටර් හන්ඩ්ක (Peter Handke) නොබෙල් සම්මානයෙන් පිදීමෙන් ‘වර්ග සංහාරයක සහකරුවකුට සම්මාන පිරිනැමීමේ’ ගර්හිත ලේබලය අලවාගත්තා ය.

Peter Handke
මේ මඩ නෑම ඇරැඹුණේ, 2017 නොවැම්බරයේදී ස්වීඩන් අකඩමියට එරෙහිව එල්ලවූ ලිංගික අපචාර හා මූල්‍ය විෂමාචාර චෝදනාත් සමගිනි. එහි කේන්ද්‍රස්ථානයේ සිටියේ ස්වීඩනයේ දී ‘සංස්කෘතික බලකණුවක්’ ලෙස හැඳින්වෙන ෂෝන් ක්ලෝඩ් ආර්නෝ (Jean-Claude Arnault) වන අතර, ඔහු නොබෙල් සාහිත්‍ය සම්මාන තෝරන ස්විඩ්න් ඇකඩමියේ සාමාජිකා කැතරිනා ෆ්‍රොස්ටන්සන් (Katarina Frostenson)ගේ සැමියා ය. ආර්නෝට එරෙහිව අවම වශයෙන් කාන්තාවන් 18 දෙනෙක් ලිංගික අපචාර චෝදනා එල්ලකර තිබූ අතර, ඔහුත්, ඔහුගේ බිරිය කැතරිනාත් එක්ව අවස්ථා හතකදීවත් නොබෙල් සම්මානලාභීන්ගේ නම් කලින් හෙළිදරව් කර තිබූ බවට ද චෝදනාකැරිණි. නිල වශයෙන් ප්‍රසිද්ධ කරන තුරු සම්මාන ලාභීන්ගේ නම් රහසිගත වන අතර, මෙසේ ඒ නම් වේලාසනින් හොරරහසේ පිටකිරීම තුළින් සම්මාන ලාභීන් ගැන ඔට්ටු අල්ලන මිතුරන්ට ඔවුන් විසින් ආර්ථික වාසි සලසා දෙන ලදැයි චෝදනාවල දැක්විණි.

Jean-Claude Arnault Katarina Frostenson

අවසානයේ අර්නෝ ස්ත්‍රී දූෂණ වරදකට බන්ධනාගාර ගතවූ අතර, ජයග්‍රාහකයන්ගේ නම් වේලාසනින් හෙළිදරව් කිරීමේ වරදට ඔහු ගේ බිරිය කැතරිනාට ස්වීඩ්න් ඇකඩමියෙන් ඉල්ලා අස්වන්නට සිදුවිය. අදාළ සිද්ධියේ දී සම්මාන කමිටුවේ ලේකම් සාරා ඩෙනියස් (Sara Danius)ගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් තවත් සාමාජිකයින් තිදෙනෙක් ඉල්ලා අස්වූ අතර, ඩෙනියස්ට ද සිදුවූයේ ඉල්ලා අස්වී ගෙදර යාමටය.


මේ තත්ත්වය මත ස්වීඩන් ඇකඩමියේ ගණපූර්ණය අහිමිවීමෙන් 2018 වසරේ නොබෙල් සාහිත්‍ය සම්මානය පිරිනැමීම වසරකින් කල් දමන්නට සිදුවිය. ඒ අනුව ගිය වසරේ පැවැතියේ වසර දෙකක සම්මාන උළෙල ය.
‘මෙවැනි පුද්ගලයන් රොත්තක් සමග නොබෙල් සාහිත්‍ය සම්මානය පිළිබඳ සාධාරණ විනිශ්චයකට එන්නේ කෙසේදැ’යි ජනමාධ්‍ය හා සාහිත්‍ය, ශාස්ත්‍රීය කව වෙතින් බලවත් ප්‍රහාරයක් එල්ලවන අතරය ඒ.
මේ අව්අස්සේ සිදුවූ ඊළඟ මඩ නෑම වූයේ ගිය වසරේ සම්මාන ලාභියා ලෙස ඕස්ට්‍රියානු ලේඛක පීටර් හන්ඩ්ක තෝරාගැනීමයි. ගැටලුව වූයේ හන්ඩ්ක ගේ සාහිත්‍ය විශිෂ්ටතාව පිළිබඳව නොවේ. ඔහුට එරෙහි කර්කශ විවේචන එන්නේ ඔහු ගේ දේශපාලන ආස්ථානය හේතුවෙනි.
හන්ඩ්ක පරණ යුගෝස්ලෝවියාවේ සිදුවූ යුද්ධ මාලාවේ දී සර්බ්වරුන් විසින් කරන ලද යුද අපරාධ හා බොස්නියානු වර්ග සංහාරය ප්‍රතික්ෂේප කරන්නෙකි. යුධ අපරාධකරුවකු ලෙස ප්‍රසිද්ධියේ පිළිගැනෙන සර්බියාවේ හිටපු ජනාධිපති ස්ලෝබෝඩන් මිසොලොවිච් (Slobodan Milošević)ගේ අවමගුලට පවා සහභාගී වීමෙන් අපවාද ලද්දෙකි.
මේ නිසා හන්ඩ්කට පිරිනැමුණු නොබෙල් සම්මානය ‘ලජ්ජා සහගත එකක්’ ලෙස හෙළාදකිමින් දසතින් විරෝධය එල්ල විය. ඇතැම් ශාස්ත්‍රීය පර්ෂදවලින් මේ තීරණය හැඳින්වුණේ ‘තුෂණිම්භූත කර‍වන’ හා ‘දවල් තරු පේන’ විනිශ්චයක් ලෙසිනි.
සාමාන්‍යයෙන් නොබෙල් සම්මානය යනු පුද්ගලයකුට මහත් වූ යශෝ කීර්තියක් අත්කර දෙන්නකි. එහෙත් හන්ඩ්කට සිදුවූයේ සම්මානය නිසා සල්ලි මල්ලක් සමග දැවැන්ත අපවාද කන්දරාවකට මුහුණදීමට හා ශාස්ත්‍රීය ලෝකය හමුවේ යුධ අපරාධ හා වර්ග සංහාර නිෂ්ප්‍රභ කරන්නකු ලෙස පරණ තිබූ හංවඩුව නොමැකෙන ලෙස අලුත් කරගැනීමට ය.
තමන් ”යුද අපරාධකරුවකුට හා යුධ අපරාධ හෝ වර්ග සංහාර ප්‍රතික්ෂේප කරන්නකුට (a war criminal and denier of war crimes or genocide) සම්මාන දීමට චේතනය නොකළ” බවට ලතෝනි තියන්නට ස්වීඩන් ඇකඩමියට සිදුවුවත්, අවමානය ඉන් වසාගන්නට නොහැකි විය.
හන්ඩ්ක නිසා නොබෙල් සම්මානයට වූ අවමානය සුළුපටු නොවන්නේ, යළිත් වසරකට පසු, හෙට එළිදැක්වෙන සම්මානය හේතුවෙන් හන්ඩ්ක පිදීමේ අවමානයට අලුත් වටයකින් මුහුණ දීමට නොබෙල් කමිටුවට දැනටත් සිදුවී ඇති බැවිනි.
-සනත් බාලසුරිය (fb)
Photo Credit © –
1 Jonathan Nackstrand/Agence France-Presse — Getty Images
2 Sebastian Reich

Leave A Reply

Your email address will not be published.

three × two =