පාස්කු ප්‍රහාරයට අත්අඩංගුවට ගනුලැබූ සැකකරුවන් ගැන පරස්පර ගණන් හිලව් !

පසුගිය මාසයේ සිදුවු බෝම්බ පිපිරීම්වලින් පසුව ආරක්ෂක අංශ විසින් විවිධ චෝදනා නගා අත් අඩංගුවට ගෙන පොලිසි ඇතුළු විවිධ ස්ථාන වල රඳවාගෙන සිටින මුස්ලිම් ජාතිකයන් පිළිබඳව රජය විසින් ඉදිරිපත් කෙරෙන සංඛ්‍යා ලේඛනවල බරපතල පරස්පරයක් ඇති බව අනාවරණය වී තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් පසු රජයේ ආරක්ෂක අංශ විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මුස්ලිම් ජාතිකයන් විශාල පිරිසක් අත් අඩංගුවට ගනු ලැබුනි. රැඳවුම් නියෝග, හදිසි නීතිය වැනි අණ පනත් යටතේ විවිධාකාරයේ චෝදනා එල්ල කරමින් ඔවුන් සිරගත කොට තිබේ. ජාතික තවුහිද් ජමාත් සංවිධානය සහ මේ වන විට රජය විසින් තහනම් කොට ඇති සෙසු මුස්ලිම් සංවිධාන සමගත් සබඳතා පැවැත්වීම, ගිනි අවි හා කඩු ඇතුළු අවි ආයුධ ලඟ තබා ගැනීම, මුස්ලිම් ධර්ම ප්‍රචාරක සංයුක්ත තැටි ළඟ තබා ගැනීම, ඉස්ලාමීය ආගමික ග්‍රන්ථ සන්තකයේ තබා ගැනීම යනාදිය ඒ චෝදනා අතර වෙයි. ප්‍රහාරවලට ලක් වු දේවස්ථාන සහ සංචාරක හෝටල්වල බෝම්බ පුපුරුවා හරින ලද බවට රජය විසින් සැක කෙරෙන පුද්ගලයන් සමග විවිධ සබඳතා පැවැත්වීමේ චෝදනාව යටතේ ද පිරිසක් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.

ඇතැමුන් අත් අඩංගුවට ගෙන ඇත්තේ ආරක්ෂක අංශ විසින් හඹා ගිය ප්‍රධාන පුද්ගලයාගේ අසල්වැසියන් වීම හේතු කොටගෙනය. වෙසක් සැරසිලි ඇතුළු ඇතැම් ස්ථාන ඡායාරූපගත කිරීම පිළිබඳව චෝදනා කරමින් ද තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ ආරක්ෂක අංශ බාරයට ගත් පිරිස අතර ව්‍යාපාරිකයන් හා ඉස්ලාමීය පූජකවරුන් මෙන්ම ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ද, පාර්ලිමේන්තු සේවකයන් ඇතුළු රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලතල දරන ලද ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම අය වෙති.

දැනට වාර්තා වී ඇති පරිදි මෙම අත් අඩංගුවට ගැනීම් බහුතරයක් සිදුකර තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසිනි. ඒ හැරුණු විට ගුවන් හමුදාව, ජාතික බුද්ධි තොරතුරු කාර්යාංශය සහ ඒ ඒ පළාත්වල පිහිටි ප්‍රාදේශීය පොලිසි විසින් ද පුද්ගලයන් විශාල පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ. ආරක්ෂක අංශ ඒකාබද්ධ මෙහෙයුම් මගින් අත් අඩංගුවට ගන්නා ලද අය මෙන්ම සිංහල ජාතිකයන් විසින් බලහත්කාරයෙන් රඳවාගෙන පොලිසි සහ ආරක්ෂක අංශ වෙත භාර දීමෙන් පසුව අත් අඩංගුවට ගන්නා ලද මුස්ලිම් ජාතිකයෝ ද වෙති.

යුද හමුදාපති මහේෂ් සේනානායක විසින් මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළ පරිදි අත් අඩංගුවට ගනු ලබන සැමදෙනාම පාහේ මුස්ලිම් ජාතිකයෝ වෙති.

මාසයකට වැඩි කාලයක් තිස්සේ දිනපතා සිදු කෙරෙන අත් අඩංගුවට ගැනීම් පිළිබඳව කරන ලද සොයා බැලීම් මගින් අනාවරණය වූයේ එසේ දැනට අත් අඩංගුවට ගෙන විවිධ ස්ථානවල රඳවා තබා සිටින පුද්ගලයන් පිළිබඳව පොලිසිය සහ ආරක්ෂක අංශ විසින් නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටින බවය.

විශේෂයෙන්ම ආරක්ෂක අංශ භාරයට ගන්නා ලද පුද්ගලයන් පිළිබඳව ජනමාධ්‍ය විසින් ඉදිරිපත් කරනු ලබන සංඛ්‍යාවන් හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් ඉදිරිපත් කරනු ලබන සංඛ්‍යාවන් අතර විශාල පරතරයක් ඇති බව පොලිසියේම ඉහළ නිලධාරිහු පවසති.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර විසින් පසුගිය සතියේ පවසා සිටි පරිදි දැනට අත් අඩංගුවේ සිටින මුළු සංඛ්‍යාව 85කි. එයින් 65 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේත්, 20 දෙනකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේත් රඳවා සිටිති. මෙම 85 දෙනාගෙන් දස දෙනකු කාන්තාවන් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේය.

කෙසේ වුවද, ඔවුන් සියළු දෙනා රඳවා තබාගෙන ඇත්තේ රැඳවුම් නියෝග, ත්‍රස්තවාදය වැළැක්වීමේ නියෝග හෝ හදිසි නීති රෙගුලාසි යන කවර නීතිමය විධිවිධාන යටතේ දැයි යන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෝ රජයේ බලධාරීන් විසින් නිශ්චිතව හෙළිදරව් කර නොමැත.

Leave A Reply

Your email address will not be published.

13 + 18 =