දොස්තරගේ කතාව – පිළිවෙළට බලන්න

වඳ පෙති සහ කාන්තාවන්ගේ යන ඇඳුම් වලට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කිරීම මගින් ඔවුන් වඳ භාවයට පත් කරන බවට පසුගිය කාලය පුරාම ආන්දෝලනාත්මක පුවත් වාර්තා විය. එහෙත් ඒවා බොහොමයක් නිශ්චිත තොරතුරක් හෝ සිදුවීමක් මුල් කරගෙන ඇති වූ ඒවා නොවීම නිසා ඒවායේ ඇත්ත නැත්ත ගැන විශාල කතිකාවක් සමාජය තුළ නිර්මාණය වූයේ නැත. ඒ ගැන ඇත්ත නැත්ත කියන්නට මේ රටේ වෛද්‍ය වෘත්තිකයන් ඉදිරිපත් වූයේ ද නැත. ඒ නිසා ‘වඳ පෙති’ සහ ‘වඳ ඛෙහෙත්’ කතාව සංකල්පයක් ලෙස සමාජය තුළ වර්ධනය විය. එසේ සංකල්පයක්ව පැවති ‘වඳ කතාව’ පුපුරා යන්නේ පසුගිය දා දිවයින පුවත්පත විසින් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකු සිසේරියන් සැත්කම් කරද්දී සිංහල කාන්තාවන් වඳ භාවයට පත් කර ඇති බවට ප්‍රවෘත්තියක් වාර්තා කිරීමත් සමගය.

දිවයින පුවත
”සිංහල බෞද්ධ මවුවරුන් 4000කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු වන වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත. සිංහල බෞද්ධ මවුවරුන් පළමු දරු උපත සඳහා සිසේරියන් සැත්කමට භාජනය වෙද්දී සැකකාර වෛද්‍යවරයා ඉතාම සූක්ෂම ආකාරයට එම මවුවරුන්ගේ ශරීරයේ පැලෝපීය නාලය ගැටගසා ඔවුන් වඳ භාවයට පත් කර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ. සැත්කමට භාජනය වන සිංහල බෞද්ධ මවුවරුන්ට නොදැනෙන්නට මෙම වෛද්‍යවරයා මේ ආකාරයට ඔවුන් වඳ භාවයට පත් කර ඇති බව ද අනාවරණය වී ඇත.
සැකකාර වෛද්‍යවරයා වසර ගණනක් තිස්සේ ගැබිනි මවුවරුන් හත්දහසකට වැඩි පිරිසකට සිසේරියන් සැත්කම සිදු කර ඇති අතර ඒ අතරින් හාරදහසකට අධික බෞද්ධ මවුවරුන් මේ ආකාරයට වඳ භාවයට පත් කර ඇති බව හෙළි වී තිබේ. මෙම වෛද්‍යවරයා තම හිතවතුන් කීපදෙනකු සමගම මේ බව ප්‍රකාශ කර ඇති අතර මොහුගේ මෙම කි්‍රයාකලාපය පිළිබඳව සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ නිලධාරීන් කීප දෙනකු ද පොලිසියට තොරතුරු ලබාදී ඇත. වෛද්‍යවරයා මෙම අපරාධය සිදු කළ බවට සාක්ෂි සහිතව තොරතුරු ලැබී ඇති බව ද පොලිසිය පවසයි.
සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් සතියකට වැඩි කාලයක් තිස්සේ පොලිසිය පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරගෙන යන අතර ඉදිරි දින කීපය ඇතුළතදී මොහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද පොලිස් ආරංචි මාර්ග පැවසීය. තව්හිද් ජමාත් ත්‍රස්ත කල්ලියට සම්බන්ධ ප්‍රබල සාමාජිකයන් කීප දෙනකුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම වෛද්‍යවරයා පිළිබඳව තොරතුරු හෙළි වූ බව ද එම ආරංචි මාර්ග කියා සිටියහ.”

මේ වාර්තාව පල වීමත් සමග සමස්ත සමාජය තුළම මහත් කැළඹීමට එය හේතුවක් විය. පොලිස් පරීක්ෂණ සිදු කරන බවත්, ඒවැන්නක් සිදු කර ඇති බවට මේ වන විට හෙළි වී තිඛෙන බව පොලිසිය පැවසූ බවත්, එසේ සිංහල කාන්තාවන් වඳ කිරීමට සිදු කර ඇත්තේ පැලෝපීන නාලය ගැට ගැසීමෙන් බවත් නිශ්චිතව පවසා තිබියදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ පළමු ප්‍රකාශය
”සිසේරියන් සැත්කම්වලින් පසු ‘තව්හීද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් හාරදහසක් වඳ කරලා – සාක්ෂි සහිතව තොරතුරු හෙළි වෙලා – දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ’ යන ප්‍රධාන සිරස්තලය යටතේ දිවයින පුවත්පතේ සඳහන් වූ ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කිසිදු විමර්ශනයක් සිදුකර නැහැ.
මෙවැනි වඳභාවයට පත්කිරීම සම්බන්ධයෙන් මේ වනතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ පොලිසිය විමර්ශන කර නැහැ. ඒ වගේම මේ කියන කාරණය සම්බන්ධයෙන් පැමිණිලි කිසිදු පොලිස් ස්ථානයකට ලැබී නැහැ. නමුත් කුරුණෑගල ප්‍රදේශයේ එක්තරා වෛද්‍යවරයකුගේ විශාල වත්කම් සම්බන්ධයෙන් ඔහු ඒවා උපයා ගැනීම පිළිබඳව ලැබුණු තොරතුරු කිහිපයක් අනුව කුරුණෑගල පොලිස් ස්ථානය මගින් විමර්ශනයක් කරනවා. මා එම විමර්ශනය පිළිබඳව සඳහන් කළේ එහි වෛද්‍යවරයකු සම්බන්ධ වී සිටින නිසයි. මෙවැනි වාතාවරණයක් යටතේ මේ ආකාරයේ ප්‍රවෘත්තියක් පළකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකිරීමටත් කටයුතු කරනු ලැබුවා”

මේ ප්‍රකාශය සිදු කර දින දෙකක් ගත වන්නටත් පෙර අදාළ වෛද්‍යවරයාගේ වත්කම් සම්බන්ධයෙන් සැකයක් පවතින නිසා ඔහු කුරුණෑගල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් තවත් ප්‍රකාශයක් කරන්නේ ඉන් අනතුරුවය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ දෙවැනි ප්‍රකාශය
”කුරුණෑගල රෝහලේ සේවය කරමින් සිටියදි අත්අඩංගුවට ගත් ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ශිහාබ්දීන් සාෆි සම්බන්ධයෙන් වන්ධ්‍යාකරණ පැමිණිලි ඇත්නම් ඒවා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න”
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එවැනි ඉල්ලීමක් කරනතුරු පොලිස් දෙපාර්තමේන්තුවට හෝ වෙනත් කිසිදු ස්ථානයකට කාන්තාවන් වඳ භාවයට පත් වූ බවට වූ පැමිණිල්ලක් ලැබී තිබුණේ නැත. ඒ අනුව දිවයින පුවත්පත වාර්තා කර ඇත්තේ ප්‍රබන්ධයක් බව පැහැදිළිය.

කෙසේ වෙතත් ඉන් මේ සිදුවීම් සමග ඉහත කී වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් 7000ක කතාව 8000ක් බවට පත් වන්නේ එම වෛද්‍යවරයා විසින්ම ඊට පෙර සම්මුඛ සාකච්ඡාවකදී තමන් සිසේරියන් සැත්කම් 8000ක් කර ඇති බව සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණු බව හෙළි වීමත් සමගය. වඳ බවට පත් කිරීමේ ගණන 4000කම පැවතුණි.
එහෙත් සිසේරියන් සැත්කමකදී වඳ භාවයට පත් කළ හැකිද යන්න ගැන නිසි විචාරීමකින් තොරව, ඔහු විසින් කළ සැත්කම් 8000ම අවසානයේ එම කාන්තාවන් වඳ භාවයට පත් කර ඇති බව නිගමනය කළ අතුරලියේ රතන හිමියන් වැන්නවුන්, ඔවුන් බිහි යුතුව තිබූ දරුවන් සංඛ්‍යාව ද ගණන් හදා පෙන්වමින් සිංහල ජාතිය වඳ කිරීමේ මහා සැලැස්මක් ඇති බව මාධ්‍ය සාකච්ඡා කැඳවමින් පැවසීය.
සිසේරියන් සැත්කමක් අවසානයේ කාන්තාවක් නැවත දරුවන් සෑදිය නොහැකි තත්ත්වයකට පත් කළ හැකිද යන්න පිළිබඳ සහ එවැන්නක් සිදුවූයේනම් ඒ ගැන සොයා බැලීම සඳහා කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳ වෛද්‍යවරුන්ගේ අදහස් පළ වුවද ඒ පිළිබඳ ඒ හැටි අවධානයක් යොමු නොවුණි.

වෛද්‍ය මත
කුරුණෑගල රෝහලේම සේවයේ නියුතු ප්‍රසව හා නාරිවේද ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය ගාමිණී විමලරත්න ඒ සම්බන්ධයෙන් මත පළ කළ වෛද්‍යවරුන් අතරින් එක් අයෙකි. මේ ඔහුුගේ ප්‍රකාශයයි.
”ප්‍රථමයෙන්ම මේ සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරයා පිළිබඳව මාගේ ද එතරම් ප්‍රසාදයක් නැති බව කිව යුතුය. මා ඔහු දන්නා නමුත් අප අතර ඇසුරක් නොමැත. මම කුරුණෑගල ශික්ෂණ රෝහලේම නාරි හා ප්‍රසවවේද අංශයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරි වරයෙක් ලෙස දීර්ඝ කාලයක අත්දැකීම් ඇත්තෙක්මි. හරිහැටි ගනන් බලා නොතිබුණත් මා විසින් ද සිසේරියන් සැත්කම් 4000කට වඩා කර ඇත.
සිසේරියන් සැත්කමකදී ශල්‍ය කර්මය සිදුකරන වෛද්‍යවරයාගේ සහායට තවත් වෛද්‍යවරයෙක් සහ මනා පුහුණුවකින් යුත් හෙදියක් සහභාගී වේ. ශල්‍යකර්මයේ සියලූම පියවර පිළිබඳ ඔවුන් මනාලෙස දැනුම්වත්ය. ඔවුනගේ ඇස් වසා පැලෝපීය නාල ගැටගැසීමක්වත් ඒවා කැපීමක්වත් කළ නොහැකිය. මන්ද යත් එම ක්‍රියාවන් හට අවශ්‍ය උපකරණ, නූල් යනාදිය සැපයිය යුත්තේ සහායක හෙදිය විසින් බැවිනි. පැලෝපීය නාල යනු ඉතා කුඩා අන්වීක්ෂීය ඉන්ද්‍රියක් නොවේ. ඒවාට උපකරණයක් ඇසුරෙන් හානි කළහොත් මනාව අවට සිටින්නන්ට දර්ශනය වේ. නමුත් අනිත් අයගේ ඇස් වසා එක දෙයක් කළ හැකි බව කිවයුතුය. එනම් තම ඇගිලි තුඩුවලින් නාල මිරිකා තැළීමකට ලක් කළ හැකිය. මෙයින් නාලවලට කිසියම් වූ හානියක් ඇති කළ හැකිය. එහෙත් ප්‍රායෝගිකව එම නාල නැවත යථා තත්ත්වයට පත්වීමේ හැකියාව වැඩිය. කරුණු මෙසේ හෙයින් මේ 4000 වඳ කිරීමේ කතාව යථාර්ථයක් නොවෙන බව මගේ හැගීමය. කලකට පෙර ශල්‍යකර්ම වලදී වකුගඩු ඉවත්කරන බවට පළ වූ කතාව සිහිපත් කරමි.
මෙහි පළ වූ තවත් අදහසක් ගැන අවධානය යොමුකරමි. එනම් නිසරු කාන්තාවන්ට සිදු කරන පරීක්ෂණ හෝ ශල්‍යකර්මවලදී නාලවලට හානි කිරීමට ඇති හැකියාව පිළිබඳවය. එවැනි පරීක්ෂණවලදී නාල අත නොගැසෙන බැවින් එවැනි යමක් කළ නොහැකිය. නාල සම්බන්ධ ශල්‍යකර්ම සාමාන්‍යයෙන් VOG වරයෙකුගේ මූලිකත්වයෙන් මිස SHO කෙනෙකුගේ මූලිකත්වයෙන් සිදුනොවේ.
අවසාන වශයෙන් මෙසේ කිව යුතුය. මේ කියන වෛද්‍යවරයා එවැනි දෙයක් කළා නම් සහායකයින්ගේ සහායෙන් තොරව එවැන්නක් කළ නොහැකිය. මා ඉතා හොදින් දන්නා පරිදි එවැනි නිර්ලජ්ජිත සහායක වෛද්‍යවරුන් හෝ හෙද නිලධාරීන් කුරුණෑගල රෝහලේ නොමැත.

බ්‍රිතාන්‍යයේ මිල්ටන් කේන්ස් විශ්වවිද්‍යාල රෝහලෙහි සේවය කරන වෛද්‍ය පියල් පෙරේරා පල කරන්නේ ද මීට සමාන අදහසකි.
”සිසේරියන් සැත්කම් දස දහසකට වඩා සිදුකර ඇති වෛද්‍යවරුන් සිය ගණනකි. වඳ සැත්කම් දසදහසකට වඩා සිදුකර ඇති වෛද්‍යවරුන් අතලොස්සක් ඇත. නමුත් සිසේරියන් සහ වඳ සැත්කම් හාරදහසක් සිදු කිරීමට එක වෛද්‍යවරයෙකුට ලැඛෙන ඉඩකඩ ඉතාම අල්පය. සියල්ලටම රහසේ එතරම් ප්‍රමාණයක් සිදුකිරීම ඇත්තෙන්ම හිතළුවකි.
සාමාන්‍යයෙන් සිසේරියන් සැත්කමක් සිදු කිරීමේ දී ගර්භාෂය කපා දරුවා සහ වැදෑමහ ඉවත් කර ගර්භාෂ නැවත මසා අවසන් වන තුරු පැලෝපීය නාල දෙස අත ඇස හිත යොමන්නේ නැත. එනමුත් සැත්කම දෙස සැම විටම ඇස් හයක් යොමුවේ. ඒ සැත්කම සිදුකරන්නා, සහායක වෛද්‍යවරයා සහ සහායක හෙදියගේය. සමහරු ගර්භාෂය බඩේ කැපුම හරහා ඉවතට ඇද මසන අතර එවිට ඕනෑම අයකුට පැලෝපීය නාලයන් දැකගත හැක.
වඳ සැත්කමක් සාර්ථක වීම සඳහා පැලෝපීය නාලය අවහිර කිරීම හෝ කොටසක් කපා ඉවත් කිරීම කළ යුතුය. සීසේරියන් වඳ සැත්කමකදී දෙවන, එනම් පැලෝපීය නාල කොටසක් ඉවත් කිරිමේ, ක්‍රමය අනුගමනය කරන අතර එම සැත්කමක් අසාර්ථක වීමේ හැකියාව දෙසියට එකකි.
‘යතුරු සිදුරු වඳ සැත්කම’ කරනවිට ලෝහ හෝ ප්ලාස්ටික් වළලූවලින් පැලෝපීය නාලය අවහිර කරනු ලබයි. මෙය වඳ සැත්කම් කිරිමේ පිළිගත් ක්‍රමවේදයයි. සමහරු මේවා යම් වෙනස්කිරීම් සහිතව සිදුකරති. පැලෝපීය නාලය සැත්කම් අඩුවකින් තද කරතැබීම, ඩයතමි තාපය යෙදීම සහ සැත්කම් නූලකින් පැලෝපීය නාලය ගැට ගැසීම වැනි අසම්මත ක්‍රම අසාර්ථක වන්නේ නාලය නැවත සැකසෙන (Re Canalization) නිසා සහ ගර්භාෂයෙන් පිටත (Ectopic pregnancy ) පිළිසිඳීම සිදු වන නිසාය.
සීසර් සැත්කමක් කරන අවස්ථාවකදී සාමාන්‍යයෙන් Artery Forceps යන අඬුව හෝ ඩයතමි උපකරණය පැලෝපීය නාල වෙත ගෙන එනු නොලැබේ. නමුත් ගර්භාෂ බිත්ති උදර බිත්තියට ඇලී පවතින අවස්ථාවකදී අමතර අඬු හෝ ඩයතමි උපකරණ පාවිච්චි කරනු දැකිය හැක. සාමාන්‍ය සිසේරියන් සැත්කමකදී ගර්භාෂය තුළට භාවිතා කරන අඬු වර්ගය මගින් පැලෝපීය නාලවලට තෙරපුමක් ඇති කළ නොහැක. ඒවාට ග්‍රීන් ආර්මිටේජ් අඬු යයි කියනු ලැබේ. හොඳ පුහුණු වෛද්‍යවරයෙකු මේ හැර වෙනත් කිසිදු අඬුවක් යොදා නොගන්නා අතර කාටත් රහසින් එසේ යොදා ගැනීම ද හිතලූවක් පමණි. එසේ වුවද වෙනත් විශේෂ අවස්ථාවලදී අමතර වෙනත් අඬු පාවිච්චිය සිදුවිය හැකි නමුත් හැමවිටම සහායක වෛද්‍යවරයා හෝ සහායක හෙදිය නොදැනුවත්ව එය සිදු කළ නොහැක.
සිසේරියන් සැත්තම් හාරදහසකදී වඳ සැත්කම හෝ පැලෝපීය නාලවලට හානි කිරීම් හොරෙන් කිසි විටෙකත් සිදු කළ නොහැකි වන්නේ ඔහුට අවම වශයෙන් එම කාලය තුළ දහ දෙනකුට වඩා සහයක වෛද්‍යවරුන් සහ විසි දෙනෙකුට වඩා සහයක හෙදියන් සිටිය යුතු බැවින් ඔවුන් කිසිවකු හෝ සැක කොට අදාළ තැන් වලදී සාකච්ඡා කිරීම හෝ ඉහළට දැනුම් දීම සිදු නොවේ යැයි සිතන්නේ නම් එය මුලාවකි.”

එහෙත් ඊට ප්‍රතිපක්ෂවද වෛද්‍ය මත පල වී තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂ්‍ය වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහළ පවසන පරිදි ගර්භනී මතාවකට සිසේරියන් සැත්කමක් සිදුකිරීමේදී වෛද්‍යවරයෙකුට අවශ්‍ය නම් ඇයගේ පැලෝපීය නාලයට හානි කිරීමේ හැකියාවක් පවතින අතර එලෙස පැලෝපිය නාලය අවහිරවීමෙන් පසුව එහි ක්‍රියාකාරීත්වය නතර විය හැකිය. සිසේරියන් සැත්කම අතරතුර පැලෝපීය නාලයේ අග කොටස වසා දැමීම නාලයේ මැද කොටස ශල්‍ය උපකරණයක් මගින් තදකර අවහිර කිරීම හා නාලයේ ඉහළ කොටසට හානී කිරීම වැනි ක්‍රියාවක් සිදුකළ හැකි බවද මහාචාර්ය දොඩම්පහළගේ අදහසයි.
මෙවැනි පරස්පර අදහස් නිසා වෛද්‍ය මත සම්බන්ධයෙන් ද යම් ව්‍යාකූලත්වයක් නිර්මාණය විය.

ශිහාබ්දීන් සාෆිගේ පැටිකිරිය
ලංකාවේ සිසේරියන් සැත්කම් පිළිබඳ අන්තර්ජාලයේ කරුණු සොයා බලනවිට හමු වන්නේ වසර 10කට වඩා මඳක් වැඩි කලක් රජයේ රෝහල් වල සේවය කළ වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම් 8000කට වඩා කර ඇති බවත් සාමාන්‍ය දරු උපත් 15000 කට වඩා කර ඇති බවත් පුවත් පත් සම්මුඛ සාකච්ජාවකදී පවසා ඇති බවයි. ඒ හැරුණු විට නාරි වේද සැත්කම් 5000කට වඩා තමන් කළ බව ද ඔහු පවසා තිබේ. ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ජාව පළ වූ පුවත්පත් පිටුවේ පිටපතක් මේ වෛද්‍යවරයාගේ මුහුණු පොතේ දැක ගත හැකිය. මේ වෛද්‍යවරයා කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කළ වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ය. ඔහු පසුව වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව රිෂාඩ් බද්යුදීන්ගේ පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය මහ මැතිවරණයට එජාපයෙන් තරග කළේය. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වූ වෛද්‍ය සාෆි පසුව නැවත වෛද්‍ය වෘත්තියට එක් විය.

ශිහාබ්දීන් සාෆිගේ ආදායම්
විදෙස් රැකියා සඳහා පිටව යන ශ්‍රමිකයින් අනිවාර්යයෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතිය ලත් වෛද්‍ය මධ්‍යස්ථානයකින් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතුය. එවන් වෛද්‍ය සහතික නිකුත් කරන වෛද්‍ය මධ්‍යස්ථාන දෙකක් වෛද්‍ය ශිහාබ්දීන් සාෆිට අයත්ව තිබේ. කුරුණෑගල යනු ශ්‍රී ලංකාවේ විදෙස් රැකියා අංශයේ කේන්ද්‍රස්ථානයකි. ශිහාබ්දීන් වෛද්‍යවරයාගේ වෛද්‍ය මධ්‍යස්ථා දෙකට දෛනිකව 100කට වැඩි පිරිසක් වෛද්‍ය සහතික ලබාගැනීම සඳහා පැමිණෙන බවත් එක් අයකුගෙන් රුපියල් 8,000ක පමණ මුදලක් අය කෙරෙන බවත් වාර්තා වේ. ඒ අනුව වෛද්‍ය ශිහාබ්දීන්ට මෙම වෛද්‍ය මධ්‍යස්ථාන දෙකෙන් පමණක් දිනකට ලැඛෙන ආදායම රුපියල් ලක්ෂ 8කි. ඒ නිසා අත් අඩංගුවට පත්ව සිටින සෙයිගු ශිහාබ්දීන් මොහොමඩ් සාෆි නමැති වෛද්‍යවරයා කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකි. නිවැරදිව කිවහොත් වෛද්‍ය ව්‍යාපාරිකයෙකි.

වත්කම් ප්‍රශ්නය
වෛද්‍ය ශිහාබ්දීන් සාෆිගේ වත්කම් ගැන පෙත්සම් යොමු කරන්නේ කුරුණෑගල නගරයේම සිටින තවත් මුස්ලිම් ජාතික කෝටිපති ව්‍යාපාරිකයෙකි. මෙම කෝටිපති ව්‍යාපාරිකයා ශිහාබ්දීන් සාෆිට විරුද්ධව වැඩ කරන්නේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තමාගේ පුතා වන අසාර්දීන් මොයුනිදීන්ට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වීමේ අවස්ථාව උදාකර දීමටය. 2015 දී එක්සත් ජාතික පෙරමුණෙන් තරග කරන ශිහාබ්දීන් සාෆි එවර තරග කිරිමට අවස්තාව ලබාගන්නේ රිෂාඩ් බදියුදීන්ගේ පක්ෂයෙනි. ඇත්ත වශයෙන්ම 2015 දී මෙම අත්අඩංගුවට ගත් දොස්තර සියාබ්දීන් මොහොමඩ් සාෆි ජයග්‍රහණය කළ බවත් පාර්ලිමේන්තුවට යාමට නොහැකි වන්නේ එස්.බි.නාවින්නට පාර්ලිමේන්තු යාමට අවස්ථාව ලබා දීම සදහා රනිල් වික්‍රමසිංහගේ කීමට අකිල විරාජ් සහ ජයවික්‍රම පෙරේරා එක්ව කරන කූට ක්‍රියාවක් නිසාය. ඒ අනුව එස්.බි.නාවින්නට පාර්ලිමේන්තු වරම් හිමි වන අතර අත්අඩංගුවේ පසුවන ශිහාබ්දීන් සාෆිට පාර්ලිමේන්තු වරම් අහිමි වන්නේය.

අකිලගේ කරුණාව
2015 දි සිදු කළ කුමන්ත්‍රණය හෙළිදරව් වීම හේතුවෙන් අකිල විරාජ් විසින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වීමේ අවස්ථාව ලබා දීමට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගන්න ලෙස සෙයිගු ශිහාබ්දීන් මොහොමඩ් සාෆිට දන්වා ඇත. ඒ අනුව මීට මාස හතරකට පමන් පෙර ශිහාබ්දීන් සාෆි එකසත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ. එපමණක් නොව ශිහාබ්දීන් සාෆිගේ දියණියන් දෙදෙනා මලියදේව බාලිකා විදුහලට ඇතුලත් කර දී ඇති අතර, පිරිමි දරුවා මලියදේව පිරිමි විද්‍යාලයට ඇතුකත් කර දී ඇත්තේ අකිල විරාජ් කාරියවසම් විසිනි.
ශිහාබ්දීන් සාෆිට එරෙහිව වත්කම් චෝදනා එල්ල වන්නේ මීට මාස හතරකට පෙර අකිල විරාජ් සමග ඇති කරන්නා හිතවත් කමක් නිසාත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමත්, ඉදිරි මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කිරීමට අවස්ථාව ලබා දීමට අකිල විරාජ් කාරියවසම් විසින් සාෆිට පොරොන්දු වී ඇතැයි කෝටිපති ව්‍යාපාරිකයාට ආරංචී වීමත් සමගය. එම නිසා කෝටිපති ව්‍යාපාරිකයා විසින් කුරුණෑගල නගරාධිපති හා එක්ව ශිහාබ්දීන් මොහොමඩ් සාෆිට විරුද්ධව පෙත්සම් යොමු කරන්නේ වත්කම් ගැන ප්‍රශ්න කරන ලෙසට රහසිගතවය.

දී කිරට තවත් සාක්කි
සාෆි වෛද්‍යවරයා විසින් මෑතකදී කුරුණෑගල වැව රවුමේ ගොඩනැගිල්ලක් මිලදී ගෙන තිබිණි. මෙම ගොඩනැගිල්ල මිලදී ගැනීම සඳහා තවත් පාර්ශ්වයක් ද ඉදිරිපත්ව සිට ඇති අතර ඔවුන් කුරුණෑගල සිංහල වෙළඳ සංගමය නියෝජනය කරන පිරිසකි. ගොඩනැගිල්ල මිලදී ගැනීම සඳහා දෙපාර්ශ්වය තරගයක නියැළෙද්දී රුපියල් කෝටි 13ක පමණ මුදලකට සාෆි වෛද්‍යවරයා විසින් එය මිලදී ගෙන තිබේ. මෙහිදී උරණ වූ අනෙක් පාර්ශ්වය වෛද්‍යවරයාගෙන් පළිගැනීම සඳහා කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ සහාය ඉල්ලා ඇත. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අණින්, සාෆි වෛද්‍යවරයා අයථා ලෙස වත්කම් උපයා ඇති බවට චෝදනාවක් යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇත. ශිහාබ්දීන් මොහොමඩ් සාෆි අත්අඩංගුවට ගනු ලබන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.
අයථා වත්කම් පිළිබඳ විමර්ශනය කිරීම පොලිස් දෙපාර්තමේන්තුවට අයත් වගකීමක් නොවන අතර එය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ වගකීමකි. එම චෝදනා යටතේ පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමේ අධිකරණ බලය ඇත්තේ ද පොලිසියට නොව අල්ලස් කොමිසමටය. එහෙත් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඒ කිසිවක් නොසලකමින් අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

දිවයින මාධ්‍යවේදී හේමන්ත රන්දුනුගේ ප්‍රකාශය
මෙවැනි සංවාද මැද උත්කර්ෂයට පත් සිදුවීම් පෙළ පිළිබඳ විමර්ශනය ඉදිරියට යද්දී දිවයින පුවත්පතේ පාලනාධිකාරියට සහ ආරක්ෂ අංශ නිලධාරීන් වෙත හේමන්ත රන්දුණු ප්‍රකාශ කර ඇත්තේ අදාළ පුවත සකස් කිරීම සඳහා තමන්ට තොරතුරු ලබාදුන්නේ කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් විසින් බවය.
මේ කියන කිත්සිරි ජයලත්ගේ බිරිඳ කුරුණෑගල රෝහලේ සේවය කරන වෛද්‍යවරියක් බවත් ඇය රෝහල් අධ්‍යක්ෂ සරත් වීර බණ්ඩාරගේ ගෝලයකු බවත් දැනටමත් අනාවරණය වී ඇත. ඒ අනුව කතාව ගෙතුණු ආකාරය සහ නීතිමය බලාධිකාරියක් නොමැතිව අයථා වත්කම් චෝදනාවක් යටතේ සෙයිගු ශිහාබ්දීන් මොහොමඩ් සාෆි නම් වෛද්‍යවරයාව අත් අඩංගුවට ගැනීමේ නාටකය රඟ දැක්වුණු ආකාරය පිළිබඳ තහවුරු කිරීමක් හේමන්ත රන්දුණු විසින්ම නිල නොවන අයුරින් සිදු කර තිබේ.

ලංකාදීප පුවත
වෛද්‍ය සාෆිගේ වත්කම් ගැටලූව ගැන දිවයින පුවත්පතට පෙර ලංකාදීප වෙබ් අඩවිය පුවතක් පළ කළේය. එහි මැද හරියේ තැනක මෙසේ සඳහන් විය. ”මීට අමතරව ඔහුගේ සේවා කාලය තුළදී සිදු කර ඇති සිසේරියන් සැත්කම් 8000කට අධික සංඛ්‍යාවක් සහ නාරිවේද සැත්කම් විශාල සංඛ්‍යාවක් මගින් සිංහල බෞද්ධ කාන්තාවන් විශාල පිරිසක් වඳ භාවයට පත්කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවක් පිළිබඳවද පරීක්ෂණ සිදු කරන බවත් ජයලත් මහතා ප්‍රකාශ කළේය.” එම ප්‍රවෘත්තියේ නියෝජ්‍ය පොලිස්පතිවරයා උපුටා දක්වා ඇත. කිසිදු පැමිණිල්ලක් නොමැතිව තිබියදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් ජනතාවගෙන් පැමිණිලි ඉල්ලා සිටින තත්ත්වයක් තුළ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙවැනි ප්‍රකාශයක් කර ඇත. ඔහුට එරෙහිව මේ වන විට පොලිස්පතිවරයා යටතේ ඇති විශේෂ විමර්ශන ඒකකය මගින් ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. වැදගත්ම කරුණ වන්නේ ලංකාදීප වෙබ් අඩවිය මෙම පුවත පැය කිහිපයකින් ඉවත් කිරීමයි.

කිත්සිරි ජයලත්ගේ ඉතිහාසය
කිත්සිරි ජයලත් යනු පෑලියගොඩ පොලිසියට කොස්තාපල්වරයකු ලෙස පත්වීම් ලැබ එක්වරම සහකාර පොලිස් අධිකාරී තනතුර දක්වා උසස්වීම් ලැබූ අයෙකි. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිධුරය දරන යුගයේ 1998 සිට 2002 වසර දක්වා පොලිස්පති තනතුර දැරුවේ බී. එල්. වී. එස්. කොඩිතුවක්කු විසිනි. ඔහු වත්මන් නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගේ පියාය.
පොලිස්පති බී. එල්. වී. එස්. කොඩිතුවක්කු යටතේ නියෝජ්‍ය පොලිස්පති (බඳවා ගැනීම්) තනතුර දැරුවේ වර්තමානයේ මහත් ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ පියාය. මේ පියවරුන් දෙදෙනාටම තමන්ගේ පුතුන් සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස පොලිස් සේවයට එක් කිරීමට වුවමනා වී තිබුණත් රන්මල් කොඩිතුවක්කු සහ නාලක ද සිල්වාට උපාධි තිබුණේ නැත. ඔවුන් දෙදෙනාටම තිබී ඇත්තේ පිහිනීම පිළිබඳ ඩිප්ලෝමා සහතික පමණි.
ඒ අනුව ඔවුන් දෙදෙනාව සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස සේවයට බඳවා ගැනීමේ ‘වංගු’ ක්‍රමවේදයක් පියවරුන් විසින් සකස් කෙරුණු අතර එවකට කැළණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය හදාරමින් සිටි කිත්සිරි ජයලත්ට ද රන්මල් සහ නාලකගේ පහනින් එළිය බලමින් ඒඑස්පී පට්ටම ලබා ගැනීමට හැකියාව ලැබී ඇත.

රෝහල් අධ්‍යක්ෂගේ මාධ්‍ය සාකච්ඡාව
ශිහාබ්දීන් සාෆි වෛද්‍යවරයා වත්කම් චෝදනා මත පොලිස් අත් අඩංගුවට ගැනීමත් සමග මාධ්‍ය සාකච්ඡාවක් කැඳ වූ කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර විසින් වෙනත් පැමිණිල්ලක් සම්බන්ධයෙන් අත්අඩංගුවට එම වෛද්‍යවරයාය කාන්තාවන් වඳ භාවයට පත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ඇතැයි පවසා එම චෝදනාවලට අදාළව පැමිණිලි ඉදිරිපත් කරන මෙන් මාධ්‍ය හමුවක් පවත්වා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

රාජිතගේ මැදිහත්වීම
දිවයින ප්‍රවෘත්තියෙන් ආරම්භ වී වේගයෙන් පැතිර ගිය ශිහාබ්දීන් සාෆිගේ ‘වඳ කිරීමේ’ කතාව සමාජ භීතිකාවක් බවට පත් වෙද්දී ඒ සම්බන්ධයෙන් නිරවුල් පරීක්ෂණයක් සිදු කර එය සමහන් කරනවා වෙනුවට සියල්ලන්ම උත්සාහ කරන්නේ එය තව දුරටත් අවුලූවාලමින් තම තමන්ගේ න්‍යායපත්‍ර වලට අනුව එය කලමණාකරණය කිරීමටය. ඇවිලනෙ ගින්නට පිදුරු දැමූ රාජිත, එහි අලූත්ම කොටස්කරුවා බවට පත් විය. ඔහුගේ පරීක්ෂණ මණ්ඩලයටත්, ඔහු විසින් මාධ්‍ය සාකච්ඡාවකදී කළ ප්‍රකාශ වලටත් එල්ල වී ඇත්තේ බරපතළ විරෝධයකි.

මෙතැනින් කොතැනටද?
සිදුවීම් පෙළ මෙසේ දිගහැරෙද්දී දැන් රටම පත් වී ඇත්තේ මහත් ව්‍යාකූල තත්ත්වයකටය. කුරුණෑගල පමණක් නොව පේරාදේණිය සහ දඹුල්ල රෝහල් වල ද මුස්ලිම් වෛද්‍ය වරුන්ට එරෙහිව වඳ කිරීමේ චෝදනා එල්ල වී තිබේ. අතුරලියේ රතන හිමියන් මාධ්‍ය ඉදිරියේ ලිපියක් කියවමින් බදුල්ල ප්‍රදේශයේ තවත් වෛද්‍යවරයෙකු ගැන කීවේය. මේ චෝදනා ඇතැම් විට ඔප්පු කර ගැනීමට නොහැකි ඒවා විය හැකිය. එසේත් නැතහොත් ඔප්පු කිරීමට හෝ අසත්‍ය බව පෙන්වීමට කිසිවක් නොකරන ඒවා විය හැකිය. වරදකරුවන් සෙවීම වෙනුවට ජාතිවාදී වෛරය පමණක් ඉතිරි කරන ඒවා විය හැකිය. එසේ වුවහොත් ඒවායේ අවසාන ප්‍රතිඵලය ඉතාමත් බිහිසුණු බවනම් පැහැදිළිය.

චතුර දිසානායක

Leave A Reply

Your email address will not be published.

7 − six =