කැලෑ කපනවා කිව්වොත්…. දැඩි දඬුවම්!

“අයියේ…  වැඩක්ද?”

“ඇයි?”

“බලන්නකෝ මේ හැම තැනම කැලෑ කපනවලු නේ… දවසට අක්කර 3 ක් කපනවා කියන්නේ…. ”

“එහෙම කියනවා…”

“මෙහෙම ගියොත් මේ රට කාන්තාරයක් වෙයි නේ….”

“කැලෑ ටික පැත්තකින් තිබ්බත්, මේ හැම තැනම ගස් කැපිලා ඉඩම් එළිවෙන විදියට, කොහොමත් තව වැඩි කාලයක් මේ රට මේ විදියට තියෙන්නේ නෑ… දැන් අපි ඉන්න පළාත බලන්න.. අපි පොඩි කාලේ කොච්චර ගහ කොළ තිබ්බද? දැන් ඔක්කොම කැපිලා ගෙවල් හැදිලා… ”

“හ්ම්ම්… ඒක නේ.. ඒත් ඉතින් මිනිස්සුන්ට ජීවත් වෙන්න තැනකුත් එපැයි…?”

“ඒකට තමයි දැන් හරි ප්‍රතිපත්තියක් ඕනෑ. තමන්ගේ වත්ත හරි එළි කරනවා නම් ඒකට මොකක් හරි නීතියක් ඕනෑ. පරණ ක්‍රමයට එහා ගිහින් පරිසර සැලැස්මක් ඇතුව ජනාවාස බිහි කරන්න ඕනෑ…”

“ම්ම්ම්……. ”

“අයියයි මල්ලියි මොකද කරන්නෙ…?” සිරිදාස මාමා ගෙදරට ආවා..

“ආ…  නෑ… අපි මේ කැලෑ කපන එක ගැන කතා කළා…”

“ඕවා බොරු ප්‍රචාර! දන්නෙ නැද්ද…?”

“ඒක නම් දන්නෙ නෑ… සමහර ඒවා වෙන්නත් ඇති. ඒත් ඇත්ත ඒවත් තියෙනවනෙ…”

“මේ.. මේ.. බොරු ප්‍රචාර යවලා අහුවෙන්න එපා… දැඩි දඬුවම් දෙන්න යන්නෙ ඔන්න….!”

“නෑ……….  ඒ කියන්නෙ අර විල්පත්තුවෙ ඉඳලා ඔක්කොම ඇත්ත සීන්වලට දඬුවම් දීලා ඔක්කොම හිරබත් කනව ද…?”

“අ…. අ….. අ….. ඒක…… ඒ..ඒ…ඒ….ක……..”

“ඇයි දීලා නැද්ද…?”

“දීලා….. මයෙ හිතේ… නැතත් ඒක වැඩක් නෑනේ… ”

“ඇ‍යි…? බොරු ප්‍රචාරවලට දඬුවම් දෙන්න ඕනෑ ඇත්ත ඒවට දඬුවම් දීල නේ……  ”

“එතුමා කිව්ව නේ ඉතින් දඬුවම් දෙනවා කියලා…”

“ඔව්… කිව්ව නම් තමා… කියන දේ කරන්නත් එපැයි…”

“ආ…… ඒ කතා නෑ දැන්… එතුමගෙ කටින් දෙයක් පිටවුණොත් දැන් ඒක චක්‍රලේඛයක්….  ඔන්න බලන්නකෝ… කට්ටිය යන හැටි ඇතුළට… ”

සිරිදාස මාමා යන්න හැරුණා.

“මාමා ආවේ…?”

“ආ.. ආවේ…. ආවේ…… කුඩයක් තියෙනව ද බලන්න…?”

“කුඩයක්…? තියෙනවා… ගෙනිහිල්ල ගෙනත් දෙන්න…”

“නෑ.. මේ අපේ අර දොස්තර ඇමතිතුමියට කුඩයක් නෑලු වාහනේ තියා ගන්න.. මේ එයාට දෙන්න… කමක් නෑ.. මම හොයා ගන්නම්..”

Leave A Reply

Your email address will not be published.

11 − 2 =