මෙහෙම ගියොත් ස්වාමීනි මොන පිහිටද තුනෙන් දෙකට ?

කට වචනෙට චක්‍රලේඛ
වට මනින්න පොල් ගෙඩියක
මෙහෙම ගියොත් ස්වාමීනි
මොන පිහිටද තුනෙන් දෙකට ?

අද අපි ටිකක් ගැඹුරු තැනකින් කතාව පටන් ගනිමු. කමක් නැහැනේ. ෆේස්බුක් එකේ ලෙෆ්ට් ලයිබ්‍රරි (left Library) කියල පිටුවක් තියෙනවා. මීට අවුරුද්දකට විතර කලින් ඒ පිටුවේ පළ වුණු ලිපියක – එක තැනක – මෙන්න මෙහෙම සඳහන් වෙනවා.
“වහල් සමාජයේදී වහල් නීතිය සකස් වූයේ වහලුන් ‘කතාකරන උපකරණ’ ලෙස අර්ථකථනය කරමිනි. ඒ, නිසා වහල් හිමි යුගයේ වහල් හිමියන් විසින් වහලුන් මරා දැමීම නීතියෙන් වරදක් නොවීය. ඉන් පැහැදිලි වන්නේ වහල් යුගයේ නීතිය සේවය කළේ පොදුවේ සියලු මිනිසුන්ට නොව වහල් හිමියන්ට බවය. එසේම රාජාණ්ඩු පැවති යුරෝපා වැඩවසම් ක්‍රමය තුළ මෙන්ම ලංකාවේ පැරණි ආසියාතික සමාජයේ රජවරුන්ගේ පාලනය තුළද නීතිය රජුගේ කැමැත්ත විය. එය රාජ නීතිය ලෙස හඳුන්වන ලදී. විධායක හා අධිකරණ බලය රජු සතුවිය.”
(උපුටා ගැනීම අවසන්)
ඒ උපුටනය තව ටිකක් සරලව තේරුම් ගත්තොත්, මොකද්ද මේ කියන්නෙ? වහල් යුගයේ වහල්ලුන්ට මිනිස්සු හැටියට සැලකුවේ නැහැ. වහල්ලු කියන්නෙ නිකම්ම නිකම් කතාකරන උපකරණ කියල තමයි වහල් හිමියො කිව්වේ. ඒ කියන්නෙ මේ යුගයේ අපි කතාකරන ‘මානව අයිතිවාසිකම්’ වහලුන්ට තිබුණේ නැහැ. ඒ කාලේ තිබුණු නීතිය කියන්නෙ තනිකරම වහල් හිමියන්ගෙ සෙල්ලම් බඩුවක්. ඒ වගේම මීට අවුරුදු සීයකට දෙසීයකට කලින් කාලය වෙනතුරු ලෝකය පුරා තිබුණු රාජාණ්ඩුවල තිබ්බ නීතිය කියන්නෙත් රජ්ජුරුවන්ගෙ කැමැත්ත.
ඒ කියන්නෙ රටවැසියන්ට ඕන ඕන විදිහට ජීවත් වෙන්න ඒ කාලේ බැහැ. ලංකාවේ නම්, පිරිමියෙක් රැවුල වවනවද කපනවද කියල තීරණය කෙරුවෙ රජ්ජුරුවෝ. ගෙදරක් කපරාරු කරනවද හුණු ගානවද කියල තීරණය කෙරුවෙ රජ්ජුරුවෝ. කොටින්ම කාන්තාවක් උඩුකය වසනවද නැද්ද කියල තීරණය කෙරුවෙ රජ්ජුරුවෝ. රටවැසියා කරන්න ඕන මොන රස්සාවද කියල තීරණය කෙරුවෙ රජ්ජුරුවෝ. මේ කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි, ඒ කාලේ නීතිය කියන්නේ රජ්ජුරුවෝ කැමති දේ. රජ්ජුරුවෝ අකමැති දේ නීතියෙන් තහනම්. යුක්තිය අයුක්තිය මොකද්ද කියල තීරණය කෙරුවේ රජ්ජුරුවෝ. ඔය රොබට් නොක්ස් ලියපු ‘එදා හෙළදිව’ වගේ පොතක් කියෙව්වම ඒ කාලේ ගැන චිත්‍රයක් මවාගන්න අමාරු නැහැ.
මේ හදිස්සියේ එදා හෙළදිව තිබ්බ රජ්ජුරුවන්ගේ නීතිය ගැන මෙදා අපට ‘ලංකා’ පත්තරේ ලියන්න හිතුනෙ ඇයි ?
මෙදා ශ්‍රී ලංකාවේ ඊයෙ පෙරේදා දවසක ජනතා ඡන්දයෙන් තේරී පත්වුණු ගරු ජනාධිපතිතුමා එක්තරා රැස්වීමකට සහභාගී වෙනවා. එතුමා ඒ රැස්වීමේදී එක්තරා නිලධාරියකුට උපදෙස් වගයක් දෙනවා. එතකොට ඒ නිලධාරියා කියනව, ඒ අදාළ කාර්යය කරන්න නම්, චක්‍රලේඛයක් ඕනේ කියල. රාජ්‍ය නිලධාරීන්ට හිතුමතේ වැඩකරන්න බැහැනේ. ඒ නිසා තමයි ලිඛිතව විධිමත්ව අදාළ උපදෙස් සහිතව චක්‍රලේඛයක් ඕන කියල කියන්නෙ. මොකද, රාජකාරිය සම්බන්ධයෙන් නඩුවක් හෙම වැටුණොත්, උසාවියෙන් අහනවා, “තමා කුමන චක්‍රලේඛය මත පදනම්වද ඔය වැඬේ කළේ?” කියල.
“චක්‍රලේඛයක් තිබුණෙ නැහැ ස්වාමීනි” කිව්වොත් හිරේ විලංගුවෙ වැටෙන්න වෙනවා. “මෙන්න මේ චක්‍රලේඛය මත පදනම්වයි මම වැඩකළේ ස්වාමීනි” කිව්වොත් නිලධාරියාට ගැලවීමක් තියෙනවා.
ඉතින් කොහොම හරි අර නිලධාරියා “චක්‍රලේඛයක් තිබ්බොත් වැඬේ කරන්න පුළුවන් ජනාධිපතිතුමනි” කිව්වම ගරු ජනාධිපතිතුමා කියනව, “මම විධායක ජනාධිපති, මම කිව්වා කියන්නෙ චක්‍රලේඛයක් තිබ්බ වගේ තමයි” කියල. එතන හිටපු කට්ටිය ඒ ප්‍රකාශයට අප්පුඩි ගහල සතුට පළ කරනවා. හැබැයි, ඒ ප්‍රකාශය නං ඒ තරම් නෙමෙයි කොයි තරම්වත් හොඳ ප්‍රකාශයක් නෙමෙයි. ඒ නිසා සිහිබුද්ධිය තියෙන උදවියට ඒ ප්‍රකාශය ගැන සතුටු වෙන්න නං බැහැ. මොකද ඒ ප්‍රකාශයේ තේරුම තමයි, නීතිය කියන්නේ පාලකයාගේ කැමැත්ත කියන එක. අර ‘එදා හෙළදිව’ සහ ලෝකයේ තවත් තැන්වල තිබ්බ ඒකාධිකාරී රාජාණ්ඩුවල තිබ්බ භයානක තැනට ආපහු කිට්ටු කරන එක හොඳයි කියන්නෙ කොහොමද? නඩු අහන්නෙ නැතුව මද්දුම බණ්ඩාරලාගේ ගෙල කඳින් වෙන් කරපු – කුඩා දරුවන් වංගෙඩිවල දාල කොටපු නීතියයි, අපි දැන් මේ ජීවත්වෙන යුගයේ නීතියයි පැහැදිලිවම දෙකක්.
අපිට ගරු ජනාධිපතිතුමා එක්ක පුද්ගලික ප්‍රශ්නයක් කොහොමත් නැහැ. ඒත් ඇස් පනාපිට නීතිය කියන්නේ තමන්ගේ කැමැත්ත කියන අදහස අමු අමුවේ මහපොළොවේ පැළපදියම් වෙනකොට දැක්කෙ නැහැ ඇහුණෙ නැහැ වගේ ඉන්න බැහැ. ප්‍රශ්නෙ තියෙන්නෙ රටේ ඡන්ද දායකයන්ගෙන්
තුනෙන් දෙකකට වැඩිය ඒ වගේ දේවල්වලට අත්පුඩි ගහන්න ලෑස්ති වෙලා ඉන්නේ. හැබැයි ඉතින්, අත්පුඩි ගහන්නත් අත් ඉතුරු වෙන්න එපැයි. මේවා නරක අතට ගිහින් ඒකාධිපති ආණ්ඩුවක් හැදිලා මිනිස්සුන්ගෙ අත් කකුල් අහිමි වෙන ගාණට රටේ තත්ත්වෙ නරක් වෙන්න එපා කියල අපිත් ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා. අත්පුඩි ගහන්න වගේම අඩුගාණට පොල් ගෙඩියක් මැනගන්නත් අත් තියෙන්න ඕන. තමන්ට ඡන්දය දුන්නු තුනෙන් දෙක ඉදිරි අවුරුදු පහේ අසරණ නොකිරීම ආණ්ඩුවේ වගකීමක් කියලයි අපි හිතන්නේ.
ආණ්ඩුව ආවේ ‘සෞභාග්‍යයේ දැක්ම’ කියල එකක් අරගෙන. මේ වගේ ඒකාධිකාරී රාජ නීතිවලින් සෞභාග්‍යය උදාවෙන එකක් නැහැ. සෞභාග්‍යය කියනකොට අපට මතක් වුණා, ඒ කාලේ රූපවාහිනියේ ගිය ‘භාග්‍යා’ කියන ටෙලි නාට්‍යය. ඒකෙ බණ්ඩාර ඇහැලියගොඩ මහත්තය ලියපු ලස්සන සින්දුවක් තියෙනව, ආජු තත්පර ලාහිලා කියල. ඒ සිංදුවේ මෙහෙම කොටසක් තියෙනවා.
විදු නැණයෙන් අබිසෙක් ලබමින්නේ
සඳ මතුපිට පියවර එසවෙන්නේ
අප පමණද එක තැන කැරකෙන්නේ
අප තනිකර ලෝකය දිව යන්නේ
පරණ නීති කඩමාලු අලුත් කරගෙන – මිනිස් නිදහස පුළුල් කරගෙන – ලෝකය ඉස්සරහට යනකොට අපට රටක් හැටියට ‘රජුගේ කැමැත්ත නීතියයි’ වගේ මතවාද කරගහගෙන පිටිපස්සට යන්න බැහැ. එහෙම ආපස්සට සමාජය ඇදගෙන යන්න කවුරුහරි උත්සාහ කරනවානම්, සිහිබුද්ධිය තියෙන ටික දෙනා වුණත්, ‘බිස්කු බිස්කු ලාහිලා’ කිය කියා නට නට ඉන්න එකකුත් නැහැග
-විමල් කැටිපෙආරච්චි

Leave A Reply

Your email address will not be published.

eight − 5 =