බැබළෙන තරු සොයන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය

තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ සහභාගිත්වයෙන් මෙරට වොලිබෝල් ක්‍රීඩාවේ මහා මංගල්‍යය ලෙස සැලකෙන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසාන මහා තරග 26 වැනිදා මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැත්වෙයි.

මෙවර තරගාවලියේ විශේෂත්වය වන්නේ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියට අමතරව ජනාධිපති අභියෝග කුසලාන තරගාවලිය ලෙස නව තරගාවලියක් මෙවර හඳුන්වා දීම ය.

මෙහි දී දිස්ත්‍රික්ක මට්ටමින් පැවැති තරගාවලියේ පළමු අදියර ජය ගත් කණ්ඩාය‍ම් 100ක් දෙවැනි අදියර සඳහා සුදුසුකම් ලබා ගත් අතර, එහි දී ජය හිමි කර ගත් කණ්ඩායම් 50ක් ජනාධිපති රන් කුසලානය සඳහා සුදුසුකම් ලබා ගනිද්දී, පරාජිත කණ්ඩායම් 50 ජනාධිපති අභියෝග කුසලාන සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

2019 ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ තරග ජනවාරි මාසයේ රුවන්වැල්ල, රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවති අතර, එහි දී දිස්ත්‍රික්ක මට්ටමින් ජය ගත් පිරිමි හා කාන්තා කණ්ඩායම් 100 අතර පැවති තරගවලින් ජය ගන්නා ලද කණ්ඩායම් අට ජනාධිපති රන් කුසලාන සහ අභියෝග කුසලාන අවසන් මහා තරගවලට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

මෙහි දී ජනාධිපති රන් කුසලාන පිරිමි අවසන් මහා තරගය සඳහා ගම්පහ ‘සියනෑ තරු’ කණ්ඩායම සහ දෙබෑගම ‘රන්තරු’ කණ්ඩායම   සුදුසුකම් ලබා ගනිද්දී, ජනාධිපති රන් කුසලාන කාන්තා අවසන් මහා තරගය සඳහා රදාවාන ‘ගෝල්ඩන් බර්ඞ්ස්’ ක්‍රීඩා සමාජය සහ මහඋස්වැව ‘රතනපාල’ ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

ජනාධිපති අභියෝග කුසලාන පිරිමි අවසන් තරගය සඳහා නාත්තන්ඩිය ‘යුනයිටඞ්’ ක්‍රීඩා සමාජය සහ පොතුපිටිය ‘ලකී සික්ස්’ ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා ගනිද්දී අභියෝග කුසලාන කාන්තා අවසන් මහා තරගය සඳහා කෑගල්ල ‘හයිඩ්‍රාමනී’ ක්‍රීඩා සමාජය සහ කොස්වාඩිය ‘විජය’ ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

ජනාධිපති රන් කුසලාන කනිෂ්ඨ කාන්තා අවසන් තරගය සඳහා මහඋස්වැව ‘රතනපාල’ ක්‍රීඩා සමාජය සහ කෑගල්ල ‘හයිඩ්‍රාමනී’ ක්‍රීඩා සමාජය තරග වදින අතර, පිරිමි අවසන් තරගය සඳහා නාත්තන්ඩිය ‘යුනයිටඞ්’ ක්‍රීඩා සමාජය සහ වෙන්නප්පුව ‘ජෝශප් වාස්’ කණ්ඩායම තරග කරයි. මෙ තරග 25දා සහ 26දා පැවැත්වෙයි.

සුපුරුදු පරිදි ‘ඩයලොග්’ ආයතනය  මෙකී තරගාවලියට අනුග්‍රාහකත්වය දක්වන අතර, ජනාධිපති රන් කුසලාන තරගාවලිය සහ මීට පෙර පැවැති වයස අවුරුදු 22න් පහළ කාන්තා – පිරිමි තරගාවලි හරහා ග්‍රාමසේවා මට්ටමින් ගොඩනැඟෙන වේදිකාව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික තලය හරහා අන්තර් ජාතික මට්ටම දක්වා ම සිය හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට කදිම තෝතැන්නකි.

ජනාධිපති රන් කුසලාන සහ අභියෝග කුසලාන වොලිබෝල් තරගාවලි, කුසලතා පිරි තරුණ ජවය ජාත්‍යන්තර තලයට ගෙන යාමට මහඟු‍ පිටිවහලක් වන බව නොරහසකි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය ගත්ත ද, අභියෝග කුසලාන තරගාවලිය ගත්ත ද මෙකී භූමිභාගයේ වැටකඩුලු බිඳගෙන ඉදිරියට ගිය ද, මේ භූමිභාගයෙන් එපිට දී මෙරට වොලිබෝල් ක්‍රීඩාව අත්පත් කර ගන්නා ඉරණම් සහගත තත්ත්වයන් ගැන බලධාරීන්ගේ අවධානය මීට වඩා යොමු විය යුතු ය.

මෙරට සමස්ත ක්‍රීඩාවම බිඳවැටී ඇති මොහොතක වොලිබෝල් ක්‍රීඩාවට පමණක් එයින් මිදීමට නොහැකි බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ. ජනාධිපති රන් කුසලාන සහ අභියෝග කුසලාන තරගාවලිය වසරක් පාසා පැවැත්වීමෙන් ඔබ්බට ගෙන යන වැඩපිළිවෙළකට මෙකී තරගාවලිය රැගෙන යාමට ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ නිලධාරීන් මීට වඩා අවධානය යොමු කළ  යුතු බවයි අපේ අදහස වන්නේ●

නිර්වාණ අනුත්තර

Leave A Reply

Your email address will not be published.

twenty + one =