දඩයම් සොයන ආණ්ඩුවක්…

වත්මන් ආණ්ඩුව බලයට පත් වූ පසු පෙර නොවූවිරූ අයුරින් පරිසරය විනාශ කිරීමට පටන්ගෙන ඇතැයි කියවෙන අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රබන්ධ කොට සමාජගත කිරීමේ මෙහෙයුමක් හඳුනාගෙන ඇති බවත්, එකී පුවත් පළ කරන පිරිස් සොයා දඬුවම් දෙන බවත් ආණ්ඩුව විසින් පසුගිය සැප්තැම්බර් 28දා නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මෙකී නිවේදනයට අනුව පසුගිය සති කීපය පුරාම රූපවාහිනී, ගුවන්විදුලි හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ වාර්තා කළ පරිසර විනාශයන් සම්බන්ධ සියලුම පුවත් අසත්‍ය ප්‍රබන්ධ ද යන ප්‍රශ්නය මතු වේ. ස්වාධීන රූපවාහිනිය ද, ලේක්හවුස් පුවත්පත් ද ආදී වශයෙන් රාජ්‍ය මාධ්‍ය හරහා ද යම් ප්‍රමාණයකට මෙවැනි සිදුවීම් වාර්තා කළේ ය. ‘ලංකා’ පුවත්පත ලෙස අපද පසුගිය කාලය පුරාම එවැනි පුවත් පළකළෙමු.
ආණ්ඩුවේ නිවේදනයට අනුව නම් ආනවිලුන්දාව, වනාතවිල්ලුව, තබ්බෝව, නකල්ස්, හන්තාන, හම්බන්තොට අලි රක්ෂිතය, උඩවලව රක්ෂිතය, ගෝමරන්කඩවල, ආඬියාගලහින්න ආදී ප්‍රදේශ ගණනාවක මහා පරිමාණ පරිසර විනාශයන් සිදු වූ බවට ඡායාරූප හා වීඩියෝ සමඟින් මෙම මාධ්‍ය නාළිකා සහ පුවත් පත් විසින් ඉදිරිපත් කළ සියලුම පුවත් හා තොරතුරු හුදු ප්‍රබන්ධ විය යුතු ය.
නිවේදනයට අනුව නම්, ආනවිලුන්දාව
රැම්සා තෙත්බිම ඩෝසර් කළ බවට සනත් නිශාන්ත ඇමතිවරයාගේ සහෝදරයා අත්අඩංගුවට පත් වූයේ ඇයි ද යන ප්‍රශ්නය මතුවෙයි.
වත්මන් ජනාධිපතිවරයා බලයට පත් වහාම ගල්, වැලි හා පස් ප්‍රවාහණයට පැවති බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීම එම ජාවාරම්වල නියැළි අයට රජ මඟුල් වන තත්ත්වයක් ඇති විය. සිංහරාජයේ කොටසක් හරහා මාර්ගයක් ඉදි කිරීමේ සිද්ධිය සමාජ අවධානයට ලක් වූයේ පරිසරවේදීන් හා මාධ්‍ය ඒ ගැන කළ මැදිහත් වීම නිසා ය. පසුව ජනාධිපතිවරයාට පවා පෞද්ගලිකවම ඒ සඳහා මැදිහත් වීමට සිදු විය. සිංහරාජයට හානියක් නොකර මාර්ගය ඉදි කරන්නැයි ජනාධිපතිවරයා නියෝග කළේ ය. මෙයට පසුබිමින් විශාල පරිසර අර්බුදයක් ඇති වීමේ අනතුර සහිත ගිං – නිල්වලා ව්‍යාපෘතිය පවතින බවත්, සංචාරක කර්මාන්තයට මෙම ප්‍රදේශ විවෘත කිරීම ආණ්ඩුවේ සැලැස්ම බවත් ‘ලංකා’ අපි ද තොරතුරු සහිතව අනාවරණය කළෙමු.
එසේම නැඟෙනහිර වෙරළේ ඛනිජ සම්පත විදේශීය සමාගමකට විකුණා දැමෙන මහා පරිමාණ සැලැස්මක් ගැන ‘ලංකා’ අපි අනාවරණය කළෙමු. මේ අතරේ ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ අක්කර 62,000ක් බහුජාතික සමාගමකට පැවරීමේ කටයුතු ද සිදු වෙමින් පවතී.
මේවා අසත්‍ය බවට ආණ්ඩුව ‘නිවේදනය කිරීම’ මඟින් පෙන්නුම් කරන්නේ, ඉතාම සහේතුක විවේචනයක් පවා භාර ගැනීමට වත්මන් පාලනය සූදානම් නැති බවයි. එසේම ඒ පිටුපස වන ආණ්ඩුවේ සැබෑ වුවමනාව ද වටහා ගත යුතුව තිබේ.
එනම්, ආණ්ඩුවේ සංවර්ධන සැලැස්ම යනු නව ලිබරල් ධනවාදී වැඩපිළිවෙළම බව ය. ඒ තුළ බහුජාතික සමාගම්වලට රිසිසේ අපේ රට කොල්ලකෑමට ඉඩ විවර කර දිය යුතු ය. ඒ වෙනුවෙන් පරිසර නීති ලිහිල් කොට දිය යුතු ය. විරුද්ධ වන පරිසරවේදීන් බියගැන්විය යුතු ය. ඔවුන්ගේ හඬ මර්දනය කළ යුතු ය. මේවා ගැන කතා කරන ජනමාධ්‍යයට වැට බැඳිය යුතු ය.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට පෙර සිටම ජනාධිපතිවරයාගේත්, ආණ්ඩුවේත් හැසිරීම මෙය නම්, එය සම්මත කිරීමෙන් පසු තත්ත්වය කෙසේ වනු ඇත් දැයි දැනටම සිතා ගත හැකි ය.
ආණ්ඩුවේ අපේක්ෂාව සියලු මාධ්‍ය, සියලු පරිසරවේදීන් නිහඬ කිරීම නම්, එය කිසිදා සඵල නොවන්නක් බව වගකීමෙන් කිව යුතුව තිබේ. එසේ ම මේ පිටුපස වන ප්‍රජාතන්ත්‍රීය අයිතීන් උදුරා ගැනීමේ හා ඉඩම් හා පරිසර කොල්ලය ඉලක්ක කර ගත් දුෂ්ට අරමුණු පරාජය කිරීමේ පෙළගැස්මක් අවශ්‍ය කර තිබේ.

Leave A Reply

Your email address will not be published.

eighteen + two =