කැපීමේ කලාවේ තවත් ඇතුලට

ශ්‍රී ලංකාව කියන්නේ විශාල ප්‍රමාණයෙන් දක්ෂයින් යොදාගෙන නිෂ්පාදන සහ සේවාවන් වල ගුණාත්මකභාවය ඉහල දමා ගෙන දියුණුව කරා යන රටකට වඩා අදක්ෂයින් යොදාගෙන පටු වාසි සහ ගසා කෑම් කරා අනිත් පැත්තට ගිය රටක් බවත් රජය විසින් ආරම්භ කළ ඒ තත්ත්වය දෘෂ්ටිවාදයක් ලෙසට ජාතික වශයෙන් වර්ධනය වී ඇති බවත් මම මීට පෙර සෞම්‍ය හරහා කපා දැමීමේ ආගාධය ගැන නම් ලිපියකින් සාකච්ඡාව කළා.

ඇඟ බේරගෙන කපා දැමීම

සෞම්‍යට සාධාරණය ඉෂ්ට වීමෙන් විස දෙන්නේ නැති, ජාතික වශයෙන් මෙය ඉතා බරපතළ තත්වයක් බැවින් මේ මොහොතේ ඒ කැපීම හෝ කප්පාදු කිරීම කියන තත්වය තවදුරටත් තේරුම් ගැනීමට කලින් කතාබහේ ම දිගුවක් විදිහට අපි මෙයින් උත්සාහ කරමු.
සෞම්‍යගේ කාරණයට එද්දී අපිට පෙනෙන්නේ, අවශ්‍ය නම් සෞම්‍යව තබා ගන්නත් අවශ්‍ය නම් කපා දමන්නටත් දෙකටම තර්ක තියෙන තැනකට කතාව එන විට ඔවුන් තෝරා ගන්නේ කපා දැමීම බවයි. එය ඇඟ බේරගෙන කපා දැමීමට පාරිසරික තත්වය ප්‍රයෝජනයට ගැනීමේ කපා දැමීමේ කලාවයි. නමුත් මේ ලිපියෙන් අපි තේරුම් ගන්න උත්සාහ කරන්නේ කපා දැමීම කියන එකට අප සියලුම දෙනා නොදැනුවත් හෝ නොදැනුවත්වම දායක වන ආකාරයි.

ආධුනිකයින් ප්‍රවීන දක්ෂයින්ට එරෙහිව යොදා ගැනීම

සාමාන්‍යයෙන් තවත් කෙනෙකුව කපාදමන පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් හැම විටම අපිට පෙන්වන්න හදන්නේ ඔවුන් එහෙම කරන්නේ ජාතියේ හෝ ආගමේ යහපතට, ක්ෂේත්‍රයේ යහපතට හෝ ගමේ යහපතට ආදී ලෙස අවසානයේ අපේ යහපතට සහ අපිට ඇති ආදරය නිසා කියලයි. එවැනි දෘෂ්ටිවාදයකට මුවා නොවන්නට ඔවුන්ට ඒ කපා දැමීම (මර්දනය හෝ විනාශය) කිරීමට අපහසුයි. ඒ වගේම ඒ කපා දමන්නන් ඒ ඒ සන්දර්භයන් වලට අනුව ඒ මොහොතේ වඩාම ජනප්‍රිය දෘෂ්ටිවාදය මොකක්ද කියලා හොයාගෙන ඒ හරහා ජනතා අනුමැතිය සහ සහයෝගය ඊට ලබාගන්නවා. උදාහරණයකට, මේ පොත හෝ ලේඛකයාට අපි අවසර දෙන්නෙ නැත්තෙ ජාතිය සහ ආගම බේරා ගත යුතු නිසයි (ජාතිකවාදී දෘෂ්ටිවාදය), නැත්නම් ආධුනිකයින්ට හෝ නිර්ධනයින්ට තැන දෙන්න ඕනේ නිසයි(පංති දෘෂ්ටිවාදය). සමහරවිට ඔවුන් හඬනගා නොකිව්වට, ඔවුන්ගේ ක්‍රියාව මේ විදිහට නිශ්චිත පිරිසක් වෙනුවෙන් සේවය කරන බවක් පෙන්වනවා. එතකොට බැලූ බැල්මට ඔබේ පැත්තට ඔබේ එකෙක් කතා කරනවා වගේ දැනෙන නිසා අනිවාර්යයෙන් ඔබ ඊට සහයෝගය දක්වනවා. ඊට අමතරව සාමාන්‍යන් ශ්‍රී ලංකා සමාජය තුළ වරප්‍රසාද අවස්ථාවන් සහ පහසුකම් බොහෝ දෙනෙකුට නිසි පරිදි ලැබී නැති බැවින් ඒ දේවල් අනිත් අයට වඩා ඇතැයි කියන කෙනෙකුට එරෙහිව බහුතරයක් යොදා ගැනීම අතිශයින්ම පහසුයි. උදාහරණයකට, කිසියම් ක්ෂේත්‍රයක ආධුනිකයින් ප්‍රවීන දක්ෂයින්ට එරෙහිව යොදා ගැනීම හරිම පහසුයි, මොකද ඒ ආධුනිකයින්ට මතුවීමට සාධාරණ අවස්ථාවන් හෝ වෙළඳපොලක් නැතිවනකොට ඔවුන් දක්ෂයින් තමන්ට ඇති බාධාවක් විදියට සැලකීමට නැඹුරුයි.
මේ කපා දැමීම සඳහා යොදා ගන්නා මාධ්‍ය සහ ක්‍රමවේද, දේශන, පොත් පත් ලිපි ආදී රචනා, ෆේස්බුක් සටහන්, බණ ආදී ආගමික ක්‍රියාකාරකම්, වාරණ මණ්ඩල, ව්‍යවස්ථාවල සිට විෂය නිර්දේශ හරහා සම්මාන උළෙලවල් දක්වා ආයතනික ක්‍රියාකාරකම් මෙන්ම ආරාධනා, ඕපාදූප, කටකථා සහ විහිළු තහළු දක්වා ඕනෑම ප්‍රකාශයක් සහ ක්‍රියාකාරකමක් වෙන්න පුළුවන්.
මින් කියන්නේ දක්ෂයෙක් වුනත් කිසියම් පුද්ගලයෙකුගේ අකටයුතුකම් හෝ අවභාවිතාවන් වල ඇති ගැටළු විවේචනය කරන්නට නොහැකි කියන එක නෙමෙයි. නමුත් මේක අපි හොයාගන්න පුළුවන් හොඳම විදිහක් තියෙනවා. ඒ අපට යහපතක් කරනවා නාමෙන් කෙනෙකුට එරෙහිව ක්‍රියාත්මක වන ඒ විවේචනය හෝ ආයතනික තීරණය දවස අවසානයේ සේවය කරන්නේ කොතනටද, එය නිෂ්පාදනය කරන්න හදන්නේ කවර සමාජ යහපතක් ද අර්ථයක් ද කියන එක විමසීම. එයා මේ මොකක්ද කියන්න හදන්නේ, එකෙන් මොකක්ද කරන්න හදන්නේ කියලා විමසනකෙට ඒක හමුවෙනවා. දේශපාලනිකව එය සේවය කරන්නේ පටු දූපත් මානසිකත්වයට ද නැත්නම් එය ඉක්මවා යන යථාර්ථයකටද? එතකොට ඔබට පෙනේවි ඒ පුද්ගලයව හෝ ඒ පාර්ශවය එක්කෝ ඉතිහාසයෙන් ඉවත් කරන්න හදන්නේ, නැත්නම් ඔබට ඔවුන් ගැන ඇති සංකල්පීය හෝ සමාජ වටිනාකම අඩු කරන්න හදන්නේ නැත්නම් ඔබට ඔහුගේ හෝ ඇගේ සේවය ලැබීම වලක්වන්නයි හදන්නේ. ඒ වගේම සාමාන්‍යයෙන් කෙනෙක් එහෙම තව කෙනෙක්ව කපනකොට ඒ කැපීමට ලක්වන්නා වෙනුවට වෙනත් ආදේශකයක් සෘජුව හෝ වක්‍රව ඒ කැපීමේ ව්‍යාපෘතිය පිටුපස තියෙනවා, ඒ තුළ සැඟවිලා තියෙනවා. ඔබට අන්න ඒ ආදේශකයත් නැත්නම් ඒ කපන්නා විසින් අත්පත් කරගන්න හදන ඔවුන්ට වාසි යථාර්ථය ද හඳුනගෙන අවසානයේ කරන්න හදන්නේ කුමක්ද කියන එක කියවගන්න පුළුවන්. එය අපි වැටී ඇති විනාශයෙන් මේ ආගාධයෙන් ගොඩ එන්න සේවය කරන්නේ කෙසේදැයි විමසා බලන්න පුළුවන්.

 කපා දැමීමට, ඡන්දයක සිට ෆේස්බුක් ලයික් එකක් දක්වා ජනතා සහය

මේ ආකාරයට දක්ෂයින් ඇතුළු ගුණාත්මක සේවාවන් ශ්‍රී ලංකාවේ කපාදමා ඇත්තේ ඡන්දයක සිට ෆේස්බුක් ලයික් එකක් දක්වා විශාල ප්‍රමාණයකට ජනතා ඔබගේ සහයෝගය ඇතිවයි. ඔබට සිදුව ඇති දේශපාලනික හෝ පන්ති අසාධාරණයක් හේතුවෙන් ඔබ තුළ වැඩුන ආවේගයක් යොදාගනිමින්. එය නිශ්චිත පුද්ගලයෙක් , පුද්ගල කොටසක් හෝ කුලකයක් විසින් ඔවුන්ගේ පුද්ගලික පැවැත්ම උදෙසා විශාල ප්‍රමාණයෙන් ඔබව යොදාගෙන කරන දූෂිත ව්‍යාපෘතියක්. එය නිශ්චිත දෘෂ්ටිවාදයක් විසින් මෙහෙයවන හෝ නිෂ්පාදනය කළ තත්වයක් බැවින් ජාතිකවාදී, වාමාංශික-දක්ෂිණාංශික, ප්‍රභූ- නිර්ප්‍රභූ, උගත්-නූගත් ආදි කිසිඳු භේදයකින් තොරව ඒ කපන්නන් සියලුම දෙනා එතනදි එකම කඳවුරකට වැටෙනවා. ඒ විදිහට එය සිද්ධ වෙන්නේ විශේෂ නරක මිනිසුන් කොටසක් අතින් ද නෙමෙයි. ඔබ ගරු කර සහයෝගය දෙන කලාකරුවන්, විද්වතුන්, දේශපාලකයින්, පූජකයින් ආදීන්ගේ සිට සිවිල් ස්වකයින් දක්වා විශේෂයෙන් ආයතනික, බුද්ධිමය, සහ සිවිල් හෝ දේශපාලනික බලයක් ඇති කොටස් විසින්. අවසානයේ රටක් මෙතනට වැටීමට තරම් එම කප්පාදුව ජාතික මට්ටමෙන් සිදුවී ඇත්තේ දැනුවත්ව හෝ නොදැනුවත්ව සියලුම දෙනාගේ සහයෝගය ඇතිවයි.
එබැවින් එය මර්දනය කිරීමේ හෝ පාලනය කිරීමේ හැකියාවක් ඔබ සතුව පවතිනවා.

-ධනංජය කරුණාරත්න
පින්තූරය- චමින්ද උපසේන

Leave A Reply

Your email address will not be published.

three × five =