පාතාලයේ දේශපාලන හැංගිමුත්තං

ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයකු වූ ගොනාකෝවිලේ රොහා නොහොත් දේවමුනි හැරල්ඞ් රෝහණ ද සිල්වා යන අය ඉකුත් සැප්තැම්බර් 24දා පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය යන්නේ මීගමුව ප්‍රදේශයේ දී ය.
බෝට්ටුවකින් ඉන්දියාව බලා පලා යාමට සූදානමින් සිටිය දී පොලිසියට ලද තොරතුරක් මත නිලධාරීන් එම ස්ථානයට යද්දී ඔහු තැබූ වෙඩි ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී රොහා මිය ගිය බව පොලිසිය ප්‍රකාශ කළේ ය.
මොහු දැනට ලංකාවේ සිටින පාතාල කල්ලි නායකයන් අතර ප්‍රමුඛස්ථානයේ සිටි කෙනෙකි. වත්මන් රජය බලයට පත් වූ පසු පොලිස් වෙඩි ප්‍රහාරයන්ගෙන්
පාතාල කල්ලි සාමාජිකයන් හතර දෙනකු මිය ගිය අතර, ඔවුන් කිසිවෙක් ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සාමාජිකයන් නොවී ය.
ගොනාකෝවිලේ රොහාගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ ගොනාකෝවිලේ අංජු ය. ඒ අංජුගේ වැඩිමහල් සහෝදරයා වූ ලංසියාව 2016 වසරේ නොවැම්බරයේ දී මහර බන්ධනාගාරය ඉදිරිපිට දී රොහා විසින් මරා දමනු ලැබූ නිසා ය. ඒ, දෙදෙනා අතර ඇති වූ ආරාවුලක් මත ය. ඊට පෙර ඔවුන් දෙදෙනා එකට පාතාල ක්‍රියාකාරකම්වල නිරතවූවන් වූහ.
සිය වැඩිමහල් සහෝදරයා පාතාල කල්ලි ක්‍රියාකාරිකයකු වුවත්, අංජු ඒ වන විට ඒවාට සම්බන්ධ වී සිටියේ නැත. ඔහු ඊට පෙළඹෙන්නේ රොහා විසින් ලංසියා ඝාතනය කිරීමෙන් පසු බාල සහෝදරයාවද ඝාතනය කිරීමට ගත් උත්සාහය මත ය. අංජු සහ ඔහුගේ බාල සොහොයුරා වන සංජු ද රොහාගෙන් බේරීම සඳහා ප්‍රදේශය අතහැර යන අතර, පසුව අංජු ප්‍රංශය බලා පිටත්ව යන්නේ හොර පාරෙනි.
රොහා එම අවධියේ දී 2015ට පෙර පැවැති රජයේ දේශපාලන හයිය ලැබූවකු වූ අතර, මාතර සිටි පළාත් සභා ඇමතිවරයකු හා බදුල්ල ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ දේශපාලන
රැකවරණය ඔහුට ඉහළින්ම ලැබී තිබිණි. එම හයියෙන් ඔහු ලංසියා ඝාතනය ඇතුළු අපරාධ කරමින් යෙහෙන් වැජඹී සිටියේය.
රොහා, අංජු හා සංජු සේම ලංසියාගේ ළඟම ගෝලයා වූ ධර්මේ නමැත්තා ද ඝාතනය කිරීමට සැලැසුම් සකස් කරමින් සිටි අතර, ධර්මේ විසින් ප්‍රංශයේ සිටින අංජු සමඟ එක් වී රොහාට එරෙහිව අවි අමෝරා ගැනීමට තීරණය කරන ලදී. අංජු එහි සිට අවශ්‍ය පහසුකම් ධර්මේට සැපයූ අතර, ඔහු විසින් අඩපණ වූ ලංසියාගේ කණ්ඩායම යළි පණගන්වාගෙන තිබිණි. ලංසියා ද 2015ට පෙර රජයේ දේශපාලකයකුගේ ලේකම්වරයකු ලෙස ද කටයුතු කළ බවට පොලිස් වාර්තාවල සඳහන් වේ.

යහපාලන ආණ්ඩුව බලයට පැමිණ සුළු කලකින් රොහාගේ බලය අඩපණ වුණු බැවින්, ඔහු අංජුගෙන් බේරීමට සැඟවුණු
දිවියක් ආරම්භ කර තිබේ. ඒ අතර කුරුණෑගල දී ඔහු උප පොලිස් පරීක්ෂකවරයකු ඝාතනය කරන්නේ අහඹු සිද්ධියකිනි. කට්ටි පනිමින් සිටි රොහා ගෝලයකු සමඟ කුරුණෑගලට යන්නේ එහි සිටි පොලිසියේ ප්‍රබලයකු
මුණගැසීමට ය. එදින රාත්‍රියේ ඔවුන් මත්පැනින් ද සප්පායම් වී රාත්‍රිය ගත කිරීමට හෝටලයකට පිටත්ව යන අතර, පොලිස් ප්‍රබලයා ඔහුගේ නිල නිවසට පිටත්ව ගොස් තිබේ.

රොහා කුරුණෑගලට ගොස් ඇත්තේ, වාහන කුලියට දෙන ආයතනයකින් සොරකම් කළ වාහනයක ය. වාහන හිමිකරු එම රථයේ ජී.පී.එස් තාක්ෂණික උපකරණ සවි කොට තිබීම නිසා වාහනය තිබෙන තැන දැක ඒ ගැන දෙහිවල පොලිසියට පැමිණිලි කළත්, ඉන් ඵලක් නොවුණු තැන 119 අමතා දැනුම් දී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය එම ස්ථානයට ගොස් පරීක්ෂා කරද්දී, රොහා විසින් පොලිසියට වෙඩි තබා ඉන් පලා යන්නේ ගෝලයා ද අතහැර ය. ගෝලයා වෙනත් ප්‍රදේශයකට පලා ගිය ද රොහා බස්රථයක නැඟී යද්දී මඟීන්ට සැකසිතී මඟීන් විසින් පොලිසියට භාර දෙනු ලබයි.

එම නඩුවට ඔහු ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවක දී වෙඩි තබා ඔහු ඝාතනය කිරීමට සැලැසුම් කරන අංජු, ටී. 56 ගිනි අවියක් අධිකරණ භූමියේ සඟවන්නේ වෙඩික්කරුට පැමිණ රැගෙන සිය කාර්යය ඉටු කර ගැනීම පහසු කිරීමට ය. නමුත්, ගිනි අවිය එහි සේවකයකුට හසු වීමෙන් රොහා නැවත බේරෙන්නේ ය. මේ අතර විෂ ශරීරගත කොට රොහා ඝාතනය කිරීම සඳහා සයිනයිඞ් ද මැගසින් බන්ධනාගාරයට යවන අතර එය ද අසාර්ථක වේ.
මැගසින් බන්ධනාගාරයේ සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවකු ලවා රොහා ඝාතනය කිරීමට ගිනි අවියක්

බන්ධනාගාරයට යැව්ව ද, එය ද අසාර්ථක වන්නේ ගිනි අවිය බන්ධනාගාරය තුළට ලැබෙන දිනම ඔහු මහර බන්ධනාගාරයට මාරු කර යැවූ බැවිනි.
කොරෝනාවෙන් පසු රට සාමාන්‍ය තත්ත්වයට පත් වීමත් සමඟ ඔහු ද ඇප ලබා යළිත් සමාජයට පැමිණෙන අතර, ඔහු විදේශගත වීමට කිහිප වරක්ම උත්සාහ කර ඇත. ඉකුත් මහ මැතිවරණයේ දී රොහා බදුල්ලට ගොස් සිය හිතමිතුරු දේශපාලකයාට උදවු කොට ඇත.
මේ අතර අංජු ද සිය උත්සාහය අත්නොහරිමින් පොලිසියේ එක් අංශයක නිලධාරීන් පිරිසකගේ හිත දිනා ගන්නේ ඔවුන්ට මිල මුදලින් හා සංග්‍රහවලින් උපකාර කරමිනි. වත්මන් ආණ්ඩුව පාතාලය මර්දනය කරන බව පෙන්වීම උදෙසා රොහාගේ ගෝලයන් ඝාතනය කිරීමට හා අත්අඩංගුවට ගැනීමට තොරතුරු සපයනු ලබන්නේ අංජු විසිනි. නමුත් පොලිසිය ප්‍රචාරය කළේ අංජුගේ ගෝලයන් අත්අඩංගුවට ගත් බව ය.

මේ අතර රොහා නුවරඑළියේ සුපිරි වෙළෙඳ සලක ෆාමසියක සිටි බවට අංජුට තොරතුරක් ලැබෙන්නේ ඔහුගේ ගෝලයකු හරහා ය. මේ ගැන ඔහු තමන්ට හිතවත් පොලිස් ඒකකයේ නිලධාරියාට දැනුම් දෙන අතර, ඔහු විසින් කණ්ඩායමක් යවා එම වෙළෙඳ සලේ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කරවනු ලබයි. එහි දී රොහා සිටින වීඩියෝව පොලිස් භාරයට ගැනෙන අතර, එම විඩියෝව අංජු විසින් සිය ෆේස්බුක් ගිණුමේ පළ කොට පසුව ඉවත් කර ගන්නේ පොලිස් ඒකකයෙන් පැමිණි දෝෂාරෝපණය හේතුවෙනි.
ඉන් අනතුරුව නැවතත් රොහා ඉන්දියාවට බෝට්ටුවකින් පලා යාමට සූදානම් වන බවට අංජුට තොරතුරක් ලැබෙන අතර, එය ඔහු පෙර පරිදිම පොලිස් ඒකකයට භාර දුන්නත්, ඔවුන් විසින් එය සාමාන්‍ය පොලිසියට භාර දෙනු ලබයි. ඒ අනුව පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීමට ගිය බවත්, එහි දී රොහා එල්ල කළ වෙඩි ප්‍රහාර වැළැක්වීමට එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් ඔහු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මිය ගිය බවත් ප්‍රකාශ විය.
රොහා මිය ගිය සතුට අංජු විසින් සිය ෆේස්බුක් ගිණුමේ පළ කොට තිබූ අතර ‘ගේම් ඕවර්’, ‘මිනිය ගෙනත් නයිට් ගහන්න බැහැ’ ආදී පෝස්ට් සිය ෆේස්බුක් ගිණුමේ පළ කොට තිබිණ. මේ අතර අංජු විසින් ලංසියාගේ සොහොන සිය ගෝලයන් ලවා මලින් සරසවා තිබුණු අතර, ඩ්‍රෝන යානා යොදා ගුවනින් මල් ඉසීමට කළ සැලසුම පොලිසිය විසින් ව්‍යර්ථ කොට තිබුණේ, ඩ්‍රෝන යානා අත්අඩංගුවට ගනිමිනි.
රොහා මිය යාමේ සතුට සැමරීමට අංජු විසින් සිය ගෝලයන්ට යහමින් මුදල් එවා තිබූ බැවින්, ගෝලයන් ද ලක්ෂ 20ක පමණ මුදලක් වියදම් කොට රතිඤ්ඤා දල්වා සතුට සමරා ඇති බව බුද්ධි අංශ ඉහළට වාර්තා කොට තිබිණි.
පාතාලයේ ප්‍රබලයකු ඝාතනය වුව ද, එවැනිම ප්‍රබලයකු වන මාකඳුරේ මධූෂ් තවමත් කිසිදු චෝදනා ගොනු කිරීමකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වී කමින්, බොමින් ප්‍රීතියෙන් කාලය ගත කරන බව පොලිස් ප්‍රධානියකු අප සමඟ පැවසී ය. ඔහු ඩුබායි රාජ්‍යයේ සිටිය දී, ඔහු හමුවීමට ගොස් සැප විඳි ඉහළ පොලිස් නිලධාරීන්, බන්ධනාගාර නිලධාරීන් මෙන්ම මැති ඇමතිවරුන් ගැන සඳහන් වුවත්, ඒ කිසිවක් ගැන විමර්ශනයක් පෙනෙන්නට නැත. තමන් සමඟ මත්කුඩු ජාවාරමේ නිරත වන ඇමතිවරයකු ගැනත් ඔහු විසින් ප්‍රකාශ කර තිබුණ ද, එම පරීක්ෂණ ද ඉදිරියට නොයන්නේ ද එම පුද්ගලයා දැනටත් ඇමතිවරයකු වන බැවිනි●
-ලසන්ත වීරකුලසූරිය

 

Leave A Reply

Your email address will not be published.

three × four =