“හැම කවියක් ම මග නොහැරෙන දුලබ කවි කළඹක්”

මෙවර මා කවිපොත් සල්පිලෙන් ගෙනා කවි පොත් අතර මා මවිත කළ කවිපොතක් විය. ඒ ධනුෂ්කා නිෂාදි කුලරත්නගේ “ත්‍රිවේණි සංගමම්”. කවර කවි පොතක වුව ද හැම කවියක් ම සිත් පැහැර ගන්නා කවියක් වන්නේ කලාතුරකිනි. “ත්‍රිවේණි සංගමම්” හි හැම කවියක් ම එකක් අනෙක පරයා බසින් ද හැඟුමින් ද නැවුම් තේමාවෙන් ද උනුන් තරග වැද සිටින අසිරිය දැක මවිත වීමි.
“තුති තරංගනී” යනුවෙන් කවි පොතෙහි ආමුඛය ලියන නිෂාදි දිවි මග සරන’තර ලබන හැම අත්දැකීමක් තමන් ලද ව්‍රත පූරණයක් සේ සලකා මෙබදු සනිටුහනක් කරයි.
“අනෙක ජීවන හැඩ රටා හමුවේ මුනිවර වරම නොලද , නොලද්දේ ද නොවන, මුදු ව මැවී සොළොස් කලා පුරන සඳ දිය හා එක්ව ගලන ගඟක ගමන “ව්‍රත පූරණයක්” ම නොවන්නේ දැයි මට සිතේ.”
නිෂාදි පිරූ මේ ව්‍රත අතර “ප්‍රේම ව්‍රතය” නම් නිර්මාණය බසත් එහි ආකෘතියත් මුසුව මවන රිද්මය අතින් මා මෑත දුටු විස්මිත ම කවකි. ප්‍රේමනීය හැඟුමින් ප්‍රහර්ෂිත හදක රිද්මය ද ප්‍රාර්ථනීය බව ද සුසාරාධනය ද එහි රඳවන’යුරු අසිරිමත් ය.
” හරි නිසංසලේ ඔබ යන විට පරවි ගුමුව මැද
බිම දමා යන්න එක කවියක් නොදැනී හෙමිහිට
යළි ඇමද ඇමද වරුවක් කල් වැලිමළු මං පෙත
ඒ අකුරු හතර පහ අහුලමි ළදරු සිතට වැද
එක වසන්තයක් පමා වුණත් මලකට දී දුක
ඔබ අසා නැති ද සුවඳ කැවූ පෙම නොදිරන වග
නිල් අහස් නයන කඳුළු පෙරන අදවන් දවසක
හිත එඩිගත් කෙඳි වලාකුළක බැඳෙන්න මුදු සඳ
අතු කොනින් බලා ගසක් හෙළන බැල්මක් විනිවිද
මුල් පුරා දුවන දීප්තිමත් පෙම ඇති නොවැරද
බඳ බදා හිඳින ලලිත ලතා දාසක හද බිඳ
මේ සිහිල් සුළං රඟ මඬලට එන්නට කැමති ද
ඔබ ඇවිත් ගියත් නාවත් අද ගී ගයනා හද
රන් රිදී සීනු හඬවයි තව සියවස් කලකට
නිල් උයන සරන සුපුරුදු ඒ කොවුල් ගීය හැර
ලොව නොදත් බසක ගායනයක් අහන්න එනව ද”
“කෞතුක ව්‍රතය” නමින් නිෂාදි ලියන කව අගනුවර කෞතුකාගාර ආරක්ෂක නිළධාරියෙකුගේ පිරිපත පිරි දිවි පෙවෙත හෙළි කරයි.නටඹුන්ව ගිය අතීත ශ්‍රී විභූතිය දෙසට හැරෙන නිෂාදි අමුතු උත්ප්‍රාසාත්මක ධ්වනියක් නන්වන කවක් ලියයි.නෙක ව්‍යුහයන් හා බැඳුණු රූපකාර්ථ සමග ඈ ක්‍රීඩාසක්ත වෙයි.
“රාජ මහ ඇමති සුසිනිඳු සළු වියනා
යෝධ තල්මසෙකුගේ කටු ගෙන හිසිනා
සාධු නටරාජ පිළිමේ නිති නිදනා
රකින සිකුරිටි’මි කටුගෙය බැති සිතිනා”
“ප්‍රතිමාවකට වුව අතපය සිරස නැති
කටුගෙදරකදි දුටු දුටු දන වෙනව ගැති
ඉඳහිට මෙහි නිදන කුළුණක් පාළු හිතී
රැයක නොයෙක සෙවණැලි හා ගමන් යති
ක්‍රිස්‍තු වර්ෂ ගණනාවක් පරණ කඩු
රහස් වමාරති සෙන්පතිවරුන් දෙඩූ
ඊ හිස් මොටව ගිය සතුරන් එඩිය මැඩූ
විමසා බලති හටනට තව කවුද අඩු”
නිෂාදි විරාග ව්‍රතය පූරණයේදී විරාගයේ අරවින්ද* ව ද සිහිපත් කර ඇත්තේ එහි හැඟවුම වෙනත් විදිහකින් පිරි පහදු කරමිනි.”ස්නේහයේ නිවුන් හී සර යුගල” ඈ නිමැවූ මා මවිත කළ රූපකයක්…
” වියෝග උයනේ
කනකලතා සෙවණින් නික්ම ආ
ස්නේහයේ නිවුන් හී සර යුගල
බතී-සරා
අඬදැනිව දෙණ අසල
නිහඬව ම සිහිකරන
හදක සිරිමත් මහිම
නැගෙයි මළ බෙර
දැවෙයි, සැලෙයි, සිල
සෝකය ම දල්වමින සියොලඟ
මිටිකොට එ’දිවි අතැඹුල
ගුම්නගයි නිහඬතාවෙත් හඬ
යටගිය දවස
මහතෙකු ලියා මතුකළ
පිරිපහදු පුම සිතක බණවර
රොස් දූලි අතැර
පෙර පුරුදු ආදරෙන් අමතමි
“අරවින්ද” කියා ඔබ හට”
මිත්‍ර ව්‍රතයෙහි බෙංගාලි යුවතියක පතන කොළඹ වෙසෙන මිතුරෙකු පිළිබඳ ව පවසන නිෂාදි අනුරාගී ආරම්මණයන් සංස්කෘතික සංස්පර්ශයෙහි නොයෙක් කලාපයන් වෙත ආරෝපණය වන ආකාරය ඉඟි කරයි.
“උතුරින් හිමවත ගෙනෙනා-සිසිලෙන් ප්‍රේමය දොවනා
භගිරවතී ගඟ පෙනෙනා-ඉම වෙද ඇය ඔබ පතනා
ගනඳුර නළවා වොරැඳෙන-එළි තිතකට සමව දිලෙන
දියෙහි ගිලෙනු ඇතිය එ ළඳ-ළා සඳ අඳුරේ දියකර
ගිතෙල් තෝසයක රොටියක-පානි පූරියක රස සුව
ගිනි කබලක වුව පිපෙනා-සිනා මතින් ගෙන එනු ඇත
පසල් දන්ව්වක කැට නිම-කපුගෙන දුකඳුළු රතකින
පැහැය කවා සැදි සළුවෙන්-සැරසී බලමින පෙරමග”

නිෂාදිගේ කවි බස ඇතැම් තැනක සකු වදනින් හැඩ වෙයි. නිසරු අනුප්‍රාසයට නොව තේමාවට තෙපුල් දෙවන හැඟුම් මාත්‍ර ජනිත කිරීමට රිසි සේ බස පිරිපහදුව තිබෙයි.”කුමර වෘතයෙහි” ඈ මෙසේ ලියයි.
“නටවා නිල් දෙබැම
ශ්වේතයට හැරවෙයි මුව
පෙනී නොපෙනී සැඟවෙයි
ඡවි වණ්ණ කනක කුණ්ඩල
සැත් පිහියක අරුම
සුවණ්ණ ප්‍රාශනෙයෙහි
කුරුළුකටුමෙන් සුරුවමට
මැස්මකි දුවන ඩමියක”
“බාල ව්‍රතයෙහි” නිෂාදි පිරිපත පිරි ළමා විය ආවර්ජනා කරන්නී, බස පිරිපහදු කොට ළපටි සිතක පිළිසිඳි හැඟුම් පිරිමදියි.
“සූර් වී පැමිණෙන
පීතෘ කර්තෘ අබියස
පළ නොවුණු හැඟුම් පොත සඟවන
රෝස කම්මුල් හිමි
දාස පෙනුමැති ළමයාත් මම”
අපමණ කවි පොත් අතර නුසුන් රසම සුහුඹුල් කරවන කවි පිරි නිෂාදිගේ මේ කාව්‍ය ප්‍රයාණයට ආසිරි පතමි.
-සුජීව සිරිමෙවන්  (fb)

Leave A Reply

Your email address will not be published.

two + 3 =