විස්සට එරෙහිව ආණ්ඩුවෙන්ම බොරු විරෝධයක්

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ කිසිදු වෙනසක් නොකරන බව ජනාධිපතිවරයා පැවසුව ද, ඊට සංශෝධන 83ක් එකතු කරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති කාර්යාලය විගණකාධිපතිවරයාගේ විෂයපථයට ඇතුළත් කිරීම සහ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි කාලසීමාව වසර දෙකහමාරක් දක්වා දීර්ඝ කිරීම ඒ අතර ප්‍රධාන වේ. එහෙත්, ස්වාධීන කොමිෂන් සභා කප්පාදු කිරීම, සංවරණ හා තුලන බලය පිළිබඳ ගැටලුව, ජනාධිපතිවරයාගේ බලය වැඩි කිරීම ඇතුළු ජනතා පරමාධිපත්‍යය සීමා කෙරෙන රටට අහිතකර වගන්තිවලට මේ සංශෝධන මඟින් කිසිදු බලපෑමක් සිදු නොවන බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු පෙන්වා දෙති.
නීති අංශ තහවුරු කරන්නේ, මෙම වෙනස්කම්වලින් බහුතරය කෙටුම්පතේ තාක්ෂණික වෙනස්කම්  බවයි. මෙම කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම් 39ක විභාගය අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ පසුගිය 29දා ආරම්භ කෙරිණි. විභාගය ආරම්භ කළ අවස්ථාවේම නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ පාර්ලිමේන්තුවේ කෙටුම්පත පිළිබඳ කාරක සභා අවස්ථාවේ දී ඊට සංශෝධන සිදු කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බවයි.
කෙසේ වෙතත්, කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අධිකරණ ඇමැති අලි සබ්රි සහ ජනාධිපතිවරයාගේ සමීපතමයකු ලෙස සැලැකෙන උදය ගම්මන්පිල ඇමැතිවරයා තව දුරටත් අවධාරණය කරන්නේ, කෙටුම්පතේ කිසිදු වෙනසක් සිදු කිරීමට අපේක්ෂා නොකරන බවයි. රාජ්‍ය සමාගම් 117ක් විගණකාධිපතිවරයාගේ විෂයපථයෙන් ඉවත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් අගමැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට පවසා තිබුණේ, එය වෙනස් කිරීමට කටයුතු කරන බවයි. එසේම ආණ්ඩුවට සමීප ජාතික සංවිධාන, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සංගම් 25ක් අවධාරණය කර තිබුණේ මෙම කෙටුම්පතේ ඇති අහිතකර වගන්ති අනිවාර්යයෙන්ම වෙනස් කළ යුතු බවයි.
මේ අතර අගමැතිවරයා විසින් මෙම කෙටුම්පත විමර්ශනය කිරීමට පත් කරන ලද කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට හෝ ඉදිරිපත් නොකළ ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශ්වයෙන් පසුගිය 30දා ද පවසා තිබුණේ, තම පක්ෂය මඟින් කෙටුම්පතට ඉදිරිපත් කරන යෝජනා අගමැති කමිටුවට භාර දෙන බවයි. ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මෙන්ම ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවීර විසින් ද පවසා තිබුණේ, කෙටුම්පතට අදාළ තම පක්ෂයේ යෝජනා කඩිනමින් භාර දීමට කටයුතු කරන බවයි. ඒ අනුව පැහැදිලි වන්නේ අක්‍රිය බවක් මෙන්ම අගමැතිවරයා විසින් පත් කරනු ලැබූ කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් පිළිනොගත් බවක් පෙනෙන්නට තිබුණ ද, එහි කටයුතු තව දුරටත් ක්‍රියාත්මක වන බවයි. මේ අතර ජනාධිපතිවරයාට ලිඛිතව කරුණු ඉදිරිපත් කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සංවිධාන එකමුතුව මෙම කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීමට මේ සතියේ අගමැතිවරයා හමුවීමට නියමිත ය.

Leave A Reply

Your email address will not be published.

three × 1 =