සහාධිපත්‍ය අධිකාරියේ චූදිතයා අනිවාර්ය නිවාඩු

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරිවරයෙක් තමන් යටතේ සේවය කරන තරුණ නිලධාරිනියකට ලිංගික බලපෑම් කරද්දී, එම නිලධාරිනිය විසින් පටිගත කරන ලද වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. එම සිද්ධියට අදාළ චූදිතයාට එරෙහිව විධිමත් පරීක්ෂණයක් නොපවත්වා, ඔහු ආයතනයේ සාමාන්‍යධිකාරී තනතුරට පත් කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක විය.
එහෙත්, සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූ බලපෑම නිසා පසුගිය 22දා අධිකාරියේ සභාපති සරණ කරුණාරත්නගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අධ්‍යක්ෂ මණ්ඩලය ඔහුව අනිවාර්ය නිවාඩු යැවීමට තීරණය කර ඇත. ඒ සම්බන්ධයෙන් පසුගිය 24 වන දා නිල වශයෙන් අදාළ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාට දැනුම් දුන් බව අධිකාරියේ සභාපති සරණ කරුණාරත්න අප කළ විමසීමක දී තහවුරු කළේ ය.

මෙම සිදුවීම සමාජ මාධ්‍ය වෙත නිරාවරණය වීමත් සමඟ ඊට පිළිතුරු වශයෙන් අධිකාරියේ සභාපතිවරයා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබිණි. එහි සඳහන් වූයේ අමාත්‍යාංශ මට්ටමින් මේ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන බවයි. එහෙත්, අදාළ චෝදනාව එල්ල වී ඇති නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) කේ. එච්. ඒ. උපාලිගේ වැඩ තහනම් නොකොට තව දුරටත් ආයතනයේ රාජකාරි කිරීමට සභාපතිවරයා විසින් ඉඩ දී තිබිණි. විශේෂයෙන්ම අදාළ ලිංගික බලපෑම් එල්ල වූ නිලධාරිනියට තව දුරටත් ඔහු යටතේ සේවය කිරීමට සිදු වීම නිසා වින්දිත පාර්ශ්වය ලෙස ඇයට බරපතළ අසාධාරණයක් සිදු වී තිබිණි.

මේ සම්බන්ධයෙන් පසුගිය 17දා අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට කරුණු පැහැදිලි කරමින් සභාපතිවරයා පවසා තිබුණේ, අදාළ චූදිතයාගේ සේවය අධිකාරියට අත්‍යාවශ්‍ය නිසා ඔහුගේ වැඩ තහනම් කිරීමේ හැකියාවක් නැති බවයි. එය අධ්‍යක්ෂ මණ්ඩලය මඟින් ද අනුමත කර තිබිණි. කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය මඟින් එල්ල වූ බලපෑම නිසා අධිකාරියේ විනය මණ්ඩලය ලෙස අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත්තේ, අදාළ නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයාව අනිවාර්ය නිවාඩු යැවීමට ය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුවේ, මෙවැනි අවස්ථාවක දී අනිවාර්ය නිවාඩු යැවීම යනු ඔහුට සහාය දීමක් බවයි. මෙවැනි චෝදනාවක් එල්ල වූ විට, චූදිතයාගේ වැඩ තහනම් කොට විමර්ශනයක් පැවැත්වීම සිදු කළ යුතු බව ද පෙන්වා දුන් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා, අනිවාර්ය නිවාඩු යැවීම නිසා ඔහුට නිවසේ සිට තම තනතුරට අදාළ මුළු වැටුප ද ලබා ගැනීමේ හැකියාව පවතින බව අවධාරණය කළේය.

Leave A Reply

Your email address will not be published.

three × 1 =