කොරෝනා හයිබනේෂන්…

මේ වනවිට හැත්තෑ වියේ පසුවෙන ඩොනල්ඩ් ට්‍රම්ප් ට කොවිඩ් වෛරසය ආසාදනය වෙලා මේ මොහොත වෙනකොට නිරෝධායන වෙමින් ඉන්නවා කියල ලොව පුරා ප්‍රමුඛ ජනමාධ්‍ය සියල්ලක්ම පාහේ වාර්තා කරනවා. හැත්තෑ විය කියන්නේ කොවිඩ් වෛරසය අසාදනය වෙන්න හොඳ වයස් පරාසයක් නෙවෙයි. මොකද ගොඩක් ඒ වයස් කාණ්ඩයේ මහත දෙහත අයට මේ වෛරසය වැළදුනොත් ගොඩ එන්න ගොඩක් අමාරුයි කියන එක තමයි පොදු මතය. නමුත් ගොඩක් සෞඛ්‍ය පහසුකම් තියෙන රටක ලෝකෙට ලොක්කා වන ට්‍රම්ප් මේ රෝගී තත්වයෙන් ගොඩ යයි කියල හිතන්න පුළුවන්. මොකද බ්‍රිතාන්‍ය යේ බෝරිස් ජොන්සන් පවා කෝවිඩ් හැදිලා ටික කලක් නිවාඩු පාඩුවේ ඉඳල පසුව සම්පුර්ණයෙන් සුවය ලැබුවා.
කොහොම උනත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොක්කත් ට්‍රම්ප් ට සුවය පතල පණිවිඩයක් නිකුත් කරලා තිබ්බ.
හැබැයි සමාජ මාධ්‍ය වල කට්ටිය නම් කියන්නේ මේක ඇස් බැන්දුමක් වෙන්න පුළුවන් කියල. ඇමෙරිකන් මහ චන්දෙත් දැන් ළඟ ළඟ හින්දා මේක අවධානය දිනා ගැනීමට හොඳ අවස්ථාවක් ලෙස භාවිතා කරයි කියල කට්ටිය සැක සංකා මතු කරනවා.
එක අතකින් ජෝ බයිඩන් එක්ක පසුගියදා තිබ්බ සංවාදය ට්‍රම්ප් ට එච්චර වාසිදායක නොවුන නිසා එයා මින් පස්සේ එන්න නියමිත ප්‍රසිද්ධ විවාද මඟ හරින්න කෝවිඩ් තත්වය පාවිච්චි කළා කියලත් කට්ටිය කියනවා. අවම වශයෙන් මාසයක් ‘හයිබනේට්’ වෙන්න මේ නිසා එයාට පුළුවන් වෙනවා (hibernation – ඇතැම් ගස් වැල් සහ සතුන් ශීත කාලයේ ශක්තිය වැය නොකර, ශක්තිය ආරක්ෂා කරගෙන නිසොල්මන්ව සිට ඒ කාලය තරණය කිරීම).
අනික් අතට වෙනදා නොතිබ්බ ගෝලීය අවධානයක් දැන් ට්‍රම්ප් වෙතට යොමුවෙලා. හැමෝම ඒ ගැන කතා කරනවා. ඒක මුද්‍රිත සහ ඉලෙක්ට්‍රොනික සියළු මාධ්‍ය ලෝකය පුරා මුල් ප්‍රවෘත්තිය කරගෙන. අලුතෙන් චන්ද කැම්පේන් කරන්න දෙයක් නැති තරම්. මේ අව් අස්සේ එයා තව ටික දවසකින් සුවය ලබලා එහෙම මාධ්‍ය වලට ඇවිල්ලා කිව්වොත් ‘අයියෝ ඒක මොකක්ද? මේ පොඩි හෙම්බිරිස්සාවක් නේ. බලන්න මම කොච්චර ශක්ති සම්පන්නව ඉන්නවද’ කියල එතකොට ‘ශක්තිවන්ත ට්‍රම්ප් ට’ නිකම්ම මිනිස්සුන්ගේ චන්දෙත් හම්බ වෙනවා. අනික් අතට ඔය පහසුකම් මුකුත් නැති මිනිස්සුන්ටත් ‘කොරෝනා කියන්නේ පොඩි හෙම්බිරිස්සාවක්’ කියල හිතල පෝලිමේ වැඩට යන්න වෙනවා. එක ගලයි කුරුල්ලෝ දෙන්නයි. නොසැලකිලිමත් බව දේශපාලන ජයග්‍රණයක් බවට පත් වෙන්නේ ඒ විදියට.
කොහොමත් ට්‍රම්ප් කියන්නේ ඊගෝ බේබි (narcissistic personality) කෙනෙක් නිසා පටස් ගාල සුව වෙලා ඇවිල්ලා කෝවිඩ් කියන්නේ ගණන් ගතයුතු නැති ‘චීන වෛරස් එකක්’ කියල උදම් අනනු ඇතියි කියල කුමන්ත්‍රණ න්‍යාය කාරයෝ විශ්වාස කරනවා (conspiracy theorists). ‘ඇමෙරිකන් අපිට ඕක මොකක්ද කියල එයා කියයි’. එතනත් ඇමෙරිකා ෆස්ට්. එහෙම කියන්නේ එක කට්ටියක්. අනික් අතට තව කට්ටියක් කින්ඩියට කියනවා ඔය හාපික් වගේ දේවල් මේ දවස් වල එයාට අහු වෙන්න තියන්න එපා කියලත්.
එයාට උසුළු විසුළු කරන කට්ටියට උත්තර දෙන තව කට්ටියක් කියන්නේ ට්‍රම්ප් ට තියෙන්නේ මොළයක් නෙවෙයි මොළ ගේන නැවක් කියල. ඒ කියන්නේ මේ කෝවිඩ් කතාව නිසා දැන් උඩට ඇවිල්ලා තියන තඩි බදු වංචා ෆයිල් ගොඩක් සෑහෙන කාලෙකට යට යයි කියල. මේවා ඇත්තටම ගත්තොත් තාරකා මොළ වල වැඩ (galaxy brain). එහෙම කියන්නේ ශෝෂල් මීඩියා කාරයෙක්.
හැබැයි ඉතිං ට්‍රම්ප් රාජධානිය ගොඩ නැගිලා තියෙන්නේ ම ඔය වගේ කුමන්ත්‍රණ න්‍යාය වලට ඉස්මතු වෙන්න අවකාශය දීලම තමයි. ඒ කතා හැදෙන එකම තමයි එයාලගේ හයිය. මේ කතා ඇත්ත වුනත් අවසානයේ දිනන්නේ එයාල. බොරු උනත් දිනන්නේ එයාල. ඒක තමයි මේ යුගයේ පෝස්ට් මොඩන් ඇත්ත.
-මහේෂ් හපුගොඩ(FB)

Leave A Reply

Your email address will not be published.

4 × 1 =