“සේකර…ඔබේ ඇසින් ලොව දකින්නට…”

සැබෑ කලාකරුවා සමාජයේ පෙරගමන්කරුවෙකි. මිනිසුන් අතර හිඳිමින් මිනිසුන් උදෙසා ප්‍රඥාවේ එළිවැට දල්වන්නෙකි. අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ගෙන් හෙබි මිනිස් ජීවිත කරා ආනන්දය රැගෙන එන්නෙකි.
‘කලාව කලාව සඳහා ය’ යන දෘෂ්ටිවාදයෙන් මිදී ‘කලාව මිනිසා සඳහා ය’ යන වදන අර්ථවත් කළ මෙරට පුරෝගාමී කලාකරුවන් අතර මහගම සේකරයන් වූ කලී නූතන කවියට ප්‍රඥාවේ නිල් දියවර සැපයූ මහා ජල උල්පත යැයි කිව හැකි ය. එපමණටම සේකර නූතන කවිය තුළ ජීවමාන ය.
සියනෑ කෝරළයේ ‘රදාවාන’ ජන්ම භූමිය කරගත් මහගම සේකරයන් සිය නිර්මාණ සඳහා පාදක කරගත්තේ තමන් අවට පරිසරය යි.
කෙතේ කමතේ ඇලේ දොලේ ඔහු දුටු අපූර්වත්වය සුන්දර ලෙසට ඔහුගේ නිර්මාණ තුළ ගැබ්වී ඇත. 1956 වර්ෂයේ ධවල සේනාංකය පරිවර්තනයෙන් ඇරැඹි ස්වකීය සාහිත්යික ගමන්මඟ ‘ව්‍යංගා, සක්වා ලිහිණි, හෙට ඉරක් පායයි, මක්නිසාද යත්, රාජතිලක ලයනල් හා ප්‍රියන්ත, බෝඩිම, නොමියෙමි…’ හරහා ප්‍රබුද්ධ (1977) දක්වා විහිදී පැතිරී ගියේය. ඔහුගේ කාව්‍ය කෘතීන් අතර අග්‍රඵලය ලෙසින් ගැනෙන්නේ ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහය යි. බුදු දහමේ සාරය කැටිකොට ගත් ස්වකීය චින්තනය වඩාත් යහපත් ලෝකයක් උදෙසා සමාජගත කිරීම ප්‍රබුද්ධ හරහා සිදුව ඇත.
අදින් දශක හතරකට පෙර සේකර දුටු සමාජය අදටත් එසේම ය. වෙනසකට ඇත්තේ පරම්පරා ගැටුම පමණි. සමසිතින් ඔහු ලොව දෙස බැලීය. ඒ මෙලෙසිනි.

‘උණුසුම හා සිහිල මෙන්
එළිය හා අඳුර ඇදෙන
දුක හා සතුට සම ලෙස
දකින් මැදහත් සිතකින්
මෙතෙක් ඔහු බැලුවේය ලොව දෙස

(04 පිටුව)
ස්වකීය ජීවනාදර්ශය තුළින් අප කවියා ලෝකය විනිවිද යයි. පෙර නොවූවිරූ ලෙසින් ඔහු දකින්නේ විෂමාකාර වූ මානව සමාජය යි.
‘දිස්වීය ඔහු නෙතට
කුරා කුහුඹුවන් ලෙසට
පඩංගු පකිස් ලෑලි – ටිං බෙලෙක්ක තහඩු – ගෝනි
අස්සෙන් එබී බලන
මුඩුක්කු දහජරාව පැටව් ගැසුව
වැරහැලි කාලකණ්ණි මිනිස් ප්‍රාණ
දුගඳ පිරුණු කාණු දිගට…’
(09පිටුව)
මහපොළොවේ ඛේදවාචකය එපරිදි ය. නමුදු ‘ප්‍රබුද්ධ’ දෙපා තබා සිටින්නේ ‘යශෝධා’ගේ මන්දිරයේ සඳළුතලයේ ය. එහි සිටියෝ කවරහු ද?

සිටියෝ විසිත්ත කාමරයෙහි
කළු කබා මහත ටයි
තරබාරු ප්‍රභූවරු
ගරුතර මැති ඇමැතිවරු

සිටියෝ මෝරපු ගැහැණු
බැන්ද උස් කොංඩා හා
ගන දෙතොල් උල් නිය ඇති
අඩවන් තඩිස්සි ඇස්
ඉඟ දෙපසින් එල්ලෙන මස්…’
(16පිටුව)
නිමා නොවන සමාජ අරගලයක් වූ ඇති නැති පරතරය සේකරයන් තම දෘෂ්ටියට හසුකර ගන්නේ එලෙස ය.
සමාජ පුරුෂාර්ථ බිඳවැටී සියල්ල ආර්ථිකමය කාරණා සමඟ ගැටගැසී ජීවිත අසරණභාවයේ මහා ප්‍රපාතය කරා වේගයෙන් ඇදීයන ආකාරය අප කවියා උත්ප්‍රාසයෙන් පෙන්වයි.
‘ප්‍රබුද්ධ
හිස් ය මේ ජීවිතය
බොල් ය මේ ජීවිතය
බලව !
රන් දුහුල් යට
සුවඳ විලෙවුන් අතර
අතට අත දෙන ඇඟිලි කරු අතර
නිර්වස්ත්‍ර වී පෙනෙන කුහකකම…’
(15පිටුව)
මානව සන්තානයේ ගූඩ චින්තාවන් හරහා මුළුමහත් සමාජයම විෂම චක්‍රයක වෙළී ඇත. ඔහු සොයන සැබෑ ආදරය එහි නැත. සඳළුතලයෙන් බැස ප්‍රබුද්ධ මහමඟට අවතීර්ණ වෙයි. එවිට මෙතෙක් ඔහු සොයාගිය ‘මම’ හමුවේ. තමාගේ ආදරණීයයන් හමුවේ.

‘ඇවිද ලඳු දෙණි කැලෑ බිම්වල
රැගෙන විත් තුන් හිරිය පන් කොළ
යොදා කුකුල් සායම් රතු හා කොළ
වියා නෙක් විසිතුරු රටා පැදුරු
රටාවක් බව මේ මහා විශ්වය
කුඩා කල සිට ම මට
කියාදුන් අම්මා ඔබය…
(27පිටුව)

එපමණක් ද? පන්සලේ පෝය හේවිසි නාදය උවැසි උවැසියන් මෙන්ම ඇල දිය මත හිරුමඩලේ ප්‍රතිබිම්භය ඔහු දකී. ඒ සුන්දරත්වය යටින් දිවෙන ජීවිතයේ අසරණභාවය සේකරයන් ප්‍රකට කරන්නේ ධ්වනිතාර්ථවත් බස් වහරකිනි.

‘සිද්ධාර්ථ !
එබැවින් අද
නියත විවරණය මට දුන මැනව
මේ ලියන මේසය ළඟ
මේ පුටුව මත හිඳ
මේ ලිපි ගොනු අතර මැද –
හාන පෝරු ගාන වී වපුරන වෙල්යායක
සටන්පාඨ
වැඩ වර්ජන
කම්හල් දැති රෝද අතර –
ගෑනු පිරිමි එක රොත්තට හිර වී ගෙන
උදේ හවස වැඩට යනෙන කෝච්චියක
දෙනෝ දහක් සෙනඟ අතර
බුදු වීමට :
තනිය ම නො ව
දෙනෝ දහක් සෙනඟ එක්ක
අපි ඔක්කොම එකට බුදු වීමට… (36පිටුව)
මානව සමාජය වඩාත් යහපත් කිරීමට නම් ධර්මය අවැසි ය.
ධර්මය ඇසීමට ඒ සඳහා සකස් වූ සිතක් තිබිය යුතුම ය. අධ්‍යාත්මික දියුණුව ලැබීමට නම් පුද්ගලයාගේ භෞතික ජීවිතයේ ගැටළු විසඳිය යුතු ය. ඒ සඳහා කලාකරුවාගේ කාර්යභාරය අතිමහත් ය. සේකරයන් අවසානයේ නතර වෙන්නේ එතැන ය.
ධර්මය වටහාගත හැකි
සත්‍යය සුන්දර බව දැකගත හැකි
උත්තර සමාජයක් ගොඩනැගුමේ මුල් පියවර
කෑමෙන් – බීමෙන්
ඇඳුමෙන්
ගෙයින් දොරින්
තෘප්තිමත් වූ ලොවක් තැනීම ය
ඒ සඳහා මම නවතිමි
නැවතීම ම ය ගමන
සංසාරය ය නිවන…

(98/99 පිටු)
මහගම සේකර එදා දුටු සත්‍යය අදටත් වලංගු වන්නේ ඒ නිසාවෙනි. මිනිසුන් එකිනෙකාට ආදරය කරන පොදු හැඟීමෙන් ක්‍රියාකරන සමාජයකට අප යා යුතු ය. එය උඩුගං බලා පිහිනීමක් විය හැකිය. වරෙක ගල් පර්වතයක් අස්වැද්දීමක් විය හැකිය. එහෙත් කවියා ඒ වෙනුවෙන් තවදුටත් ස්වකීය පන්හිඳ මෙහෙයවයි. ගිලන් වූ සමාජ දේහය සුවපත් කිරීමට නම් මානව අධ්‍යාත්මය ඔසවා තැබිය යුතු ය. සැබෑ කලාකරුවා පෙනීසිටින්නේ ඒ වෙනුවෙනි. සේකර අදටත් හඬගා පවසන්නේ එය නොවේද?
එසේ වුව සොහොයුරනි !
ඔබ ගැන ම මා ලියන ඒ කවිය
ඔබගෙන් බොහෝ දෙනකුට
අද දින නොවැටහෙන බව දනිමි
ලෝකය මීට වඩා යහපත් වන
අනාගතයේ යම් දවසක
ඔබ එය මීට වඩා ආදරයෙන්
කියවන බව ද දනිමි
– නිමල් කරුණාරත්න

Leave A Reply

Your email address will not be published.

20 + nine =