විට්මන් අනුදත් ශානරය අසල නිශ්මන් තැබූ ‘ස්පෝර්ට්ස් කවි’

වෝල්ට් විට්මන් 1865දී කවක් රචනා කළේ ය. එහි නම ‘ඕ කැප්ටන් මයි කැප්ටන්’ ය. මියගිය කපිතාන්වරයකු අමතා ලියූවක් වන එහි කපිතාන් යනු ඒබ්‍රහම් ලින්කන් බවත්, නැවෙහි ගමනින් සංකේතවත් කෙරෙනුයේ වහලු‍න් නිදහස් කිරීම සඳහා සටන හෙවත් සිවිල් යුද්ධය බවත් විචාරකයෝ පෙන්වා දෙති.
මෙකී කවිය අයත් වන ශානරය හඳුන්වනු ලබන ඉංග්‍රීසි වචනය ඡැරිදබ් චදැප යන්නයි. ඡැරිදබ් යන්නෙහි තේරුම මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂයෙහි විමසන්නකුට හමුවන තේරුම “‍කෙනකු පිළිබඳ අනෙක් අය සංජානනය කරන ආකාරය”‍ යන්න ය. චැරිදබ් යන වදන ලතින් බසින් බිඳී ආවක් වන අතර, එහි මුල් අරුත ‘කෙනෙක් තවකෙකුගේ වෙස්මුහුණක් පැළඳ ගැනීම’ යන්නය.
ඈත අතීතයේ සුමේරියානු කවියේ පටන් අද මේ මොහොත දක්වාම කවීහු පුද්ගලයන් පිළිබඳ තම සංවේදී හැඟීම් කියාපෑම සඳහා කවි බඳිති. පුද්ගලයන් මතු නොව ස්ථානයක්, යම් දෙයක් සම්බන්ධයෙන් ගත් විට ද තත්ත්වය එයම ය. ඒවා හැඳින්වීම සඳහා ඉංගිරිසියෙහි චැරිදබ් චදැපි යන වදන යෙදේ. එහෙයින් සිංහලයෙන් ඊට ‘ආලේඛ්‍ය කාව්‍ය’ වැනි යෙදුමක් භාවිත කිරීම ද වරදක් නැත. ඡැරිදබ් ඡදැප යන්නෙ හි දී සිදුවන්නේ ද කවියා පුද්ගලයකුගේ, යම් දෙයක, ස්ථානයක වෙස්මුහුණක් පැළඳ නොහොත් වෙනෙකකුගේ සපත්තුවට බැස කවි රචනා කිරීම වන හෙයිනි.
ඉහත කරුණු කිහිපය මගේ මතකයට නැඟු‍ණේ නිශ්මං රණසිංහ විසින් මාවෙත ඊ තැපෑලෙන් එවන්නට යෙදුණු කවි එකතුවක පීඩීඑෆයක් කියවීමෙන් පසුවය.
නිශ්මං ස්වකීය කාව්‍ය හඳුන්වන්නේ ක්‍රීඩා කවි වශයෙනි. එහෙත් ඇත්තෙන්ම ඒවා සැලකිය යුතු වන්නේ ක්‍රීඩකයන් සහ ක්‍රීඩාව සම්බන්ධයෙන් කළ කවි විශේෂයක් ලෙසින් බව මගේ පෞද්ගලික මතයයි.
යෝගානන්ද විජේසුන්දරගෙන් පටන්ගෙන සුසන්තිකා ජයසිංහ, අර්ජුන රණතුංග, ඩිලන්ත මාලගමුව, නිලූක කරුණාරත්න ආදී බොහෝ දෙනකු සම්බන්ධව ලියවුණු කවි නිශ්මංගේ එකතුවට අඩංගුව තිබේ. ක්‍රීඩක ක්‍රීඩිකාවනට අමතරව ක්‍රීඩා විනිසුරන්, වෛද්‍යවරුන් ආදීහු ද එකී කවි අතර හුස්ම ගනිති. විෂයයක්, පුද්ගලයන් හෝ පුද්ගලයකු පිළිබඳ කවි ලිවීම සැහැල්ලු‍ කාරියක් නොවේ. ඒ සඳහා අදාළ පුද්ගලයා පිළිබඳ මනා දැනුමක්, හැදෑරීමක් තිබිය යුතු බව විචාරකයන් පවසන්නේ එහෙයිනි. නිශ්මංගේ කවි කියවන්නකුට ඔහුගේ හැදෑරීම් වපසරියේ පුළුල වටහා ගත හැකි වේ. ක්‍රීඩකයකු ලෙස සහ ක්‍රීඩා මාධ්‍යවේදියකු ලෙස ඔහුගේ පරිචය ඊට ඉවහල් වී ඇතුවාට සැකයක් නැත.
අන් අය පිළිබඳ කවි ලිවීම ගැන විචාරකයන් කියන්නේ, එය පුද්ගලයා මුළුමනින්ම කවිය තුළට ඔබා ගැනීමේ වෑයමක් හා සමාන කටයුත්තක් බව ය. එහි දී පුද්ගලයාගේ දේහලක්ෂණ, පෙනුම, නිතර අඳින ඇඳුම ආදිය සහිතව පුද්ගලයා විස්තර කළ යුතු වන බැවිනි. ඉහත කෘතියෙහි නිශ්මංගේ බොහෝ කවි අනුව පැහැදිලි වන්නේ ඉහත අභියෝගය ජය ගැනීමට ඔහු සමත්ව ඇති බව ය. නිදසුනක් දක්වන්නේ නම්, වූෂූ මානෙල් ධර්මකීර්ති සම්බන්ධව නිශ්මං මෙසේ කියන්නේ, මානෙල් නොදුටු, නොදන්නා අයකුට වුව ඔහුගේ⁣ පෙනුමත්, දැනුමත් දෙකම දැනගත හැකි වන පරිද්දෙනි. ‘කෙස් නැතිවාට මොළයක් ඒ මුළු හිසම’. ⁣දේහ විලාස පමණක් නොව ඔහු සිය කවියට චරිත සොබාද මැනැවින් බහාලනු පෙනේ. ඒ.එම්. සුමනවීර නමැති ප්‍රකට පාපැදි ශූරයා ගැන ඔහුගේ හැඳින්වීම මෙසේය :
“සුමනේ කියන විට කඳු නැමිලද බිමට
කන්දත් පදින්නේ ඔහු පල්ලම ලෙසට”
කඳු බිමට නැමීම, කන්දත් පල්ලම ලෙසට පැදීම යන යෙදුම්හි කවි බසත්, අ⁣ප පෙර කී ආලේඛ්‍ය කවියෙන් විචාරකයන් ඉල්ලා සිටින ලක්ෂණත් මනාව ගැබ් වී තිබේ. තර්ජිනී ගැන නිශ්මං ගේ ;
“තර්ජිනී කියන්නේ ජයකට පටබැඳුණ
සම වචනයක් වාගෙයි රටකට දැනුණ”
‍යන දෙපදයද එසේ ම ය.
ක්‍රීඩකයාගේ හැටි සොබා පමණක්⁣ නොව ක්‍රීඩාවේ ගති සොබා ද නිශ්මංගේ ක්‍රීඩා කවිවලට හසුව ඇති බව,
“‍මොහොතක් කියන්නේ චෙස් ගේමක සෑම
විජයක් ලබන්නට අවැසිය ඉවසීම”‍
වැනි යෙදුම්වලින් පැහැදිලි වේ.
පුද්ගල, ක්‍රීඩා වර්ණනාවලට අමතරව ඉහත කෘතියේ දී නිශ්මං ක්‍රීඩා මාධ්‍යවේදියාගේ කාර්යභාරයට සහ විවේචකයාගේ කාර්යභාරයට ද අතගසා තිබේ. උදාහරණයක් වශයෙන් නීතිඥ ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධව අදහස් දක්වමින් කවියා, ක්‍රීඩාව අධ්‍යාපනයට බාධාවක් ය යන පොදු මතය බිඳදැමීමට නීතිඥ ක්‍රිකට් හොඳ අවියක් බව පෙන්වා දෙයි.
අප දන්නා පරිදි ක්‍රීඩා කවි මුලින් පළ කරනු ලැබුණේ ‘ලංකා’ පුවත් පතෙහි ය. පුවත්පත් කලාවත්, පොත් කලාවත් යනු පැහැදිලිවම දෙකකි. ඉඩකඩ, කාලය වැනි අභියෝග රැසක් සමඟ තරග කරන්නට පුවත්පත් කලාවේ දී සිදු වුවත්, ග්‍රන්ථකරණයේ දී ඒවා ඒ තරමට අදාළ වන්නේ නැත. එහෙත්, එකී කලාවන් දෙකෙහි වෙනස පිළිබඳව වත්මන් ශ්‍රී ලාංකේය ග්‍රන්ථ කතුවරුන් එතරම් අවධානයක් යොමු කරන බවක් පෙනෙන්නට නොතිබීම කනගාටුවට කරුණකි. පත්තරවල පළ වූ ලිපි, තීරු ලිපි ආදිය කිසිදු සංස්කරණයකින් තොරව පොත් වශයෙන් පළ කිරීමෙන් පැහැදිලි වන්නේ ලේඛකයන්ගේ එකී මඳ අවධානයයි. නිශ්මං රණසිංහ ද එකී දුර්වලතාවෙන් යුතු බව මෙහි දී කියන්නට සිදු වේ. කලාවන් දෙක අතර වෙනස නිශ්මං නොදන්නවා විය නොහැකි නමුත්, ඔහු ඒ ගැන එතරම් සැලකිල්ලක් දක්වා නැත. එකී වෙනස ගැන සැලකිලිමත් වූයේ නම්, කවිවල අගට අමුණා ඇති ගද්‍ය කොටස් ද එතරම් අපහසුවකින් තොරව පැදි බවට පත් කර ගන්නට තිබිණි. එසේ වූයේ නම්, කවියාගේ උත්සාහය මීටත් වඩා ඵලදායී වන්නට තිබුණා ය යන්න මගේ විශ්වාසයයි.

-අනුර කේ. එදිරිසූරිය

‘ස්පෝර්ට්ස් කවි’ එළිදැක්වීමේ අවස්තාව පසුගියදා ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී සිදු කෙරින. පොත පිළිගැන්වීම දැනට ජිවතුන් අතර නැති ක්‍රීඩාවට මහගු සේවයක් සිදු කළ යෝගානන්ද විජේසුන්දරයන්ගේ බිරිඳ වෙත පිළිගන්වන ලදී .

යෝගානන්ද විජේසුන්දර මහතා වොලිබෝල් ක්‍රීඩකයෙකු ලෙස පැමිණ පසුව මලල ක්‍රීඩාවට සම්බන්ධ විය. මීටර් 110 කඩුලු මතින් දිවයාමේ ජාතික ශූරයෙකුද වූ අතර 1967 දී ක්‍රීඩා නිලධාරියෙකු ලෙස බණ්ඩාරවෙලින් ඔහු තම රාජකාරී දිවය ආරම්භ කළේය.

අඩසිය වසකට අධික කාලයක් මලල ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් අනූපමේය සේවයක් කළ යෝගානන්ද විජේසුන්දර මහතා, තිලකා ජිනදාස (මීටර් 100 කඩුලු), දිලීමා පීටර්සන් (දුර පැනීම) ධම්මිකා මැණිකේ (මීටර් 800) ජයමිනි ඉලේපෙරුම (මීටර් 100, 200, 400 හා 800), රවින්ද්‍ර කුමාර ප්‍රනාන්දු (මීටර් 400) කේ.ඒ. කරුණාරත්න (මීටර් 1000 සහ මැරතන්), මංජුල රාජකරුණා (මීටර් 110 කඩුලු), පද්ම කුමාර අමරසේකර (මීටර් 400) යනාදි ක්‍රීඩික ක්‍රීඩිකාවන් රැසකට මඟපෙන්වූ පුහුණුකරුවෙකු විය.
මෙම ‘ස්පෝර්ට්ස් කවි’පොත පිළිගැන්වීමට සුදුසුම පුද්ගලයා සොයා ගැනීම පිලිබඳ නිශ්මං රණසිංහ ට තුති.

ඡායාරුප – රවීන්ද්‍ර පුෂ්පකුමාර

Leave A Reply

Your email address will not be published.

two × one =