බූන්දියාගේ එහෙන් චුට්ටයි මෙහෙන් චුට්ටයි…

බඩඉරිඟුවලට ගුණ වැයිලා, කවි හැදිලා, නවකතා ලියැවිලා අහවර වෙච්චි කාලේ බූන්දියට හිතුණේ, බඩඉරිඟු කතාවත් නිකම් හයි ඇස් ද මොකද්ද කියන රෝද හතරෙං ගමං ගිහින් ගොං කරත්තෙට මාරු වෙලා වගේ දෑ කියලා.

පරිප්පුවට බත් බෙදාගෙන තුංවේල කන ජාතියක් වෙච්චි අපිට බඩඉරිඟු පුරුදු කරන්න ඇහැක් නං හොඳා තමා. පස්නෙකට තියෙන්නේ, ලංකාවෙ මිනිස්සු පරිප්පු කාපු කැවිල්ලට බඩඉරිඟු වවන්න කැලෑ කොච්චර එළිපෙහෙළි කරන්න වෙයි කියන එක. ඕං ඒක අමතක කොරමුකෝ. බූන්දියටත් ඕනි නැති මඟුලක් නෑ නොවෑ.

බූන්දියට හිතෙන්නේ නං කන පරිප්පුව එහෙම්මම කාගෙන ගිහින්, ඒවට සල්ලි පිටරටකට යනවා නම්, ඔය පරිප්පුවට බඩඉරිඟු ආදේශ නොකර ලංකාවෙ මුං ගොවියට ඉඩ හදලා දෙන එක.

අනික් එක තමා ඔය කියන ඉරිඟුවේ මවුබිම වෙච්චි ඇමෙරිකාවේ නිෂ්පාදන ක්‍රියාවලිය වෙන හැම ධාන්‍යකටම වඩා මෙටි්‍රක් ටොන්වලින් ඉහළ යද්දී, හැහ් නෑ… ඉහළින්ම ඉඳිද්දී, ලංකාවෙ අපි පණ දාගෙන අපිට කන්න විතරක් බඩඉරිඟු වවන්න දඟලන එක වැඩකට නැති කාලය නිස්කාරණේ හිලව් කරන ලෙඩක් කියලා. කන ඉරිඟුව මේ ගාණටම කාගෙන අපිට කියලා අනන්‍යතාවක් හදාගන්න පුළුවන්, අපේ දේශීය හාල් හරි දේශීය වගාවක් හරි ජාත්‍යන්තරයට අරගෙන ගියා නං. නෑනේඑහෙම අදහසක් නෑ.

ඒකත් නිකං අර කහ ගෙන්නන එක නතර කොරලා කහ වවන්න ගොවියෝ උනන්දු කරවනවා වගේ. ඕං මම හූනා කියන්නා වගේ කියන්නේ, ඔළුවක් තියෙනවා නං කවුරු හරි ඉඟුරු වවන්න. කහ ගණං හින්දා දැන් ඔක්කොම කහ කහ, කහ වවන්න අරගෙන. හැබැයි පරණ කහ ගොවියම තමා. ඉඟුරු වවන්න කවුරුත් වැඩි ලකයක් නෑ. කහ වෙළෙඳපොළ කහ කරද්දී ඉඟුරුවල අඩුකමට ඉඟුරුවල මිල ඉහළ යනවා. තව තව පොඩි පොඩි වගා ටිකක් තියෙනවා. හොයලා බලලා අර කහත් එක්කම එව්වත් වැව්වා නම්, ඉස්සරහට බොලාල ගොඩ. සුළු ආනයන, අපනයන බෝග විදිහට කහවලට ලොකු බලපෑමක් වෙළෙඳපොළට කරන්න පුළුවන් නම්, ඒක කරන්න පුළුවන් ලංකාවෙ තියෙන ඔක්කොම කුළුබඩු වර්ග එකතු කරලා මිසක් තනියෙන් නෙමේ. එතකොට බූන්දියා කියන්නේ, කහ ගොවියා වගේම සාදික්කා, එනසාල්, කුරුඳු වගේ එකී නොකී මෙකී ඔක්කොම ගොවියෝ දිරිමත් කොරගෙන වෙළෙඳපොළ අල්ලගෙන අල්ලගෙන යන්න ඕනි කියලා. කහ නැති අඩුව සෑහෙන්න දැනෙන්නේ බූන්දියා වගේ ගෑනුන්දැලටනේ. ඕකේ පරහක් තියෙන්නේ ගෙදර ගෑනු උන්දෑ කියන්නේ අඩුපාඩු ඔහේ තොරතෝංචියක් නැතුව කුටු කුටු ගාන එකියක් වෙච්චි එකේ, කහ නැති අඩුවයි, කහ ලංකාවෙ වවාගෙන දියුණු වෙන එකයි ටක්කෙට දැනෙන්න ඇරියාවත් කියන සැකේ. මොක උනත් ඔන්න දැන් කහ නෑ.

හැබැයි රජෝ,

පරිප්පුවට තිත තියලා බඩඉරිඟුව කන්න ගිහිනුත් ඔය පස්නෙටම මූණ දෙන්න උනොත් එහෙම මයෙ දෙයියෝ වසලා හමාරයි ඈ…

මක්ක මක්ක හරි එහෙම ටොපි වෙද්දී එව්වා ගිලගෙන හරි ජීවත් වෙන්ට ඕනි. බූන්දියා දැන් දැන් පාඩං ඉගෙනගෙන ඉන්නේ. ඔය ලොසින්ජර්වලත් කල් ඉකුත්වීමේ දින තියෙනවා කියලා.

බූන්දියා

Leave A Reply

Your email address will not be published.

fourteen + five =