ජනපතිගේ චක්‍රලේඛ ප්‍රකාශය අසාර්ථකත්වය වසා ගැනීමේ භයානක උපක්‍රමයක් !

විධායක ජනාධිපතිවරයා යනු චක්‍රලේඛවලට ඉහළින් සිටින්නකු බවට, තමන්ගේ වාචික නියෝග රජයේ නිල චක්‍රලේඛ ලෙස පිළිගත යුතු යැයි ඇඟවෙන ආකාරයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද ප්‍රකාශයක් පසුගිය දිනවල දැඩි කතාබහට ලක් විය. විධායකයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයාට එවැනි බලයක් තිබේ ද, එමඟින් රාජ්‍ය සේවයට සිදු වන්නේ කුමක් ද, ඇත්තටම චක්‍රලේඛ අවශ්‍ය ද, ජනාධිපතිවරයා එවැන්නක් කීවේ ඇයි යන කරුණු සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වූ හිටපු අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස් සමඟ කරන ලද සංවාදයක් ඇසුරින් මේ ලිපිය සැකැසිණි.

රාජ්‍ය සේවකයාගේ වගකීම

ත්‍රිවිධ හමුදාව ද ඇතුළුව ලංකාවේ සමස්ත රාජ්‍ය සේවය දහතුන් ලක්ෂ පනස්දහස ඉක්මවයි. මහා භාණ්ඩාගාරයෙන්
වැටුප් ලබන්නන් රාජ්‍ය සේවකයන් ලෙස සරලව හැඳින්විය හැකි ය. මහා භාණ්ඩාගාරයට එම මුදල් ලැබෙන්නේ මහජනතාවගෙන් අය කරන බදු මුදල්වලින් ය. මේ නිසා මහජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයාට බිඳිය නොහැකි වගකීමක් තිබේ.
රාජ්‍ය සේවයේ ව්‍යුහය, එසේත් නොමැති නම්, ක්‍රියාත්මක ස්වරූපයේ පිළිවෙළ ආරක්ෂා කිරීම සඳහා කොටස් තුනකින් රාජ්‍ය සේවය මෙහෙයවනු ලබයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉන් මූලික වේ. එහි රාජ්‍ය සේවකයා යනු කවුද, රාජ්‍ය සේවකයන් නොවන්නේ කවුද යන්න පැහැදිලිව හඳුන්වා ඇත. ඊට අමතරව ආයතන කටයුතුවල විධිමත්භාවය සඳහා සකස් කෙරුණු, වරින් වර සංශෝධනය කෙරුණු ආයතන සංග්‍රහය තිබේ. එසේම රාජ්‍ය සේවකයාගේ මූල්‍ය හැසිරීම පැහැදිලි කර ඇත්තේ මුදල් රෙගුලාසිවල ය. ඊටත් අමතරව ප්‍රසම්පාදන කටයුතුවල දී, එනම් භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ ක්‍රියාවලියේ දී රාජ්‍ය සේවකයා හැසිරිය යුතු ආකාරය ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ සඳහන් ය.

චක්‍රලේඛයක් යනු කුමක් ද?

මේ සියල්ලෙන් ආවරණය නොවන කරුණු ආවරණය කිරීම සඳහා ඉහත මූලික නීතිවලට යටත්ව අමාත්‍යාංශ ලේකම්වරුන් විසින් චක්‍රලේඛ නිකුත් කරනු ලබයි. චක්‍රලේඛයක් යනු නිශ්චිත කරුණක් පිළිබඳව රජයේ ප්‍රතිපත්තිය ලෙස ද හැඳින්විය හැකි ය.
චක්‍රලේඛ නිකුත් කිරීම අමාත්‍යාංශ ලේකම්වරයා මඟින් සිදු වුව ද, අදාළ විෂයභාර ඇමැතිවරයා නිකුත් කිරීමට නියමිත චක්‍රලේඛයේ කෙටුම්පතක් සමඟ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළ යුතු ය. ඊට අනුමැතිය ගත යුතු ය. එනම් චක්‍රලේඛයක් යනු විධායකයේ අනුමැතිය සහිතව කිසියම් නිශ්චිත කරුණක් සඳහා අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් රජයේ නිලධාරීන් වෙත නිකුත් කරනු ලබන ලියැවිල්ල වේ. එවැනි චක්‍රලේඛයකට පිටින් කටයුතු කරන ඕනෑම රජයේ නිලධාරියකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පවතී.

නිල ඇඳුම් චක්‍රලේඛයට සිදු වූ දේ

ඇතැම් විට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය නොමැතිව අමාත්‍යාංශ ලේකම්වරයකු විසින් චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබිය හැකිය. එවැනි අවස්ථා ඕනෑ තරම් යෙදේ. එහෙත්, එහි සඳහන් වන්නේ රජයේ ප්‍රතිපත්තියට අදාළ කරුණක් නම්, අදාළ අමාත්‍යාංශ ලේකම්වරයා කරන්නේ වරදකි.
උදාහරණයක් ලෙස වරක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද රජයේ නිලධාරීන්ගේ නිල ඇඳුම් පිළිබඳ චක්‍රලේඛය පෙන්වා දිය හැකි ය. මෙම චක්‍රලේඛය නිකුත් කිරීමෙන් පසු අදාළ විෂයභාර ඇමැතිවරයා පැවසුවේ, තමන් ඒ පිළිබඳව නොදන්නා බවයි. එම නිසා අමාත්‍යාංශ ලේකම්වරයාට අදාළ චක්‍රලේඛය ඉවත් කර ගැනීමට සිදු විය. එහෙත්, ප්‍රතිපත්තිමය නොවන කරුණු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයාට හෝ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හෝ චක්‍රලේඛ නිකුත් කිරීමේ බලය ඇත. එහි වගකීම ලේකම්වරයා දැරිය යුතු ය. එදිනෙදා පරිපාලන කරුණු සම්බන්ධයෙන් එවැනි චක්‍රලේඛ නිකුත් කෙරේ.

චක්‍රලේඛ නොමැති තත්ත්වයක්

චක්‍රලේඛ නිකුත් කිරීමේ අවස්ථා කිහිපයක් පෙන්වා දිය හැකි ය. ජනාධිපති ලේකම් කාර්යාලයෙන්, ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් චක්‍රලේඛ නිකුත් කෙරේ. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් මුදල් චක්‍රලේඛ නිකුත් කෙරේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ නිකුත් කෙරේ. මේ සියල්ලට මුලින් කී ක්‍රියාපිළිවෙළ අදාළ වේ.
කිසියම් ඉඩම් කරුණක් සම්බන්ධයෙන් මේ පිළිවෙළට සකස් නොවුණු විධිමත් චක්‍රලේඛ නොමැති වුවහොත්, සිදු වන්නේ කුමක් ද? ප්‍රාදේශීය ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් එකිනෙකාගේ පිළිවෙළට එම කරුණු විසඳීමට යාම ය. එවැනි හිස් අවකාශයක් ඇති වුවහොත්, අවුල් ජාලයක් මෙන්ම බරපතළ මහජන පීඩාවක් ද ඇති විය හැකි ය. එක් එක් විෂයයන්ට නිශ්චිත රාමුවක්, මඟපෙන්වීමක් සකස් කරන්නේ චක්‍රලේඛ මඟින් ය.

ජනපතිගේ අයිතිය

රටේ ජනාධිපතිවරයා යනු විධායකයේ ප්‍රධානියා ය. රාජ්‍ය සේවය ද විධායකයේ කොටසකි. එසේ නම්, විධායකයේ ප්‍රධානියාට සෘජුව රාජ්‍ය නිලධාරීන් ආමන්ත්‍රණය කිරීමේ අවස්ථාව තිබිය යුතු යැයි තර්කයක් ගොඩනැඟිය හැකි ය. එහෙත්, රාජ්‍ය සේවයේ ධුරාවලියක් තිබේ. එම ධුරාවලියට පිටින් විධායකයේ ප්‍රධානියා කටයුතු කිරීමට ගිය විට බරපතළ ගැටලු ඇති විය හැකි ය.
ධුරාවලිය සකස් වී ඇත්තේ ජනාධිපතිවරයා, ඇමැතිවරයා, නියෝජ්‍ය ඇමැති හෝ රාජ්‍ය ඇමැති, අමාත්‍යාංශ ලේකම්වරයා, දෙපාර්තමේන්තු ප්‍රධානීන් යන පිළිවෙළට ය. කෙසේ වෙතත්, ජනාධිපතිවරයාට මේ ධුරාවලිය මඟහැර ගොස් දෙපාර්තමේන්තු ප්‍රධානියාට සෘජුව නියෝග දීමේ පැහැදිලි අයිතියක් තිබේ. ඔහු විධායකයේ ප්‍රධානියා ය. එහෙත්, ධුරාවලියෙන් පැමිණෙන්නේ නම් කිසිදු අවස්ථාවක ගැටලු මතු නොවේ. උදාහරණයක් ලෙස ජනාධිපතිවරයා සෘජුව දෙපාර්තමේන්තු ප්‍රධානියකුට ලබා දෙන නියෝගයක් ක්‍රියාත්මක කිරීම සඳහා ඔහුට ඇමැතිවරයාගේ, අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය හෝ ප්‍රතිපාදන ලබා ගැනීමේ අනුමැතීන් අවශ්‍ය විය හැකි ය. එවැනි අවස්ථාවල දී අදාළ ජනාධිපති නියෝගය පිළිබඳව ඔවුහු නොදනිති. ගැටලු මතු වන්නේ අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානියාට ය.

ධුරාවලියට පිටින් යාම

කුරුණෑගල සහකාර මැතිවරණ කොමසාරිස් ධුරයේ මා කටයුතු කරන විට සිදු වූ සිදුවීමක් මීට අදාළව පෙන්වා දිය හැකි ය. ඡන්ද කොට්ඨාස පිළිබඳ ගැටලුවක් සම්බන්ධයෙන් වරක් මැතිවරණ කොමසාරිස් චන්ද්‍රානන්ද ද සිල්වා මහතා මා අමතා පැවසුවේ, අගමැතිවරයාට මා මුණගැසීමට අවශ්‍ය වී ඇති බවත්, හෙට අලුයම පහට ඔහු හමුවන ලෙසත් ය. එවිට අගමැතිවරයා වූයේ ආර්. ප්‍රේමදාස මහතා ය.
ඔහු අදාළ ගැටලුව පිළිබඳව මා සමඟ සාකච්ඡා කොට අවසානයේ දී පැවසුවේ, මේ සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කොට මැතිවරණ කොමසාරිස්වරයාට ලබා දෙන ලෙසයි. මගේ වාර්තාව සෘජුව ඔහුට ලබා දෙන ලෙස පැවසුවේ නම්, මැතිවරණ කොමසාරිස්වරයා ඒ පිළිබඳ නොදැනුම්වත් ය. එහි දී ගැටලු මතු විය හැකි ය. මේ සුමට ගැටලු විසඳීමේ පිළිවෙළ ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත් වීම් හරහා බිඳී යයි.

රාජ්‍ය නිලධාරීන්ගේ වගවීම සහ භීතියට පත් වීම

මෙහි දී රාජ්‍ය නිලධාරීන් භීතියට පත්වීම ද අනිවාර්යයෙන්ම සිදු වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කර ඇත්තේ, අමාත්‍යාංශ ලේකම්වරයා අමාත්‍යාංශයේ කටයුතු මෙහෙයවීම සිදු කළ යුත්තේ, අදාළ විෂයභාර ඇමැතිවරයාගේ විධානය සහ මඟපෙන්වීම අනුව බවයි. එහෙත්, මෙවැනි වාචිකව පැමිණි විධාන ක්‍රියාත්මක කිරීමට ගොස් අමාත්‍යාංශ ලේකම්වරුන් අමාරුවේ වැටුණු අවස්ථාවලට උදාහරණ පෙන්වා දිය හැකි ය. ජනාධිපතිවරයාගේ චක්‍රලේඛ පිළිබඳ ප්‍රකාශයට මෙය සෘජුවම අදාළ වේ.
වාචිකව ලබා දෙන මෙම නියෝග සම්බන්ධයෙන් පසුකාලීනව වගවන්නේ කවුද? උදාහරණයක් ලෙස වන අලි සම්බන්ධ ගැටලු සහිත ගමක ජනතාවට රාත්‍රියේ දී රෝගීන් ප්‍රධාන නගරයක පිහිටි රෝහලකට ගෙන යාමේ අසීරුතාව නිසා ඔවුන් ජනාධිපතිවරයාගෙන් රෝහලක් ඉල්ලා සිටිය හැකි ය. ජනාධිපතිවරයාට තම බලතල භාවිත කොට ප්‍රතිපාදන වෙන්කොට විශාල රෝහලක් එහි ඉදි කළ හැකිය. ජනාධිපතිවරයා එම කටයුතු සිදු කරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා මඟින් ය. එහිදී මූලිකව වගකීම ඉටු වේ. එහෙත්, ඉන් පසු රෝහලේ නඩත්තුව ඇතුළු වගවීමට අදාළ ක්‍රියාවලියට වග කියන්නේ කවුද? එනම්, ඉදිරි කටයුතු නිසි පරිදි පවත්වාගෙන යන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට උත්තරය කුමක් ද? ඒ ක්‍රියාවලියේ වගකීම අවසාන වශයෙන් දැරිය යුත්තේ ලේකම්වරයා ය.
මෙහි ඇති තවත් බරපතළ කරුණක් වන්නේ ඇමැතිවරුන් ද මේ පාරේ යාමේ ඉඩක් පැවතීම ය. තමන්ගේ නියෝග චක්‍රලේඛ ලෙස සැලකිය යුතු යැයි ඔවුන් ද රජයේ නිලධාරීන්ට බලපෑම් කිරීමේ තත්ත්වයක් ඇති නොවේ යැයි සහතික දිය හැක්කේ කාට ද?

රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව

මෙවැනි ප්‍රකාශයක අනෙක් පැත්ත ගැන ද අප කතා කළ යුතු ය. ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශයක් කිරීමට පෙළැඹුණේ ඇයි ? ඊට හේතු දෙකක් හඳුනාගත හැකි ය. පළමුවැන්න ජනාධිපතිවරයා දේශපාලනයට නවකයකු වීම ය. එම නිසා ජනතාව ඉදිරියට ගිය විට ඔහු උත්තේජනයට පත්ව ප්‍රකාශ නිකුත් කරනු දැකිය හැකි ය. දෙවැන්න නම්, ජනතාවගේ පාර්ශ්වයෙන් මෙවැනි ක්‍රියාවලියක් සඳහා ඉල්ලුමක් තිබීම ය. ඊට හේතුව සියල්ලන් අත්දැක ඇති රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවයි.

ජනතාවගේ පැත්තෙන් මේ කතාවට අත්පොළසන් නැඟීම ද

අසාධාරණ නොවේ. එවිට යමකුට තර්ක කළ හැක්කේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ අදහස චක්‍රලේඛ පිළිබඳ කීමක් නොව මේ අකාර්යක්ෂමතාව ගැන කීමක් ය යනුවෙන් ය. රාජ්‍ය සේවකයන්ට මෙහි දී බරපතළ වගකීමක් තිබේ. ඔවුන්ට අවශ්‍ය භෞතික සම්පත් වර්ධනයට සාපේක්ෂව සේවා සැපයීමේ වර්ධනයක් නොමැත. එම නිසා මෙවැනි තත්ත්වයකට, ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට ජනතාව අත්පොළසන් දෙන තත්ත්වයට ඔවුන් ද වගකිව යුතු ය. රටේ නිෂ්පාදනය ඉහළ නොයන තත්ත්වයක් තුළ රජයේ රැකියා සීමාවකින් තොරව ලබා දීම මෙසේ ඵලදායීතාව පහළ බැසීමට මූලික හේතුවකි. සෑම ආණ්ඩුවක්ම මේ වරද කර ඇත. මේ ආණ්ඩුවත් එය කරමින් සිටී. රැකියා ලබා දීමට කිසිවකුට විරුද්ධ විය නොහැකි ය. එහෙත්, ඊට සැලසුමක් තිබිය යුතු ය.

සමස්තය අත්හැරීම

ජනාධිපතිවරයාගේ අදාළ ප්‍රකාශය හුදෙකලා කොට ගතහොත්, ඔහු මේ ගැටලු පිළිබඳව සමස්තයක් ලෙස නොබැලීම බරපතළ ප්‍රශ්නයක් ලෙස හඳුනා ගත හැකි ය. මුලින්ම වේරහැර මෝටර් රථ ප්‍රවාහණ කොමසාරිස් දෙපාර්තමේන්තුවට ගියේ ය. එහි ගොස් ‘සිස්ටම්ස්’ දියුණු කරන්නැයි කීවේ ය. එහෙත්, එය කරන හැටි කියන්නට හෝ ඊට අවශ්‍ය දේ ලබා දීමට හෝ ඔහු කටයුතු කළේ නැත. අවසානයේ එහි කිසිවක් වෙනස් වී නැතැයි ජනතාව කියයි. ඉන් පසු ජාතික රෝහලට ගියේ ය. කටුනායක ගුවන්තොටුපොළට ගියේ ය. මිනින්දෝරු දෙපාර්තමේන්තුවට ගියේ ය. නිවාස සංවර්ධන අධිකාරියට ගියේ ය. සිංහරාජය ආශ්‍රිතව ඉදි කෙරෙන ලංකාගම පාර බලන්නට ගියේ ය.

අසාර්ථකභාවය යටපත් කිරීම

ජනාධිපතිවරයා යනු රටේ සමස්ත ජනතාවගේ නායකයා ය. ඔහු මෙවැනි ක්ෂුද්‍ර දේ පසුපස යාමෙන් ඵලක් නැත. ඔහුගේ කාර්යය සමස්ත වැඩසටහනක්, විධිමත් ප්‍රතිපත්තියක් සකස් කොට පෙර කී ධුරාවලිය ප්‍රයෝජනයට ගනිමින්, එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම ය. එවිට ඔහු දැනට මැදිහත් වන ක්ෂුද්‍ර ප්‍රශ්න කොහොමත් විසඳෙන්නේ ය. ඔහුගේ එවැනි දැක්මක් දැනට නම් අපට පෙනෙන්නේ නැත. තමන්ගේ අසාර්ථකකම් මෙවැනි අධිපතිවාදී ක්‍රම හරහා යටපත් කිරීමට දරන උත්සාහයකි, මේ. ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි ජනතාවට සහන දීමට අපොහොසත් වී ඇත. ඔහු ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුර පැවසූ කරුණු එකින් එක නොව ශීඝ්‍රයෙන් බිඳවැටෙමින් තිබේ. පරිණත දේශපාලනඥයකු නොවන ඔහුට ඒ තත්ත්වයට මුහුණ දීම අසීරු වී තිබේ. මෙහි ඇති අනතුර වන්නේ මේ හරහා ඉදිරියේ දී ප්‍රජාතන්ත්‍රවාදයට, ජනතාවගේ අයිතීන්වලට එල්ල වන බලපෑමයි. අසාර්ථකත්වය වසා ගැනීමේ මේ උපක්‍රමය භයානක වන්නේ ඒ නිසා ය. එම නිසා බහුතරය හිතන තරම් මේ ප්‍රකාශ සරල නැත.
ශාලික විමලසේන

Leave A Reply

Your email address will not be published.

eight + 9 =