ජාතික ආරක්ෂාවේ මර උගුල

සිරියාවේ තම සංවිධානයේ සටන් කරුවන් සමග එක්ව සටන් වැදී සිටියදී ලාංකික මුස්ලිම් ජාතිකයෙක් මියගිය බව ISIS සංවිධානය 2015 දෙසැම්බර් මාසයේදී නිවේදනය කළේය. ගලේවෙල පදිංචි මූස්ලි ලීලන්දම් වන එම පුද්ගලයා අබු ශුරායා වශයෙන් ISIS සංවිධානය විසින් නම්කර තිබූ බවත් තවත් ශ්‍රී ලාංකියන් 16ක් තමන් සමග එක්ව සටන් කරන බවත් ISIS සංවිධානය සඳහන් කර තිබුණි. එම පුවත පදනම්කර ගනිමින් ISIS සංවිධානය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් තමන් අවධානයෙන් සිටින බව 2016 ජනවාරි 7 දින මෙරට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය.
පසුගිය අප්‍රේල් 21 මරාගන මැරෙන ප්‍රහාර මාලාව එල්ලවන විට අදාළ නිවේදනය නිකුත් වී වසර 4යි මාස 6කි. තම අමාත්‍යාංශය නිකුත් කළ එම නිවේදය ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දැන සිටියත් නැතත් ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනතාවට ඔහුගේ ඇති වගවීමත් ජනාධිපතිවරයා ලෙස ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහුගේ වගකීමේ ප්‍රමාණයත් රටට අනාවරණය වී අවසන්ය.
එමෙන්ම ලංකාවේ සිට ට්‍රැමඩොල් පෙති මිලියන 37ක් ISIS ත්‍රස්තවාදීන් වෙත අලෙවිය සඳහා රැගෙන යමින් තිබියදී 2017 මැයි 12 දින ඉතාලි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. එහි නියම වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 75කි. ඉන්දියානු ෆාමසූටිකල් සමාගමක් විසින් ඇමරිකානු ඩොලර් 250,000කට මෙම ඖෂධ අලෙවි කර තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. අදාළ ඖෂධ තොගය ලංකාවට ආනයනය කර පසුව ඊට අදාළ ලියකියවිලි විනාශකර බැලැංකට් ෂැම්පු තොගයක් වශයෙන් නම්කරමින් ලංකාවෙන් ප්‍රති අපනයනකර තිබිණි.
මෙමගින් කියවෙන්නේ ලංකාව කෙතරම් දුරකට ජාත්‍යන්තර ත්‍රස්වාදයට වැදගත් වේද යන්නත් ඊට මෙරට ජාවාරම්කාර දේශපාලකයන් හවුල් වී සිටීද යන්නත්ය. එමගින් අනාවරණය වන ප්‍රධාන කාරණය හවුල් ආණ්ඩුවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත්කරන දේශපාලකයන් කෙතරම් ISIS අපරාධවලට හවුල් තිබේද යන්නයි.


හවුලේ රඟපෑම්
මෙම අවුල් සහගත හවුල් ආණ්ඩුව තමන්ගේ දේශපාලන උවමනාවන්ට පාවිච්චි කළහැකි නිලධාරීන් මේවාට වගකිව යුතු බව පවසමින් ඔවුන් තනතුරුවලින් පන්නමින් රඟපාමින් සිටී. එම තත්ත්වය තුළ අගමැති රනිල් වික්‍රමසිංහ පවසන්නේ විදෙස් හමුදා හා ඔත්තු සේවා සහය ලබාගෙන ජාත්‍යන්තර ත්‍රස්තවාදයට කුඩු වෙන්න පහරදෙන බවකි. නිසි නායකත්වයක් නොමැතිව තම වෘත්තීය නිපුනතාව මත එක්රැස් කළ බුද්ධි තොරතුරු මත සිදුකරන වැටලීම් කළ පසු ඒවා මාධ්‍ය ප්‍රදර්ශන කර අපි ත්‍රස්තවාදයට බැටේ දෙනවා කියමින් ජනාධිපතිවරයා රංඟනයේ යෙදී සිටී.
බලයට කෙළ හළන රාජපක්ෂ නළුවන් පුන පුනා මාධ්‍යයට පවසන්නේ තමන් වෙනුවෙන් අපරාධ කළ ඔත්තු සේවාවල පුද්ගලයන් කිහිප දෙනෙකු නිදහස් කරන ලෙසය. මේ අතරේම තමන්ගේ න්‍යාය පත්‍රවලට අනුව තමන්ට විරුද්ධ දේශපාලන පක්ෂවලට තළා ගැනීමේ මෙහෙයුමක්ද දියත්කර තිබේ. ජවිපෙ ඉලක්ක කරමින් මාධ්‍ය කිහිපයක සිටින බත්බැලයන් යොදවා පහර දීම එවැන්නකි.
කෙසේ වෙතත් ISIS ත්‍රස්තයන් මෙරට ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් 2010 වසරේ සිටම මෙරට ඔත්තු සේවා විසින් පැවති ආණ්ඩුවලටතA පවතින හවුල් ආණ්ඩුවටත් තොරතුරු සපයා තිබිණි. එමෙන්ම මේ ගැන නිල වශයෙන් 2016 නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවේදී අනාවරණය කෙරිණි. එහෙත් වසර 4ක් යන තෙක් ගත් ක්‍රියාමාර්ගයක් නැත. එසේම වනාතවිල්ලූව ප්‍රදේශයෙන් හමුවූ පුපුරන ද්‍රව්‍ය හා අත්අඩංගුවට පත් ත්‍රස්තයන් සම්බන්ධයෙන් පරීක්ෂණ යට ගැසීම ගැන මේ දේශපාලකයෝ නිහඩය.


බටහිර සැලැස්ම
ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විදෙස් හමුදා සහාය ලබන බව අගමැති පුන පුනා කියයි. බටහිර භූ දේශපාලනික සැලසුම් හා තොරතුරු සපයා ගැනීම සඳහා කාගෙවත් ඉල්ලීම් බටහිර රටවලට අවශ්‍ය නැත. දැන් දැන් විදෙස් ඔත්තු සේවාවන්හි ඒජන්තයන් රැසක් මෙරට ක්‍රියාත්මකව සිටී. ඔවුන්ගේ නූතන අවශ්‍යතාව වන්නේ ත්‍රස්තවාදය මර්දනය කරන මුවාවෙන් තම බිලී පිතිවල සිටින හිපියන් දියපිට නටවමින් තමන්ගේ දේශපාලන ඇම අවශ්‍ය තැනට රැගෙන යාමයි.
රනිල්ලාට තම තමන්ගේ දේශපාලන පැවැත්මේ ආරක්ෂාව වෙනුවෙන් මිස මෙරට ජාතික ආරක්ෂාව වෙනුවෙන් කළහැකි කිසිවක් නැත. ත්‍රස්තවාදය බිහිකිරීමේත් අවි හා ඖෂධ සපයා එය පෝෂණය කිරීමේත් බටහිර උපාය මාර්ගයන්හි මෛත්‍රි – රනිල් පමණක් නොව මහින්ද ද සිරව ඇති බැවිනි. මුස්ලිම් මූලධර්මවාදී සන්නද්ධ සංවිධාන ගොඩනගමින් එය ලොව පුරා ගොඩනගන ලද්දේ බටහිර මෙම උපාය මාර්ගයන්හි අවශ්‍යතා මත බැවිණි.
70 හා 80 දශකය තුළ ඇෆ්ගන් රජය පෙරළා දැමීම සදහා මෙම මූලධර්මවාදී සංවිධාන ගොඩනගන ලද්දේ ඇමෙරිකානු ඔත්තු සේවා විසින් බව ඉතා පැහැදිලි කාරණයකි. දැනට සිරියාවේ පවතින දරුණු සිවිල් යුද තත්ත්වය නිර්මාණය කරමින් 2010 වසරේ දෙසැම්බර් මාසයේ ආරම්භ වූ අරාබි වසන්තය ටියුනීසියාව, ඊජිප්තුව, ලිබියාව සහ යේමනය හරහා ගලා ගියේය. එම රටවල ජනතා නැගිටීම්වලට සහය දෙන මුවාවෙන් කැරලිකරුවන්ට පුහුණුව, ආදායම් මාර්ග, අවි හා මුදල් සැපයීම සිදුකළේ ඔවුන්ය.
එනිසා එම රටවලට දේශපාලන ස්ථාවරභාවයට පත්වීමට අදටත් නොහැකිය. මොසාඩ් ඔත්තු සේවා වාර්තාවලට අනුව ඉරාකය තුළ පමණක් ISIS සටන්කරුවන් හැත්තෑදහසක් පමණ සිටී. සිරියාව තුළ පමණක් ස්වදේශීය සටන්කරුවන් තිස්පන්දාහත්, පනස්දහසත් අතර ප්‍රමාණයක් සිටින අතර විදේශීය සටන්කරුවන් පහළොස් දාහක් සිටින බව කුර්දි හා ඇමෙරිකානු ඔත්තු සේවා වාර්තාවල සඳහන්ය. ඔවුන් ඕනෑම රටකට ගොස් සටන් කිරීමට සූදානමින් සිටී.


නරින්ගේ දේශපාලන උපාය
2010 වසරේ සිටම මෙරට ඔත්තු සේවා විසින් ලංකාවේ ෂීෂී ක්‍රියාකාරකම් හා ඊට සම්බන්ධ පුද්ගලයන් ගැන වාර්තා සපයා තිබිණි. ඒ වෙනුවෙන් එවකට පැවති රාජපක්ෂ ආණ්ඩුව 2015 පරාජය වෙන තෙක් ගත් පියවරක් මෙතෙක් අනාවරණය වී නැත. උතුරේ යුද්ධය අවසන් වීමෙන් පසු රාජපක්ෂලාට තම දේශපාලන පැවැත්ම සඳහා තවත් බිල්ලෙක් අවශ්‍ය විය. මුස්ලිම් අන්තවාදී සංවිධාන පරාජය කිරීම වෙනුවට ඔත්තු සේවා සැපයූ වාර්තා පදනම්කර ගනිමින් බොදුබල සේනා වැනි සංවිධාන ගොඩනගා මුස්ලිම් විරෝධයක් රටතුළ ගොඩ නැංවීය. තම දේශපාලන පැවැත්ම වෙනුවෙන් ගෙඩිය අමුවෙන් කඩා ගැනීම රාජපක්ෂලාගේ අරමුණ වූයේ තම බලය පිරිහෙමින් පැවති වටපිටාවකය. වෙබ් අඩවි, ජාතිවාදී කල්ලි යොදාගනිමින් දර්ගා නගරය ගිනි තබමින් දරන ලද උත්සහය වූයේ මෙලෙස සාමාන්‍ය මුස්ලිම් ජනතාව මීට ඈඳා ගැනීමය. එහෙත් මුස්ල්ම් අන්තවාදය හා සාමාන්‍ය මුස්ලිම් ජනයා අතර පරතරය තහවුරු කරමින් සාමාන්‍ය මුස්ලිම් ජනතාව මෙම ජාතිවාදී උගුලේ නොවැටී මහින්දගේ ආණ්ඩුවේ පීඩාව ඉවසමින් සිටියේය. එහෙත් මූලධර්මවාදී ත්‍රස්තවාදයට එතරම් හදිසියක් නොපැවතියේ රාජපක්ෂලාගේ දේශපාලනයට පිටින් ක්‍රියාත්මක වීම නිසාය. එහෙත් අප්‍රේල් 21 පාස්කු දිනයේ කළ ප්‍රහාර සම්බන්ධයෙන් ආණ්ඩුව මෙන්ම ඒකාබද්ධ විපක්ෂය හොඳින් දැන සිටියේය. අවසානයේ අපරාධය සිදුවන්නට ඉඩහැර මළගම් යන දේශපාලනයේ නිරතවෙමින් ප්‍රකාශ නිකුත් කරන්නටත් පටන්ගෙන ඇත්තේ ඉදී, බිමට වැටුණු ගෙඩිය අනෙකා අතට පත්වීම වලකා තමන් අතට ලබා ගැනීමේ අරමුණෙන් බව පැහැදිලිය.


ජාතික ආරක්ෂාවේ මර උගුල
රට තුළ උද්ගතව ඇති තත්ත්වය මාස තුනෙන් අවසන් කරන බව යුද හමුදාපති පවසන්නේ දේශපාලන දැනුමෙන් වියුක්තව යුදමය ක්‍රියාමාර්ග මත පදනම් වෙමින්ද නැතහොත් ජනතාව රැවටීමේ අරමුණින්ද යන්න අපැහැදිලිය. වැඩි පිරිසක් මෙම තත්ත්වය විග්‍රහ කරගනු ලබන්නේ පැවති එල් ටී ටී ඊ ප්‍රහාරත් එය පරාජය කිරීමේ අත්දැකීමත් ඉවහල්කර ගනිමිනි. එනිසාම විපක්ෂයට හා ආණ්ඩුවට මේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් පවතින අනතුරුදායක බව ජනතාවගෙන් වසන්කර ජනතාව හා දේපළ විනාශයෙන් එය තේරුම් ගන්නා තෙක් බලය වෙනුවෙන් රවටා ගැනීමට පහසු වී ඇත්තේය.
පොලිස් හා හමුදා මාධ්‍ය ප්‍රකාශවරුන් පවසන ආකාරයට ජාතික ආරක්ෂාව තහවුරු කිරීම යනු දිනපතා වැටලීම් මගින් ආරක්ෂක අංශ භාරයට ගන්නා වයර්, ඩෙටනේටර්, පුපුරන ද්‍රව්‍ය හා වටලන ගෙවල් ප්‍රමාණයත්, අත්අඩංගුවට ගනු ලබන පුද්ගල සංඛ්‍යාවත් නොවේ. නැතහොත් චැනල්වලින් මයික් අල්ලා අසන ප්‍රශ්නවලට තම රාජකාරියට අවවාද ලිපි නොලැඛෙන ලෙස පිළිතුරු දීමද නොවේ.
ජාතික ආරක්ෂාව යනු සේව නූල පුපුරන ද්‍රව්‍යවලට සම්බන්ධවන ස්ථානය හඳුනාගැනීම හෝ එය වැටලීම නොව සේව නූල් ගිනි තබන පුද්ගලයන්, එහි අරමුණු හා සැලසුම් හදුනා ගැනීමත් ඊට පිළියම් යෙදීමත්ය. මුස්ලිම් අන්තවාදය පිපිරවීමට ගිනි තබන දේශපාලන මූලයේ සැලසුම ඇත්තේ ඇමෙරිකාව ප්‍රමුඛ රටවල දේශපාලන හා ආර්ථීක සැලසුම් මතය. මෛත්‍රි – රනිල් මහින්ද තම පැවැත්ම වෙනුවෙන් සිටගෙන සිටින්නේ එතැනය. ලංකාවේ ජාතික ආරක්ෂාවේ මර උගුල ඇත්තේ එතැනය.
ආරක්ෂාව යනු ක්‍රියාන්විත, උපක්‍රම, උපායමාර්ගික, දේශපාලන වශයෙන් එකිනෙකට පිරිද්දෙමින් ඉදිරියට ගමන්කළ යුතු දැවැන්ත සැලැස්මක් සහිත ක්‍රියාවලියකි. එය තියුණු ඔත්තුසේවා ජාලයක් මගින් ලබාගන්නා තොරතුරු ඔස්සේ සකස්කළ යුත්තේය. එහෙත් ජනතාව දේශපාලන වශයෙන් රවටන මෙරට පාලකයන් ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බව පෙන්වීමට උත්සහ කරනු ලබන්නේ දෛනික ක්‍රියාන්විතවලින් සිදුකෙරෙන රූපවාහිනීවලට විකුණන රූප රාමු පෙළක් තුළිනි.
වවුනතිව් පොලිස් නිලධාරීන් ඝාතනය කොටි බිල්ලන් මත නොපටවා නිසි විමර්ශන සිදුකළේ නම් මෙම ත්‍රස්ත ප්‍රහාර ගැන අනාවරණය කර ගත හැකිව තිබිණි. වවුනතිව් නිලධාරීන් ඝාතනය කොටි සිදුකළ එකක් බව පවසමින් එය උපරිමයෙන් විකුණා කෑ මහින්ද රාජපක්ෂට මේ සම්බන්ධයෙන් අද කියන්නට දෙයක් තිබේද? හවුල් ආණ්ඩුවේ ජාතික ආරක්ෂාව ඉහත සඳහන් වර්ගයේ රූපරාමුවලට සීමාවන අතරේ රාජපක්ෂලාගේ ජාතික ආරක්ෂාව වවුනතිව් ඝාතනය සම්බන්ධයෙන් ගෙනගිය ප්‍රචාරක ව්‍යාපෘති පන්නයේ සිදුවීම් සියල්ල තම දේශපාලනයට යොදා ගැනීමේ භාවිතයන්ට සීමාවේ.
එමෙන්ම සම්ප්‍රදායක යුද උපායන් හා ක්‍රමවේදයන් තුළ ගරිල්ලා යුද උපායන්ට ගළපමින් පහරදිය හැකිවේ. එය එල් ටී ටී ඊ ය පරාජය කිරීමෙන් මෙන්ම ලෝක අත්දැකීම්වලින් වටහා ගත හැකිය. එල් ටීටී ඊය පරාජය කිරීමේදී මෙරට ආරක්ෂක අංශවල නිලධාරීන්ගේ කැප කිරීම් මත පටු දේශපාලන වාසි තකා කටයුතු කරන දේශපාලන මතයන් පරාජය විය. ඊට යුද්ධය අවසන් කළ යුතු යයි සමාජය තුළ පැවති මතයද බලපෑවේය.
එහෙත් වත්මන් ආගමික අන්තවාදී ප්‍රහාර, ඒවායින් සපුරා වෙනස්ය. මන්ද ප්‍රහාරක සැලැස්ම ස්ථානය හා විධික්‍රම තීරණය වන්නේ ප්‍රහාරක මොහොතට ආසන්නවය. එමෙන්ම සියලූ සාධක එක්ව අවසන ඉස්ලාම් මූලධර්මවාදයට ගැටගසා ඇත්තේය. පුද්ගල ස්වයං විනාශය ප්‍රහාරයේ අවසන් විධික්‍රමය ය. ජීවිත දේපළ හෝ සාමාන්‍ය ජනතාවද මේවාට ඉලක්ක විය හැකිය. එසේ නැතහොත් ආරක්ෂක අංශ හෝ ඉලක්ක විය හැකිය. එය ඉතා බරපතළ කාරණයකි. එනිසා භූමියේ සිදුකරන දෛනික ක්‍රියාන්විත තුළින් පමණක් මේ අන්තවාදී ප්‍රහාර වැලැක්විය නොහැකිය. ඒ සඳහා සමස්ත සමාජය තුළ ජාතික සමගියේ විශ්වාසය තහවුරු කරන හා අන්තවාදය පරදවන වැඩපිළිවෙළක් අවශ්‍යය.


ධනුෂ්ක ලිහිණියාගම

Leave A Reply

Your email address will not be published.

20 + twelve =