“අප සමාජයේද බොහෝදුරට හමුවන්නේද පැරණි කිර්ගිස්ථානයේ වහල් වැසියන්ය”

අකුරු උගන්නන්නෙ “මුල්ලාවරු . “උඹේ තාත්තත් අපි වගෙ දුප්පත් ගොවියෙක්. ඒ ගොවියගෙ පුතා කොහොමද “මුල්ලා”කෙනෙක් වුනේ..?
(මුල්ලාවරු යනු මුස්ලිම් දේවස්ථාන වල ධර්මය උගන්වන්නාය )

දුයිෂෙන් තම උත්සහය අත නොහරියි
මේ සිදුවීම අප දකින්නේ චිංගිස් අයිත්මාතෙව් රචිත “ගුරු ගීතය “කෘතියෙනි. දිලිඳු ගොවියන්ගේ දරුවන්ට පාසැලක් ආරම්භ කිරීමට පැමිණි දුයිෂෙන්ට ගොවියන්ට වටහෙන භාෂාවෙන් එසේ අසන්නේය. එදා සාර් රජපාලනය විසින් වහලුන් බවට පත්කර තිබු කිර්ගිස්ථානයේ වැසියන්ගෙන් දුයිෂෙන්ට ඊට වඩා ප්‍රතිචාරයක් බලාපොරොත්තු නොවන්නට ඇත. එහෙත් දුයිෂෙන් තම උත්සහය අත නොහැර පාසැලක් පමණක් නොව ඒ පාසැලින් අකුරු කල අල්තිනායි පසු කලෙක මහාචාර්‍යවරියක් බවටද පත් කලේය. අප සමාජයේද බොහෝදුරට හමුවන්නේද පැරණි කිර්ගිස්ථාන් වැසියන්ය. ලෝකය සීග්‍රයෙන් වෙනස් වී වැඩවසම් රජවරුන්ගේ පාලනයන් වෙනස් වී තිබුනද , අප අදද මේ රටේ ජීවත් වන්නේ මනසින් වැඩවසම් යුගයකය. අප රටේ මිනිසුන් තවමත් රට වෙනස් කිරීම කෙසේ වෙතත් තමන් හෝ වෙනසකට භාජනය වී නැත. තමන් ජීවත් වන රට ඇස් ඉදිරිපිට තමන්ගේ චන්දයෙන්ම බලයට පත් වූ පිරිස් කොල්ලකද්දී එය අපරාධයක් , රටට කරන විනාශයක් ලෙස නොදකිති. ඔවුන් පැරණි කිර්ගිස්තානයේ මෙන් ප්‍රභූවරුන්ට දොහොත් මුදුන් දී වැඳ වැටෙමින් , ඔවුන්ගේ සියලු සැපසම්පත් ඉටුකරදීමට වසර පහකට වරක් තමන්ගේ උරමතින් ඔසවා ගෙන , දරුමල්ලන්ට කන්නට පාන් ගෙඩිය ගන්නා තුට්ටු දෙකින් අලිඩෝන් පත්තු කරමින් හොරු තක්කඩියන්ට බැලමෙහෙවර කරමින් සිටි.

මිනිසෙකු ලෙස ඉපිද මිනිසෙකු ලෙස මිය යන්නේ කෙසේ

ඔද්දල්වූ එවන් සමාජයක් වෙනස් කිරීම යනු මිනිසෙකු විසින් ගන්නා අති දුෂ්කරතම කර්තවයට අත ගැසීමක් බව අප ඉඳුරාම දනිමු. එහෙත් අවදි වූ මොහොතේ සිට නෙත් දෙක පියෙන මොහොත දක්වාම අපි නිරන්තර සංවාදයක දෙන්නෙමු. ඉන් අපට ලැබෙන හුදු පෞද්ගලික ප්‍රයෝජනයක් කිසි සේත්ම නැත. මිනිසෙකු ලෙස ඉපිද මිනිසෙකු ලෙස මිය යන්නේ කෙසේ දැයි අපට , මේ ගඳ ගසන සමාජය විනිවිද දැකි වානේ පන්නරය ලැබූ හැටි , ගුරු ගීතය වැනි කෘති වලින් පෙන්වා දේ. වානේ පන්නරය ලැබූ හැටි අප අතට පත් කල එහි කර්තෘ වරයා දෙනෙත් අඳ , අංශභාගය හැදී සයනකය වැතිර සිටි විප්ලවවාදී තරුණයෙකි.එම කෘතිය ඔහු ලියන්නේද බ්‍රේල් ක්රමකටය. ඔහු සමාජයට පෙරලා තම යුතුකම් කොටස ඉටු කරන්නේ කෙසේදැයි කියන්නේය. 1930 සැප්තැම්බර් මස 30 වෙනිදා ඔහු මේ සටහන ලියන්නේ සයනක වැතිර සිටින අංශ භාග රෝගියෙකු, අන්ධයෙකු ලෙසය. එම සමයේ සෝවියට් සමුහාණ්ඩුව රටේ සංවර්ධන වැඩ සටහන පටන් ගත සමයයි …
” ජීවිතයක් හරයක් හා අරමුණක් ඇති දෙයක් බවට පත්කිරීම සහ ජීවත්වීම සාධාරණ යයි පෙන්වීම සඳහා මට සැලැස්මක් ඇත. මම ඉතා හොඳ සෞඛ්‍ය සම්පන්න තරුණයෙකි. මගේ දෙපා පන නැතිවීම හා මගේ ඇස් නොපෙනීම විශාල ලෙස තේරුම් වරදවා වටහා ගැනීමකි. මුග්ධ සාතන් වැනි යකෙකුගේ විහිළුවකි. මට පනැති එක් පයක් හා පෙනෙන එක් ඇසක් ලැබුනොත් අපේ රටේ ඉදිකිරීම් වල පෙරමුණ ගෙන සිටින නුඹලා ඕනෑම කෙනෙකුට මමද සමාන වන්නෙමි.”

එතෙක් අපගේ හඬ නුඹලාට කන්කරච්චලයක් වනු ඇත

ලාංකීය සමාජය තුලද දුයිෂෙන් ලා ඔස්ත්රෝව්ස්කිලා අපට හමුවන්නේ ජවිපෙ දේශපාලනය තුලය. විටෙක ඔවුන්ද අභිබවා ගිය පිරිස් අපට අරගලය තුලදී හමු වී ඇත. සමාජය වඩාත් යහපත් අතට හැරවීමට දේශපාලනය තෝරාගැනීමද අභියෝගයකි. එය උඩුගම් බලා පිහිනීමකි. එමෙන්ම මරණය පෙනී පෙනී හිස් දෑතින් මර්ධනය ඉදිරියේ අභියෝගාත්මක දේශපාලන තෝරාගැනීමද තවත් අයෙකුට සිතීමට හෝ නොහැකි උසස් පරාර්තමාමිත්වයකි. මේ රටේ මෙතෙක් බිහි වූ ත්‍රාඩ දේශපාලනයට , බැරිකම හා හොරකම රජ කෙරවූ රටටම ශාපයක් වූ පවුල් කිහිපයක ග්‍රහණයටද , මේ රට සෑම අතකින්ම අගතියට ඇද දැමු ප්‍රෝඩාකාරී නායකයන්ටද එරෙහිව තමන්ගේ ජීවිතයම දේශපාලන අරමුණක් වෙනුවෙන් කැප කල හැක්කේ කාටද ? සමාජයේ අවලාද , නව නින්දාවන්ට , පහර කෑමට මෙන්ම දෙතිස් වධ බන්දනයන්ට ලක්කොට, නියපොතු ගලවා, පිටපුරා ඉස්ත්රික්ක තබා , කනට බෝල් පොයින්ට් පෑන් ඔබ්බාවා , හකුපාඩා එලියට එනතුරු පහරදී ටයර් මාල තුල මහා මග දී ගියේ එවන් උදාර චේතනාවන් ගෙන් පිරිපුන් මිනිසුන්ය. ඔවුන් දුයිෂෙන් ලා අභිබවා ගිය මිනිසුන්ය. මේ රට පිළිබඳව සැබෑ කැක්කුමක් ඇති මිනිසුන්ය. අපද ඔවුන් ගෙන් ආභාෂය ලැබූ මිනිසුන් ලෙස, ජීවිතයේ ලබන කුමන සැපත හෝ ඉදිරියේ අපට අතපය හකුලා බලාගෙන සිටිය නොහැක. අපද සමාජය ආමන්ත්‍රණය කරන්නෙමු. කුමන බාධා හිරිහැර, අවලාද කුණුහරුප මැද හෝ නුතන කිර්ගිස්තානයේ වැසියන්ට අමතන්නෙමු. දුයිෂෙන් පරපුර නියෝජනය කරන අප, දුෂිත , ජඩ පාලකයන්ගේ රැවටිලි ඉච්චා බස්වලට කොටු වී වල්මත්ව ඇති ඔබ කිසි දිනක අත් නොහරින්නෙමු. මන්ද අප දිනක නැගී සිටින්නේ එකටය. කුමන නිෂ්පල තර්ක විතර්ක මැදවුවද අප ඔබට මග කියන්නෙමු. එතෙක් අපගේ හඬ නුඹලාට කන්කරච්චලයක් වනු ඇත.
-රසල් සීපී බන්ඩරාවත්ත

Leave A Reply

Your email address will not be published.

9 + 7 =